Print this Article


සිත් සකසාගත යුතු

අයං වසසාන කාලො:

සැප කැමැත්තෝ සිත් සකසාගත යුතු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දුන්නිග්ගහස්ස ලහුනෝ - යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස දමතෝ සාධු -චිත්තං දන්තං සුඛා වහං

පින්වත්නි,

රුචි අරමුණු පසුපස යන සිත, දමනය කිරීම යෙහෙකි. හික්මවූ එම සිත, සැපය සඳහා හේතු වේ.

තථාගතයන් වහන්සේගේ නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර මූලික ස්ථානයක් සිත පිළිබඳව යොමු වී ඇති ආකාරය ත්‍රිපිටක ධර්මය තුළින් අනාවරණය වේ. ධම්ම පද පාලියෙහි චිත්ත වග්ගය ද සිත පිළිබඳව ඉතා සරලව අපට තොරතුරු සපයන ස්ථානයකි. විවිධ උපමා උපමේයයන් ද මේ සඳහා යොදා ගෙන ඇති අයුරු දැක ගත හැකි ය. සිත නොරැකිය හැකි බව පමණකුදු නොව වංක බව පිළිබඳවත් එසේ ඇද ගැසෙන සිත වඩු කාර්මිකයෙකු ලීයක ඇද හරින්නාක් මෙන් ඍජු කර ගත යුතු ආකාරය ද දැක්වේ. එසේම සිතෙහි ඇති සැළෙන බව දැක්වීම සඳහා දියෙන් ගොඩගත් මත්සයෙකුගේ හැසිරීම් රටාව අපේ අවධානයට ලක්කොට ඇත.

පුහුදුන් සත්වයින්ගේ නිරන්තර අපේක්ෂාව වන්නේ සැප කැමතිවීමය. එමෙන් ම එම සැප ළඟා කරගැනීම සඳහා ක්‍රියාත්මක වීම ය. සැපයෙහි ස්වභාවය ලෞකික සහ ලෝකෝත්තර යනුවෙන් දෙආකාර වේ. ලෞකික සැප අපෙක්ෂාවෙන් නිරන්තරව උත්සාහ වන බොහෝ පිරිසක් ඇතිවා මතු නොව අස්සාදනීයත්වය එහි ස්වභාවය වේ. එම ආශ්වාදනීය බවෙහි තාවකාලිකත්වය දන්නේ නමුදු බොහෝ දෙනා ශීඝ්‍රයෙන් හඹා යනුයේ ඒ සඳහාම ය. ලෝකෝත්තර සැපයෙහි සුවිශේෂත්වය වන්නේ අවින්දනීය බවය. එය සැපයක් වන්නේ ද එනිසාම ය. කෙසේ නමුත් කිනම් සැපයක් සඳහා වුව ද අපේ සිතට හිමි වන්නේ ප්‍රමුඛතාවයක් ම ය. ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි කරනුයේ ද සිතෙහි ඇති මෙම ‘ස්වභාවය පිළිබඳව“ “දුන්නිගහස්ස” යනු දමනය කිරීමට ඇති අසීරුතාවය පැහැදිලි කරන යෙදුමකි. සිත ඉතා දුෂ්කරව දමනය කිරීම ද, එක් අරමුණක තබා ගැනීමේ නොහැකියාවද පෙන්නුම් කෙරේ. කෙසේ නමුත් සිතෙහි හීලෑ බව සඳහා ධර්මයම හේතුවන අතර ඒ සඳහා කිසිදු විකල්ප මාර්ගයක් නොගත හැකිවේ. “ලහුනෝ’ යන්න ක්ෂණිකව සිදුවන සිතෙහි හට ගැනීම හා බිඳීයාම ඉතා යුහුසුළුව සිදුවන අයුරු ප්‍රකාශ කරන්නකි. මරණ ධර්මය පිළිබඳව කරන විග්‍රහයන් හි දී ක්ෂණික මරණය ලෙස දක්වා ඇත්තේ ද මෙම කරුණම ය. “යත්ථ කාම නිපාතිනෝ” මින් අදහස් වන්නේ ද සිත තමා කැමැති අරමුණ කරා අප නොදැනුවත්ම ගමන් ගන්නා බවයි. සිත, සිත කැමැති ඕනෑම තැනක රැඳිය හැකි බව මින් ප්‍රකාශ වන අතර එහි දී උස් පහත්කම් හෝ නෑ නො නෑකම් විෂයය වන්නේ නැත. කායිකව සිදු වන සිරගත කිරීමක දී වුවද සිත තම රුචිකත්වයන් හා සමඟ නිදහස්ව හැසිරෙන අයුරු මින් පැහැදිලි කෙරේ. මෙබඳු වූ සිත කීකරු කර ගැනීම මතු නොව දමනය කර ගැනීම කළ හැකිවන්නේ නම් “සුඛාවහං” ලොව්තුරා සැප සඳහාම මං පෙත් විවර වන බව ධර්මයෙහි දැක්වේ. මේ අනුව සැප අපේක්ෂා කරන්නන්ගේ වගකීම වන්නේ “චිත්තං දන්තං” යනුවෙන් දැක්වෙන පරිදිම සිත මනාව කීකරු කර ගැනීම ය. බුද්ධ ධර්මය මනෝ මූලික ධර්මයක් වශයෙන් සමයාන්තරව සුවිශේෂ ඉගැන්වීමක් බවට පත්ව ඇත්තේ ද තම වගකීම තමා විසින් ම සම්පූර්ණ කොට ගෙන සැප ළඟා කරගත යුතු වන නිසා විය යුතු ය.

