UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැබෑ ප්‍රතිකාරයරෝගයට නොවරෝග නිධානයටයි

සැබෑ ප්‍රතිකාරය රෝගයට නොව රෝග නිධානයටයි

බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක දෙවියෙක් උන්වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයක් සංයුක්ත නිකායේ සඳහන් වන්නේ මෙසේ ය.

අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි - කෝ ඉමං විජටයේ ජටං

ගෞතමයන් වහන්ස, ඇතුළතත් අවුල් ය, පිටතත් අවුල් ය, සත්ත්වයා අවුලෙන් වෙළී සිටී. කවරෙක් නම් මේ අවුල නිරවුල් කරන්නේදැයි ඔබවහන්සේගෙන් විචාරමි' යි ඔහු ප්‍රකාශ කරයි. එයින් පැහැදිලි වන එක කරුණක් නම් බුද්ධ කාලයට පෙර සිටම මිනිසුන් තුළ ගැටලු පැවතුණ බවයි.

ගැට ගැසුණු තැන් ගැටලු ලෙස දැකිය හැකි නම්, ගැටලු පිළිබඳ අවබෝධය පහසු කරවයි. අප දන්නා තරමින් විවිධ ගැට තිබේ. ඇතැම් ගැට පහසුවෙන් ලිහා ගත හැකි වුවද සමහර ගැට ලිහා ගැනීම අපහසු ය. කොතරම් අපහසු වුව ද ගැටයේ ස්වභාවය වටහා ගත් අයෙකුට ඒ ගැටය ලිහා ගැනීම පහසු කරවයි.

යම් දෙයක් හෝ යම් සිදුවීමක් නැත්නම්, යම් පුද්ගලයෙක් පිළිබඳව නිශ්චිත වැටහීමක්, අවබෝධයක් ඇතිකර ගත නොහැකි ව සිතිවිලි සමුදායක් පහළ වූ විට, සිතේ අවුල් සහගත බවක් ඇති වේ. සරලවම මෙවැනි අවස්ථාවක් ගැටලුවක් ලෙස දැක්විය හැක. ළදරු හා ළමා අවදියේ දකින හැමදේම ගැටලුකාරී ය. ඔවුන් ඒවා අන් අයගෙන් ප්‍රශ්න කරයි. දරුවන්ගේ ගැටලු හඳුනාගත යුත්තේ ඔවුනට සමීපවම සිටින මව්පියන් විසිනි.

මව්පියන් බුද්ධිමත් වන විට, දරුවන් තුළ පැන නගින ගැටලු මනාව හඳුනාගෙන සාර්ථකව විසඳුම් ලබාදීම තුළින් දරුවාට නිරවුල් මානසික තත්ත්වයක් ලබා දීමට හැකි වේ. අපේ ඉපැරැණි පවුල් ඒකකයේ දරුවා වැඩි කාලයක් පෝෂණය ලැබුවේ මව හා පියා සමීපයේ ය. මව්පියන් එතරම් කාර්ය බහුල නොවීමත්, විශේෂයෙන් මව ගෘහනිය හැටියට නිවසේ නිරතුරුව ම රැඳී සිටීමත් නිසා, දරුවා තමන්ගේ සෙවණෙ හදා වඩා ගත හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ පැරණි පවුල් සංස්ථා තුළ ගැටලු අවම වීමයි.

ගැටලු හට ගන්නේ මිනිස් සිත තුළයි. සිත යටත් කරගෙන පාලනය කරන ප්‍රධාන සිතිවිලි දෙකකි. එනම් කාමය (ඇල්ම) හා කෝපය (ගැටීම) යි. තමන් පි‍්‍රය කරන, කැමති දෑ ලබා ගැනීම පිළිබඳව සිතයි. නැවත නැවත සිතයි. එය තමාගෙන් ගිලිහී වෙන අයෙකු සතුවන විට කෝපය මතුවෙයි. එයින් තැවෙයි. කැවුමක් පිසගෙන කෑමට කැමැත්තක් ඇති වූ ලෝභී වූ සිටුවරයෙකු, ඒ පිළිබඳ සිතා රෝගී වූ කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ එයි. අප ජීවත්වන වත්මන් සමාජය තුළ ද තම සිතින්ම ඇති කරගනු ලබන සිතිවිලි තුළ පැටලී, අසහනයට, පීඩාවට පත්වන අය කොතෙක් සිටී ද? ඒ සියලු දෙනා අභ්‍යන්තරික ගැටලුවලින් පීඩා විඳින්නෝ වෙති.

පුද්ගල ජීවිතයේ, ගත කරන අවදි අනුව සමහරු මිනිස් ගැටලු විග්‍රහ කරති. ළමා අවදියේ ගැටලු, නව යොවුන් හා යොවුන් වියේ ගැටලු, මැදිවියේ හා වැඩිහිටි අවදියේ ගැටලු වශයෙන් ඒවා දැක්වෙයි.

පවුලේ සිට රාජ්‍යය දක්වා පරාසය තුළ ඇති ආයතන සම්බන්ධ ගැටලු ද තවත් එක් වර්ගීකරණයකි. තමන් සේවයේ යෙදෙන ආයතනය හා සම්බන්ධ ගැටලු මෙන්ම ආර්ථික, දේශපාලනික හා සමාජමය ගැටලු ද ඒ අතර වෙයි.

