Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය - සාමණේරයන් වහන්සේ බිසොවුන්ගේ බස් අසා, දාන සම්භාර බලා සතුටු වී රජව උපනහොත් බුද්ධ ශාසනයට උපකාරීව බොහෝ පින්කොට ගත හැක්කැයි සිතා එළඹ සිටියාවූ දිව්‍යලෝක සම්පත්තිය හැර බිසොවුන්ගේ ආරාධනාව පිළිගත් සේක. (සං.ලං. 431 පිටුව)

සද්ධර්මාලංකාර කතුවරයා මේ පුවතින් හෙළි කරන රජතුමා කවරෙක්ද? පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර – වංස කතා සාහිත්‍යයේද සද්ධර්මාලංකාර කෘතියෙහිද ඉදිරිපත් කර ඇති පරිදි ගැමුණු කුමරු විහාර මහා දේවියගේ කුස පිළිසිඳ ගැනීමට පෙර තිස්ස මහාවිහාරයේ වැඩි විසූ සාමණේර භික්ෂුවකි. දරු ප්‍රතිලාභයක් නොමැතිව කනස්සල්ලෙන් පසු වූ විහාර මහාදේවිය තම ස්වාමියා වූ කාවන්තිස්ස රජතුමා සමඟ තිස්සමහා වෙහෙර වැඩ විසූ මහරහතන් වහන්සේ කෙනෙකුන් ඇසුරු කෙරෙති. උන්වහන්සේ පින්වත් විහාර මහාදේවිය වාසනාවන්ත පුත්‍ර ලාභ ඇත්තියෙක බව පවසති. රහතන් වහන්සේගේ උපදෙස් ඇතිව දේවිය එම වෙහෙර ගිලන්ව වැඩ සිටි සාමණේරයන් වහන්සේ නමක් කරා එළඹ තමන්ට පුත්ව උපදින මෙන් ආයාචනය කර සිටී. එහෙත් සාමණේරයන් වහන්සේ අපවත්ව දෙව්ලොව ඉපදීමට කැමැති බව ප්‍රකාශ කරති. එහිද මහා විහාර මහාදේවිය උන්වහන්සේ තමාට පුත්ව උපත ලද හොත් මතු රාජ්‍යයට පත්ව බොහෝ පින්දහම් කළ හැකි බව ප්‍රකාශ කරති. සාමණේරයන් වහන්සේ පසුව දේවියගේ අයැදීම පිළිගිනිති.

ප්‍රශ්නය - සාධු සමාජයක ගති ලක්ෂණය වන්නේ එක් අයෙකුගේ යහපත් බව සමස්ථ සාධු සමාජයේම යහපත් බවේ ඓක්‍යයයි. පෙළ දහමට අනුව පැහැදිලි කරන්න.

පිළිතුර - සුමන වග්ග මහාසාල සූත්‍රය (අං.නි) අනුව බුදුරජාණන් වහන්සේ වරෙක ඒක පුද්ගල යහපත ‘සද්ධං කුලපුත්තං නිස්සාය’ හේතුවෙන් ‘අන්තොජනා’ වටා සිටින්නවුන් (ඇසුරු කරන්නවුන්) කරුණු පහකින් අභිවෘද්ධියට පැමිණෙන බව වදාළහ.

එනම්,

1. සැදැහැයෙන් වැඩිදියුණු වේ (සද්ධා)

2. සිල්වත් බවින් වැඩිදියුණු වේ (සීල)

3. පරිත්‍යාගයෙන් (දීමන්) (චාග)

4. ප්‍රඥාවෙන් වැඩිදියුණු වේ. (පඤ්ඤා)

5. ශ්‍රැතයෙන් (ඇසීමෙන් ) (ශ්‍රැති) පුද්ගල යහපත සිදුවේ.