එළඹ ඇති වස්සාන සමයෙහි ඉතිහාසය තථාගත ධරමාන කාලය දක්වා දිවෙන්නක් බව අපේ ධර්ම සාහිත්‍ය මගින් අනාවරණය කරනු ලැබේ. එහි දැක්වෙන තොරතුරු අනුව අතීතයේ සිටම මෙම උතුම් පින්කම සඳහා භික්ෂු භික්ෂුණින් ද, දායක දායිකාවන් වශයෙන් ගිහි සමාජය ද දක්වා ඇත්තේ විශාල උනන්දුවකි. භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් උනන්දු කර ඇත්තේ තමන් වහන්සේ ද මෙම චාරිත්‍ර ධර්මයෙහි නිරත වෙමිනි. බරණැස ඉසිපතන මිගදාය කේන්ද්‍ර කොටගෙන ඇරඹුණු මෙම දීර්ඝ කාලීන ව්‍යායාමයෙහි නියැළෙන ලද්දේ එය විනය ප්‍රඥප්තියක් සේ ම, ශාස්තෘ නියමයක් ලෙස ද සලකමින් ය.ඒ අනුව ආරාධනා ලැබ හෝ නොලැබ මෙම උතුම් සිරිතෙහි නියැළීම සඳහා ඇතැම්විට භික්ෂූන් වහන්සේ ගව් ගණනක්, යොදුන් ගණන් පා ගමනින් වැඩමකර ඇති අයුරු අපේ ධර්ම සාහිත්‍ය මගින් වාර්තා කොට ඇත. එසේ ගමන් ගන්නා භික්ෂූන් මුහුණ දෙන ලද දේශගුණික සහ පාරිසරික ගැටලු පමණක් නොව ගෝචරස්ථාන පිළිබඳ දුෂ්කරතාවන් පිළිබඳව ද සඳහන් වේ. එමෙන් ම අමනුෂ්‍ය උපද්‍රවද, විවිධ මනුෂ්‍ය උපද්‍රවද විඳ දරා ගනිමින් මෙහි නියැළුණු ආකාරය සැබැවින් ම අනුවේදනීය වේ. බුදුරදුන් තව්තිසාව ආදී දිව්‍ය ලෝකයන්හි පවා වස් වසා වැඩ සිටි අතර “යව“ වැනි රළු ආහාරයන් ද වළඳමින් අති දුෂ්කරතාවයන්ගෙන් යුතුව නේරංජනාවේ දී වස්සාන සමයක් ගෙවාලූ ආකාරය ද ප්‍රකට සිදුවීමකි. කෙසේ නමුත් මෙම විශේෂිත කාල සීමාව තුළදී කිසියම් මාර්ග ඵලයකට පත්වීම දායක දායිකා අපේක්ෂාවන් ද භික්ෂූන් වහන්සේලාගේ ව්‍යායාමය ද වූයේ වස්සානය නිමවීමට පෙර කෙසේ හෝ නිර්වාණ අවබෝධය ලබා ගැනීම ය. තත් කාලීනව බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ලබන ලද කමටහන් ඇතිව මහත් වීර්යයෙන් යුතුව එම උතුම් සුවය අත්විඳීම සඳහා අධිෂ්ඨානශීලි වූ හ.

