Print this Article


සුගති ගමන -28:  රාජකීය උයන සඟ සතුකොට පූජා කළ වගයි

සුගති ගමන -28: 

රාජකීය උයන සඟ සතුකොට පූජා කළ වගයි

එදා මාළිගාවේ දානය සකස් කර තිබුණා. දානය වළඳා අවසන් වෙද්දී අනුලා බිසව ප්‍රධාන පන්සියයක් කාන්තාවෝ ,බිසෝවරු, බණ අසන්න ඉදිරියෙන්ම වාඩි වුණා. මිහිඳු මහ රහතන් වහන්සේ දෙවන දවසේ මාළිඟාවේ දානය වළදා, පේත වත්ථු, විමාන වත්ථු ඇසුරෙනුත් සච්ච සංයුක්තය මුල් කරගෙන දහම් දෙසුවා.

සච්ච සංයුක්තය යනු සංයුක්ත නිකායේ සඳහන් චතුරාර්ය සත්‍ය ගැන දේශනා පෙළක්. මේවා ඇසුරු කරගනිමින් දහම් දෙසුවා. ඒ දේශනාවන් අසා අවසන් වෙද්දී අනුලා බිසව ප්‍රධාන පන්සියයක් තරම් පිරිස සෝවාන් මාර්ග ඵලයෙහි පිහිටනවා. ඒ පන්සියයම සෝවාන් වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙසේ බණ දේශනා කර අවසන් වෙද්දී, මාළිගාවේ ඉදිරිපිට ඝෝෂාවක් වගේ විශාල පිරිසක් නගර වාසීන් රැස්ව ආරංචි වුණා. දැන් කටකතාව පැතිරිලා. කලින් දවසේ මිහින්තලාවට එකතුවුණු විසිදහසක් පිරිසගේ කටකතාව හැම තැනම පැතිරිලා. මිනිස්සු කෑකෝ ගසනවා. අනේ ! අපටත් බණ අසන්න, අනේ! අපටත් ඒ කියන දේ අසන්න ඕනේ. රජ්ජුරුවෝ ඉක්මනට රජ්ජුරුවන්ගේ ඇත්ගාල පිහිටි තැන ජෝතිය වනයේ අද අනුරාධපුරයේ ජේතවන චෛත්‍යය ඉදිවෙලා තිබෙන්නේ එතැන යි. ජෝතිය වනයේ සිටපු ඇත්තු ටික එතැනින් ඉවත් කරලා, ඒ පොළොව සුද්ධ පවිත්‍ර කරලා ඉක්මනින් මණ්ඩපයක් හදලා, මිනිස්සු එතැනට රැස් කළා. අඬ බෙර ගසා නගරවාසීන් එතැනට එකතුකරලා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු, මේ උතුම් මහ රහතන් වහන්සේ වඩමවාගෙන, ඒ මණ්ඩපයේ වඩා හිඳුවා රජ්ජුරුවෝම ආරාධනා කළා, ස්වාමීනී, මේ මගේ රටවැසියන්. මේ අය ගැන කරුණාවෙන් මේ උතුම් ධර්මය මගේ රට වැසියන්ට දේශනා කරන සේක්වා!

එදා දවල් මිහිඳු මහ රහතන් වහන්සේ සාමාන්‍ය මිනිසුන්ට දහම් දෙසූ පළමුවෙනි දේශනාව වන්නේ දේවදූත සූත්‍රය යි. දෙවන දවසේ දේවදූත සූත්‍රයෙන් සාමාන්‍ය මිනිසුන්ට දහම් දෙසනවා. ඒ දස දහස් සංඛ්‍යාත පිරිස අතුරෙන් පන්සියයක් පිරිස මාර්ග ඵල ලැබූ බව සඳහන් වෙනවා. සවස් කාලය වෙද්දී පැමිණි පිරිසත් සමඟ එතැන ඉඩ කඩ මදි වුණා. යන මහමෙවුනා උයනට රජතුමා පිරිස රැස් කරලා රාත්‍රී ධර්ම දේශනාවට පරිසරය හදනවා. එදා රාත්‍රියේ බාල පණ්ඩිත සූත්‍රය ඇසුරෙන් දහම් දෙසනවා. එතැනදීත් පන්සියයකට ආසන්න පිරිසක් මාර්ග ඵල ලබනවා. දෙවනි දවසේ පමණක් එක්දහස් පන්සියයක පිරිස මාර්ග ඵල ලැබුවා යැ’යි මහා වංශය ආදී ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා.