ප්‍රශ්නය - දරු සම්පත දෙමව්පියන්ට සම්පතකි. පුතකුගේ උපත වඩාත් සැපතක් වශයෙන් සැලකෙන සමාජ සම්මතයක් වන බව බුදු දහම අවධාරණය කරයි. පුතු ජන්ම ලාභය වඩාත් පි‍්‍රය මනාප සම්පතක් වීමට හේතු කිහිපයක් බුදු දහම පෙන්වා දෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර – “මාතා පිතරො පුත්තං ඉච්ඡන්ති ඨනානි සම්පස්සන්තා - කු ලෙ ජයමානං” (අං.නි. සුමන වග්ග පුත්ත සූත්‍ර)

පුතකුගේ ජන්මය වඩාත් කැමැති වන කරුණු පහක් ඇති බව බුදු දහම අවධාරණය කොට ඇත. එනම්,

1 . තමා සුවපත්ව අපවද සුවපත් කරයි.

2. අපගේ කුදු මහත් කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නේ ය.

3. අපගේ කුල පරපුර දූෂිත බවින් තොරව ආරක්ෂා කරන්නේය.

4. දුන් දෙය අප කැමැත්ත පරිදිම කටයුතු කරන්නේ ය.

5. අප මිය පරලොව ගිය දිනක පිනට දහමට යොමු කොට දන් පැන් දෙන්නේ ය.

ප්‍රශ්නය – බුදු දහමට අනුව සසර පැවැත්මට ප්‍රධාන සාධකයකි තෘෂ්ණාව. මිනිස් මනස තුළ තණ්හාව උපදවන හේතු කාරකයන් අතර ඉච්ඡාව (ආශාව) මූලික වෙයි. මෙම දුර්ගුණයන් රහත් බව දක්වාම මිනිස් මනස තුළ ක්‍රියාත්මක වෙයි. සිවු වැදෑරුම් වූ ඉච්ඡාව නම් වූ දුර්ගුණ මොනවා ද?

පිළිතුර - ඉච්ඡා (ආශාව) නම් දුර්ගුණ මෙසේ ය.

1. අත්‍රිච්ඡතා -

තමා වෙත කෙතෙක් ලැබුණත් තෘප්තිමත් නොවීම හා අනුන් සන්තකය තමා වෙත තබා ගැනීමට ඇති ලොල් බව අත්‍රිච්ඡාතාවය යි. මෙම අත්‍රිච්ඡතාවයෙන් යුක්ත පුද්ගලයාට සැමවිටම තමාවෙත ලැබූ දෙයට වඩා අනුන් සතු දෙයම මහත් ය. වටිනා බවින් වැඩිය යනුවෙන් මානසික අවනතියට පත්වෙයි.

2. පාපිච්ඡතා -

තමා කෙරෙහි නැතිගුණ පහළ කිරීම හා පිළිගැනීමෙහි පමණ නොදන්නා බව පාපිච්ඡතා නම් වෙයි. කුහක පිළිවෙතක්ම අනුගමනය කරන මොහු ශ්‍රද්ධා සීලාදී ගුණ දහමින් පිරිහුණද ලොවට ඒ බව සඟවා සත්ගුණවතෙක් සේ පෙනී සිටී.

3. මහිච්ඡතා -

මහත් ආශාවෙන් හෙවත් කිසිදිනක තෘප්තිමත් නොවන ලෝභී බවයි.

4. අප්පිච්ඡතා -

ඇති ගුණ ප්‍රකට නොකිරීම සහ පිළිගැනීමෙහි පමණ දන්නා බව අප්පිච්ඡතාවය යි. අප්පිච්ඡතාවය මහත් ගුණයකි. තමා කිසිවිටකත් තමා සතු සද්ගුණයන් අනුන් වෙත දැනගැනීමට අකැමැතිවෙයි. එම ශ්‍රාවක හඳුනාගැනීම ඔහු බලවත් සේ විමසිලිමත්ව සිටීම පිළිවෙතක් කරගනී.