UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ ජනතා පූජෝපහාර මධ්‍යයේ අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමා වහන්සේ

මහ ජනතා පූජෝපහාර මධ්‍යයේ අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ

අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමා වහන්සේ මිහින්තලා පුදබිමට වැඩම කරවති

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ නිර්මාණය මහා වංශයට නව එකතුවක් ලෙසින් අනාගත දායාදයක් බවට පත්වන අගනා උතුම් පූජනීය සද් කාර්යයක් බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ.

කොළඹ ලේක්හවුස් මන්දිරය අබියස සිට මිහින්තලා පුදබිම දක්වා ජුනි 06 දින වැඩම වූ මෙම සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ රැගත් රිය පෙරහර ආරම්භ කිරීමේ පුණ්‍යෙීත්සවයට සහභාගිවෙමින් ධම්මරතන නා හිමියෝ මෙසේ පැවැසූහ.

ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මැතිතුමන් කරඬු වහන්සේ වැඩමවා භික්ෂූන් වහන්සේ වෙත ආගමික වතාවත් සඳහා ආරාධනා කිරීමෙන් පසු කොටහේන සාම විහාරාධිපති මාදම්පිටියේ විමලවංශ හිමියෝ පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවූහ. මෙම ආගමික අවස්ථාවට හුණුපිටිය ගංගාරාමයේ මහා සංඝයා වහන්සේලා ද වැඩම කර සිටි අතර, සෙත් පිරිත් සජ්ඣායනයෙන් පසු ධම්මරතන නා හිමියන් විසින් මෙම පුණ්‍ය කටයුත්ත පිළිබඳව අනුශාසනාවක් පවත්වමින් තවදුරටත් මෙසේ ද පැවැසූහ.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය පිළිරුව දුර්ලභ නිර්මාණයක්. මිහින්තලයේ දැනට වැඩ සිටින රුක් අත්තන දැවයෙන් නිමකළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිරුව මෙම පිළිරුව තරම් විශාල නැහැ. මතකය අනුව මීට වසර 50කට පෙර ලේක්හවුස් ආයතනයේ පින්කම් අවස්ථාවකදී වැඩම කරවූවක්. මෙම නිර්මාණ මහා වංශයට නව එකතුවක් ලෙස අනාගත දායාද බවට පත්වන මහඟු පුණ්‍ය කර්මයක්.

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජා පින්කම වසරක් පාසා සිදු කෙරෙන අතර එම උතුම් පූජාමය කාර්යයන් රටට, ජාතියට, ආගමට, ආශිර්වාදයක්. ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතා ඇතුළු මෙම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් මෙතෙක් දායකවූවන්ට ද, යුද්ධයෙන් මියගිය සියලු දෙනාට ද මෙහි දී පුණ්‍යානුමෝදනා සිදු කරන බව ද උන්වහන්සේ පැවැසූහ.මෙම අවස්ථාවේ දී ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ද අදහස් දැක්වී ය.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමේ පෙරහර සහ එම ආගමික චාරිත්‍රයන් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය හා ආයතනයේ සේවක සේවිකාවන්ගේ හා ලේක්හවුස් බෞද්ධ සංගමයේ දායකත්වයෙන් සංවිධානය කර තිබිණි.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව හා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ වෙත පුෂ්පෝපහාර පැවැත්වීමෙන් පසු පෙරහර ගමන් ආරම්භ කෙරිණි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිදුව 2325 වන වසර සපිරීමත්, මිහින්තලා ලේක්හවුස් වාර්ෂික ආලෝක පූජාව ජුනි 26,27,28 දිනවල දී මිහින්තලා පුදබිමේ දී පැවැත්වීමත් නිමිත්තෙන් මෙම පූජෝපහාර පෙරහර පැවැත්වීමට සංවිධානය කළ අතර, මෙම පෙරහර ජුනි 08 දින මිහින්තලා පුද බිම වෙත ළඟාවිය.

ලේක්හවුස් මන්දිරය අබියසින් මිහින්තලා පුද බිම වෙත ජුනි 06 දින පෙරවරු 10 ට පමණ ගමන් ආරම්භ කළ මෙම රිය පෙරහර කැලණිය රජමහා විහාරස්ථානය වෙත පැමිණි අතර, කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියෝ ද එහි රැස්ව සිටි සැදැහැවත් බොදු බැතිමත්හු ද කැලණි පුදබිමේ දී මේ අසිරිමත් ශෛලමය සිරිපා අනුරුව වන්දනාවට එක්වූහ.

මිහින්තලා පුදබිම වෙත වැඩමවනු ලැබූ සිරිපා ශෛලමය අනුරුව ලේක්හවුස් ආයතනයේ දායකත්වයෙන් කළුගලින් නිම වූවක් වන අතර, එම නිර්මාණය මොරටුවේ පදිංචි සමන්ජිත් පෙරේරා 52 දෙහැවිරිදි ගල් කැටයම් ශිල්පියා විසින් සිදු කරන ලද්දකි. එම නිර්මාණයේ දිග අඟල් 57ක් හා පළල අඟල් 30 පමණ වන අතර එහි ඝනකම අඟල් අටහමාරක් පමණ වේ.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිරුව ඇත්දෙමට දැවයෙන් අඩි නවයක පමණ උසට නිමවා ඇත. ජනක එදිරිසිංහ මහතා ඇතුළු හිතවතුන් පිරිසකගේ දායකත්වයෙන්, මොරටුවේ පදිංචි 28 හැවිරිදි සනත් ප්‍රනාන්දු නමැති වඩු කාර්මිකයා විසින් එම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත.

 

 

අධි පොසොන් අමාවක පෝය


අධි පොසොන් අමාවක පෝය ජුනි 13 වනදා බදාදා පූර්ව භාග 4.35 ට ලබයි. 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.13 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජුනි 13 බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 20 බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]