Print this Article


සතිපට්ඨාන භාවනාව 12: වේදනානුපස්සනාව - වේදනාව නුවණින් දකිමු

වේදනානුපස්සනාව:

වේදනාව නුවණින් දකිමු

ඇසට යම්කිසි රූපයක් ගැටීම නිසා ස්පර්ශය හට ගන්නවා. ඒ ස්පර්ෂයෙන් පසුව වේදනාව හට ගන්නවා. ඒ වේදනාවෙන් පසුව චේතනාව හට ගන්නවා. අරමුණු දැන ගැනීම විඤ්ඤාණය යි. මේ කරුණු පහ එකතු වූ විට චේතනාව දැඩි වෙයි. ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව , විඤ්ඤාණය යනුවෙන් පස්ස පංචමක ධර්මයන් ප්‍රකට වීමෙන් වේදනාව හට ගනියි.

වේදනාව නව ආකාරයක් බව පෙර ලිපි මඟින් ද සඳහන් කළෙමු. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව (මැදහත් වේදනාව) එයම සාමිස සුඛ වේදනාව, සාමිස දුක්ඛ වේදනාව, සාමිස උපේක්ෂා වේදනාව ත්‍රිවිධාකාර වෙයි. නිරාමිස සුඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව නිරාමිස උපේක්ෂා වේදනාව යනුවෙන් තුනයි. නවයක් වෙයි. මෙම වේදනා නව ආකාරය ගැන වැටහීමක් කොයි කා ළඟත් තිබිය යුතු යි.

එවිට ඵස්ස, වේදනා, සංඥා , චේතනා , විඤ්ඤාණ, ධර්මයන් ඇසුරු කරගෙන වේදනාව හට ගනියි. වේදනාව ඇසට පෙනෙන දෙයක් නොවෙයි. එය කයට, සිතට දැනෙන දෙයක්. එය නාමස්ඛන්ධය යනුවෙන් ප්‍රකට වෙයි. නාම රූප දෙකක් තිබෙනවා. රූප ඇසට පෙනෙන දේ. අතට අසුවන දේ වෙයි. නාමස්ඛන්ධය එලෙස අතට අසුවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දී වේදනාව මෙම ක්‍රමයට පැහැදිලි කළා. එවිට කවර හෝ වේදනාවක් වේවා, හොඳින් වේදනාව ප ැහැදිලි කර අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඇස නිසා රූප දකිනවා. රූපයෙන් වේදනාව සැප හෝ දුක් වේදනා හට ගන්නවා.

එසේම ඇස, කන, නාසිකාව, දිව, සිරුර, සිත ආයතන හයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ , ධම්ම අරමුණු හටගෙන වේදනාව උත්පාදනය වෙනවා. ඒ හටගන්නා වේදනාව සැප වේදනාවක් ද? දුක් වේදනාවක් ද? යනුවෙන් තමාම තීරණය කළ යුතු යි.

අකුසල කර්ම විපාක වලින් දුක් වේදනා හමුවෙයි. කුසල විපාකවලින් සැප වේදනාව හමුවෙයි. කෙනෙකුට නිබදව ම මානසික වේදනා, කායික වේදනා ඇති වෙයි. ඒ අකුසල විපාක යි. උපේක්ෂා සහගත සිතකින් මේ දුක හට ගනියි. එය අකුසල විපාක සිතක් වෙයි. එසේම තමන්ගේ සිතට මෙසේ සඳහන් කරනු ලබන සැප වේදනාව හට ගන්නවා නම්, අකුසල විපාක, කුසල විපාක සිතකින් හට ගනියි. මේ ගැන හසළ දැනුමක් කවුරුත් ඇතිකරගෙන වේදනාව, වේදනාව වශයෙන් මෙනෙහි කිරීමට කාගේත් දැනුම ඇති කරගත යුතු යි. එවිට තමන්ට වේදනානුපස්සනාව යනු කුමක්ද? යනුවෙන් වටහා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. සැමටම වේදනාවක් තිබෙනවා. ඒ වේදනාව නුවණින් බලා වේදනාව හට ගන්නා තැන සිත පිහිටුවා තමන්ට වේදනාව මෙනෙහි කරන්න පහසුවක් වෙයි. එවිට නාමස්ඛන්ධය කොටස් හතරයි. වේදනා, සංඥා ,සංඛාර , විඤ්ඤාණ යනුවෙන් ස්කන්ධ සතර යි. ගොඩවල් හතරයි. ඒ සතර එකිනෙක සම්බන්ධව පවතී. එසේම රූපස්ඛන්ධය වෙනම තිබෙනවා. එය රූප ගොඩක් . එය වේදනානුපස්සනා ක්‍රමයට ගන්න ක්‍රමයක් නැහැ. අපේ වේදනාව නාමයක් . වේදනාව තිබෙන තැන සිත පිහිටුවා නවාකාර වේදනාව හොඳට මෙනෙහි කළ යුතු යි. සැප වේදනාවත් , දුක්ඛ වේදනාවත්, මැදහත් වේදනාවත් හොඳට දැන කියාගෙන තමන්ගේ නුවණ යොමු කර ඒ වේදනාව හොඳට මෙනෙහි කිරීම වේදනානුපස්සනාවෙන් කරනු ලබනවා.