ඉහත ගාථා ධර්මය දේශනා කොට ඇත්තේ ද වස්සාන සමයක සිදු වු එබඳු සිදුවීමක් පාදක කොටගෙන , එක්තරා භික්ෂුවක් අරමුණු කොටගෙන ය. කෝසල රාජ්‍යයට අයත් ඇළගම නමින් හඳුන්වන ලද ග්‍රාමය නිගමයක් විය. මෙහි ධනවත් වු, සැදැහැවත් බවින්ද පරිපූර්ණ මාතිකමාතා නම් වූ උපාසිකාවක් වූවා ය. ඇය නිරන්තරයෙන්ම තම පුණ්‍ය මහිමයෙන් ලබන ලද ධනය පරිහරණය කරන ලද්දේ පරලොවටද ගෙන යා හැකි අයුරින් ය. බුද්ධාදී රත්නත්‍රය පිළිබඳව වූයේ අසීමිත විශ්වාසයක්ද, ගෞරවාන්විත වූද පිළිගැනීමකි. එක්තරා වස්සාන සමයකට ආසන්නව සැට නමක් පමණ වූ භික්ෂු පිරිසක් එම ගමට වැඩමවන ලද්ද්, එම උපාසිකාව ඉතා මිහිරි අයුරින් දන් පැන් සකසා දෙමින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලද්දීය. භික්ෂු පිරිස පිළිබඳ අතිශය ප්‍රසාදයට පත්ව සිටි මාතිකා මාතාවෝ එළඹෙන වස්සාන සමයෙහි වස් වසා වැඩ සිටීම සඳහා රමණීය වු ආරාමයක් ද තනවා පූජා කළහ. සංඝෝපස්ථානයෙහි නියලූණේද මහත් ශ්‍රද්ධාවෙන් යුතුව ය. භික්ෂු පිරිස ද එම උපාසිකාවගේ ශ්‍රද්ධා මහිමය තේරුම් ගෙන ඇයටද අනුග්‍රහයක් වශයෙන් වෙන් වෙන්ව අධිෂ්ඨානශීලිව භාවනාවෙහි නියැළුණි. එක් දිනක් ආරාමයට ගිය මාතික මාතාවන්ට කිසිදු භික්ෂුවක් දක්නට නොලැබීමෙන් කැළඹුණ සිතැත්තී සීනුව නාද කරන්නි එක් එක් නම වෙන් වෙන් මාර්ග වලින් තනි තනිව පැමිණීම දැක විමතියට පත් වුණි. භික්ෂු පිරිස කිසියම් කරුණක් නිසා අසමගිව, අසතුටින් වෙන්ව සිටිතැයි සැක සිතා විමසුම් කරන්නී ලද පිළිතුර වූයේ තමන් වහන්සේලා සිදු කරන භාවනාව සඳහා ඇති විය හැකි බාධා අවම කිරීම සඳහා එක්ව නොවෙසෙන බවයි. මේ අනුව භාවනාව පිළිබඳ කිසියම් අවබෝධයක් මෙන් ම රුචියක් ඇතිකරගත් එම උවැසිය තමන්ද එහි යෙදිය යුතු යැයි දිරිමත්ව කායගතාසති භාවනාවෙහි යෙදී අනාගාමිඵල සුවය ලබා ගැනීමට සමත් වූවා ය. අනතුරුව වස් විසූ භික්ෂූ පිරිසත් එතෙක් මගඵල ලාභී නොවන බව දැන රහත්භාවය ලබා ගැනීම සඳහා විවිධ අයුරින් උන්නදු කරවන ලද්දේ භික්ෂූහුද අධිෂ්ඨානශීලිව බවුන් වඩා රහත්භාවයට පත් වූහ. බුදුරදුන් හමුවෙදි මාතිකා මාතාවගේ බහුවිද ගුණයන්ද ප්‍රකාශ කළහ. මෙම සිදුවීම අසා සිටි එක්තරා භික්ෂුවක් එම ස්ථානය හා උපාසිකාව සොයා යන්නේ ඇයගේ අනුග්‍රහය ද නොඅඩුව ලබමින් භාවනාව සඳහා යොමු වූයේ නමුදු උපාසිකාවගේ පරසිත් දන්නා නුවණ පිළිබඳව දැන බියපත්ව බුදුරදුන් මුණ ගැසී තමන්ට මුහුණ දීමට සිදුවු ගැටලුව ප්‍රකාශ කරන ලදී. පුහුදුන් තම සිතට නැගෙන විවිධ පාපී සිතිවිලි උපාසිකාව විසින් දැකිය හැකි යැයි සිතා පසුගාමී වු එම භික්ෂුව දිරිමත් කළ තථාගතයන් වහන්සේ, සිත රැකගැනීම දුෂ්කර වුවද එම ව්‍යායාමය සැපය සඳහා හේතු වන බව දේශනා කරමින් හෙතෙම නැවතත් එම ස්ථානයටම යොමු කරන ලදහ. අනතුරුව උපාසිකාවගේ අනුග්‍රහය ලබමින් දැඩිසේ භාවනාව සඳහා උත්සාහවත්ව ක්‍රියා කළ එම තෙරුන් රහත්භාවයට පත්වීමේ සිදුවීම උක්ත ගාථාව දේශනා කිරීම සඳහා හේතුවී ඇත.