දෙවන දවසේ රාත්‍රියේ බාල පණ්ඩිත සූත්‍රයෙන් බණ කියා අවසන් වෙද්දී බොහෝ රෑබෝ වෙනවා. එහිදී රජතුමා පැවසුවේ ස්වාමීනී, දැන් බොහෝ රෑ බෝ වෙලා. ඔබ වහන්සේලාට මිස්සක පව්වට යන්න අපහසු යි. ඒ නිසා අද රාත්‍රියේ මහමෙවුනා උයනේ ම නවාතැන් ගන්නැ’යි උන්වහන්සේට ආසන පනවා පහසුකම් සලසනවා.

දෙවන දවසේ රාති‍්‍රයේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස මහමෙවුනා උයනේ වැඩ සිටියා. පසුදා උදෑසන රජතුමා ඇතුළු රාජකීය පිරිසත් සමඟ මිහිඳු මහ රහතන් වහන්සේ බලන්න වැඩම කළා. වන්දනා කරලා, අසනවා, ස්වාමීනී, ඊයේ රාත්‍රියේ සැප සේ වැඩ සිටියාද? මැසි මදුරුවන්ගෙන් පීඩාවක් ඇති වුණාද? හොඳට නින්ද ගියාද? මේ කරුණු විමසා රජතුමා අසනවා, ‘ස්වාමීනී, මේ වගේ රාජකීය උයනක්, ඔබ වහන්සේලාට කැපදැ’යි විමසුවා. එවිට මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමනි, අපේ බුදුරජාණන් වහන්සේටත් මේ වගේම රාජකීය උයනක් , එදා බිම්බිසාර රජ්ජුරුවෝ, පූජා කළේ යනුවෙන් වේළුවන පූජාව මුල්කර ගනිමින් දහම් දෙසනවා. ඒ බණ අසා පැහැදුණු රජතුමා ඒ මොහොතේම රජතුමාගේ මංගල ඇතාගේ පසු පස රන් නඟුලක් ගැට ගසා, සීමා ලකුණු කර, මුලු මහමෙවුනා උයනම මිහිඳු මහ රහතන් වහන්සේට රන් කෙණ්ඩියකින් පැන් වත්කර, ඒ භූමියම බුද්ධ ශාසනයට සඟ සතු කරලා පූජා කරනවා.

තුන්වන දවසේ මහමෙවුනා උයන පූජා කරනවා. එදා සිටම මිහිඳු මහ රහතන් වහන්සේ භූමියේ වැඩ සිටමින් හැමදාම ලක්ෂ ගණන් පිරිස , දස දහස් ගණන් මිනිසුන් එකතු වෙනවා බණ අසන්න. නිබඳවම මේ පිරිසට දවස ගානේ දහම් දෙසනවා. මේ විදිහට ධර්මය ව්‍යාප්ත වෙන්නේ. මාසයක් ඇතුළත උන් වහන්සේ වැඩම කරලා හැට දෙනමක් පැවිදි වෙලා, මහ රහත් භාවයට පත් වෙනවා ශ්‍රී ලාංකික පිරිස. ඒ වගේම දස දහස් ගණන් සෝවාන් ආදී මාර්ග ඵලලාභීන් පහළ වෙනවා. ඒ අය අතුරින් පැවිදි වූ හැට දෙනමක් රහත් වෙනවා.

පොසොන් මාසය අවසන් වෙලා, ඇසළ මාසයේ වස් සමාදන් වෙන්න අවශ්‍යය යි. දැන් ඉන්දියාවෙන් වැඩම කළ මහ රහතන් වහන්සේ හය නමයි, ලංකාවේ හැට දෙනමයි, සියල්ලම හැට අට නමක්. පළමු වස් කාලයේ මිහින්තලේ අට සැටලෙන් නමින් අද අප හඳුන්වනවා. ගල් ලෙන් හැට අටක් ශූද්ධ පවිත්‍ර කරලා, පළමු වස් කාලයේ හැට අට නමක් උතුම් මහ රහතන් වහන්සේලාට වස් සමාදන් වෙන්න අවස්ථාව සැලැසුවා. වස් කාලය අවසානයේ නැවත ධර්ම ප්‍රචාරය ඇරැඹුණා. මෙලෙස වසර ගණනාවක් යද්දී දස දහස් ගණන් මහ රහතන් වහන්සේලා මේ භූමියේ පහළ වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරලා, අපේ රටේ ව්‍යාප්ත කරමින්, බුද්ධ ශාසනය ලංකා භූමියේ ස්ථාපනය වෙන්නේ මේ ආකාරයට යි. ඒ නිසා මිහිඳු මහ රහතන් වහන්සේ ‘අනුබුදු මිහිඳු’ මහ රහතන් වහන්සේ යනුවෙන් දෙවන බුදු කෙනෙක් හා සමානව හඳුන්වනවා.