පස්කම් සැප නමැති ඇම ඇසුරු කළ රූපාදී අරමුණු නිසා ඇතිවන ගේහසික සොම්නස් වේදනාව සාමිස සුඛ නම් වෙයි. නිරාමිස සුඛ යනු රූප, ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශ , ධම්ම අරමුණු පංචකාම ගුණයන්ගෙන් නික්මීම සඳහා ඇතිවන සොම්නස් වේදනාව යි. නිරාමිස සුඛය යි.

එසේම පස්කම් සැපයේ ඇතිවන දොම්නස පස්කම් ගුණයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන දෝමනස්සය සාමිස දුක්ඛ වේදනාවට හා නිරාමිස දුක්ඛ වේදනාවට වැටෙයි. එය නිරාමිස යි. වෙන්වීමටයි බලාපොරොත්තු වන්නේ. පංචකාම වස්තූන්ගෙන් ඈත්වීම නිරාමිස සුඛ දුක්ඛ වේදනාව නම් වෙයි. උපේක්ෂා වේදනාව යනු පස්කම් ගුණ ඇසුරෙන් ඇතිවන සැප නොවූ, දුක් නොවූ වේදනාවක්. පස්කම් ගුණයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන සැප නොවූ, දුක් නොවූ වේදනාව ද සාමිස උපේක්ෂා වේදනාව නිරාමිස උපේ්ක්ෂා වේදනාව යනුවෙන් දැනගත යුතු යි. එවිට භාවනා කරන යෝගියා තමා පිළිබඳ වූ වේදනාව ද , අනුන් පිළිබඳ වේදනා ද මෙනෙහි කරනවා. එසේනම්, ඒ වේදනාව තත්ත්වාකාරයෙන් වටහාගෙන තමන්ට වේදනානුපස්සනාව ගැන මෙනෙහි කරන්න පුළුවන්කම තිබෙනවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වේදනාව පිළිබඳ ව නොයෙක් සූත්‍ර වලදී පැහැදිලි කර දී තිබෙනවා. ඒ හැම සූත්‍රයකින් ම පැහැදිලි කරන්නේ ඇස නිසා හටගන්නා දුක්සැප වේදනාව ආදී ආඝාත නිසා හටගන්නා දුක් සැප වේදනාව හොඳට බලා එය මෙනෙහි කළ යුතු යි.

එවිට අප වේදනාව තත්ත්වාකාරයෙන් බලා මෙනෙහි කරද්දී වේදනානුපස්සනා සතිපට්ඨානය දියුණු වෙද්දී බෝධි පාක්ෂික ධර්ම තිස්හතම දියුණු වෙනවා. එය හොඳට මතක තබා ගත යුතු යි. නුවණින් වේදනාවයි, වේදනාවයි යනුවෙන් මෙනෙහි කර එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරද්දී බෝධි පාක්ෂික ධර්ම තිස්හතම සිතේ පහළ වෙනවා. එය අති විශිෂ්ට යි. ඒ බෝධි පාක්ෂික ධර්ම තමන්ගේ සිතේ පහළ කර ගැනීම නිසා තමන්ගේ ගුණ ටික හොඳට දියුණු කරගන්න පුළුවන්. වේදනාව හොඳට මෙනෙහි කිරීමෙන් ඉවසීම හොඳට ලැබෙනවා. රහත් මාර්ගය දක්වා ම වේදනානුපස්සනාව මෙනෙහි කරගන්නට පුළුවන්කම තියෙනවා. එවිට නිවන් සැප ලැබේවා යන උතුම් අදහස ප්‍රාර්ථනාව සිතේ තබාගෙන වේදනානුපස්සනාව මෙනෙහි කරනවිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට නුවණ පහළ වෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වීම යනු මාර්ග ඵල අවස්ථාව කාරණාව යි.