බුදු දහමේ මූලික අරමුණ වනුයේ පුද්ගලයා හා සමාජය සම්බන්ධ සදාතනික ගැටලුවලට විසඳුම සෙවීමයි. ජීවිතය දුක් ගොඩක් යැයි සිතෙන තරමට හැම කෙනෙකුම මුළු ජීවිත කාලය පුරාම, අනේක විධ දුක්ඛ දෝමනස්සයන් විඳී. බුදුරදුන්ගේ උපත සිදුවන යුගයේ දුක ගැටලුවක් ලෙස සලකා, සමහරු දුක ජයගත හැක්කේ සිරුරට දුක් දීමෙන් පමණක් යැයි සිතා ක්‍රියා කළහ. අත්තකිලමථානු යෝගය ලෙස හඳුන්වන්නේ එම පටිපදාවයි. තව කොටසක් හැකි තරම් සිරුර සන්තර්පණය කිරීම තුළින් දුක දිනා ගත හැකි බව විශ්වාස කළහ. ඔවුහු කාමසුඛල්ලිඛානු යෝගීහු වෙති. මේ අතර විවිධාකාර දෘෂ්ටියන්හි වෙළී දාර්ශනික අධ්‍යනයන්හි යෙදී සිටි පිරිස් ද වූහ.

සංසාරගත සදාතනික ගැටලු මෙන්ම ජීවන ගැටලු ද හට ගැනීමට මූලික වන්නේ, කය නොව පුද්ගල මනස බව අවබෝධ කරගත් බුදුරජාණන්වහන්සේ, ගැටලු ලිහා ගැනීමේ මාර්ගය ද ලොවට ඉදිරිපත් කළහ. උන්වහන්සේ ඉදිරිපත් කළ ගැටලු විසඳීමේ ප්‍රශස්ත මඟ එදාට මෙන් ම වර්තමානයට ද එකලෙසින් ම වලංගු ය. ගැටලු විසඳීමේ දී බොහෝ දෙනා අනුගමනය කරන පිළිවෙත වන්නේ හැඟීම්වලට මුල්තැන දී විසඳුම් සෙවීමයි. පහර දීම්, වෙඩි තැබීම්, ඝාතනය කිරීම්, ආදිය සිදුවන්නේ එහි ප්‍රතිඵල වශයෙනි. එයින් තව තවත් ගැටලු මතුවීමෙන් පවතින ගැටලුව පැතිරීමක් සිදුවීම හැර ගැටලුවට විසඳුමක් නො ලැබේ.

ඇතුළතත් පිටතත් ඇතිවන මේ සියලු ගැටලු විසඳා ගැනීමට සමත්වන්නේ කවරෙකුදැයි බුදුරදුන්ගෙන් විමසන ලද පැනයට උන්වහන්සේගේ පිළිතුර වූයේ,

සිලෙ පතිට්ඨාය නරො සපඤඤෝ - චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු - සො ඉමං විජටයේ ජටං

“පිරිසිඳ දක්නා නුවණ ඇති, කෙලෙස් තවන වීර්ය ඇති, ප්‍රඥාවත් තැනැත්තා සීලයෙහි පිහිටා, සමාධිය හා ප්‍රඥාව වඩා සියලු අවුල් නිරවුල් කරගන්නා බවයි.”

ගැටලුවලට විසඳුම් සෙවිය යුත්තේ හැඟීම්වලින් නොව, ප්‍රඥාවෙන් බව මෙයින් පැහැදිලි වෙයි. ප්‍රඥාවන්තයා ගැටලු හා එහි ස්වභාවය පළමුව මැනවින් අවබෝධ කර ගනී. අනතුරුව ගැටලුව ඇතිකරවීමට මූලික වූ හේතු සොයා බලා හඳුනා ගනී. එකී හේතු නැති කිරීමෙන් ගැටලුව නැති කළ හැකි බව වටහා ගෙන, හේතු නැති කරගැනීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරයි. චතුරාර්ය සත්‍ය තුළින් පැහැදිලි කර ඇත්තේ මේ ක්‍රමවේදය යි. මෙය දක්ෂ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාවලියට සමාන වූවකි. දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙකු තමන් වෙතට පැමිණි රෝගියා පරීක්ෂාකරයි. ඔහු ප්‍රතිකාර කරන්නේ රෝගයට නොව රෝග නිදානයටයි. රෝගී තත්ත්වයෙන් රෝගියා මුදවා ගත හැක්කේ රෝග නිදානයට පිළියම් යෙදීමෙන් පමණි.

ඇතැම් ගැටලු මාස ගණන්, අවුරුදු ගණන් නොවිසඳී ඇදෙමින් පවතින්නේ ගැටලු විසඳීමට මැදිහත් වන්නන් උක්ත ක්‍රමවේදය අනුගමනය නොකර, තාවකාලික විසඳුම් ලබා දීමට යාම නිසයි.

ගසක් මුළුමනින් ම විනාශ කළයුතු නම්, කොළ අතු හෝ කඳ කපා ඉවත් කිරීම ප්‍රමාණවත් නොවේ. ගස ජීවත් කරවන, යළි පැළ මතු කරවන, කුඩා අනුකුඩා මුල් පවා සහමුලින්ම ගලවා, කපා, වියළා පුළුස්සා දැමීමෙන්, ගසේ පැළවීම නවතා දැමිය හැකි ය. ගැටලු විසඳීමේ දී ගැටලුව ඇති කරවීමට මූලික වූ හේතු සහමුලින්ම විනාශ කිරීමෙන්, ගැටලුව නැතිකළ හැකි බව ප්‍රත්‍යක්ෂයි. ගැටලු විසඳීමට මැදිහත්කරුවන් වන අය තුළ ප්‍රඥා ඇස විවර වේවායි පතමි.

 

අධි පොසොන් අමාවක පෝය


අධි පොසොන් අමාවක පෝය ජුනි 13 වනදා බදාදා පූර්ව භාග 4.35 ට ලබයි. 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.13 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජුනි 13 බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 20 බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]