එය ඉතා සියුම් අවස්ථාවක්. සිහි නුවණ දියුණු කර සති, සමාධි, ඥාන දියුණු කර ලබා ගත යුතු යි. වේදනානුපස්සනාව මෙනෙහි කිරීම සම්මසන විපස්සනා ඥානයට වැටෙයි. එතැන් පටන් දස මහා විපස්සනා ඥානවලට ආචාර්යන් වහන්සේලාගේ උපෙදෙස් අනුව මෙනෙහි කරගෙන යාමෙන් දසමහා විපස්සනා ඥාන ලබන්නට පුළුවන්කම තිබෙයි. ගෝත්‍රඥ ඥානයෙන් අවසන්ව ඉන් එහාට මාර්ගඵල අවස්ථාව උදා වෙයි. එය දියුණු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ නොයෙක් අයුරින් උපදෙස් ලබාදී තිබෙනවා. ඒ උපදේශයන්ට අනුකූලවයි මෙනෙහි කළ යුත්තේ.

වක්කලී ස්වාමීන් වහන්සේ බුද්ධ ශ්‍රී දේහය බලාගෙන ම සැප වේදනාවෙන් වාසය කළා. බුදුරජාණන් වහන්සේ සිත මුහුකුරා යන අවස්ථාව බලා වක්කලී මේ තථාගතයන් වහන්සේගේ දේහය, කුණු ශරීරය දෙස බැලීමෙන් වැඩක් නැහැ. ධර්මය දකින්නැ'යි වදාළා. එලෙස වක්කලී ස්වාමීන් වහන්සේගේ සිත දුකට පත්වී, සැප වේදනා දොම්නස් වේදනා බවට පත් වුණා. ජීවිතය නැති කරගන්නා තත්ත්වයටම ආවා. මා මහණ වුණේ බුදුරජාණන් වහන්සේ නිස යි. දැන් උන්වහන්සේ මේ කුණු කය බැලීමෙන් ඇති වැඩක් නැහැ කියනවා. ඒ නිසා ජීවත්ව සිටීමෙන් වැඩක් නැහැ යැ'යි සිතුවා.

එහිදී සම්බුදු පියාණන් වහන්සේ කළ දේශනාව අසා වක්කලි ස්වාමීන් වහන්සේ රහත් බවට පත් වුණා. දොම්නස් වේදනාව පාදක කරගෙන එයම විපස්සනාවට නංවා රහත්වීමේ මඟ හෙළි දරව් කළා. මෙවැනි චරිත ගණනාවක් ම තිබෙනවා.

මානසික වේදනාව, මානසික දුක්ඛ වේදනාව, මානසික සැප නිරාමිස වේදනාවට පත් කර දුන්නා. මේවා පිළිබඳව බුදු දහමට අනුව කටයුතු කර , බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව සිත දියුණු කළ යුතු යි. අනිත්‍යය, දුක්ඛ, අනාත්ම ලක්ෂණය අසන්නට ලැබෙන්නේ බුදු සසුනක පමණ යි. එය පිළිගන්නට ලැබෙන්නේ හොඳ ඥානයක් තිබෙන්නන්ට පමණ යි. මේ කාරණය සිතට ගෙන වේදනානුපස්සනාවේ අවසාන කොටස ලෙස සඳහන් කරන්නට තිබෙන්නේ සිතට, කයට දැනෙන සියුම් වේදනාවෝ වේදනාවයි, වේදනාවයි යනුවෙන් මෙනෙහි කර එකක් පාසාම අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. එය වේදනාපස්සනා සතිපට්ඨාන විපස්සනා භාවනාව යි. ඒවා යෝගීන් වහන්සේ ලෙස කවුරුත් හුරු පුරුදු කළ යුතු යි. එවිට කායික , දුක, මානසික දුක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රයට හරවා තමන්ගේ පින දැඩි බටව පත් කරන්න පුළුවනි. සිත සැප වේදනාවට පත්කරන්න පුළුන්කම තිබෙනවා. සංසාර ගමනේ දී මානසික, කායික දුක් වේදනා ඉටු කර සැප වේදනාවෙන් , නිරාමිස සුඛ වේදනාවෙන් අපට දුක්ඛ, සමුදය, නිරෝධ , මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ශාන්ති ලක්ෂණ නිවන් සැප අවබෝධ කළ හැකි යි.