Print this Article


අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

ආරාධනා ගල -

මිහිඳු මා හිමියන් ප්‍රථමයෙන් දේවානම්පියතිස්ස මහ රජතුමාට ‘තිස්ස’ යන නාමයෙන් ඇමැතුවේ මෙම ගල් පර්වතයේ සිට බවට සැදැහැවත් ජනයාගේ විශ්වාසය වේ. ආරාධනා ගල කාගේත් සිත් ගත්තකි. මෙම ගල් පර්වතයට නැගි විට මිහින්තලය අවට මනාව දර්ශනය වේ.

එදා මිහිඳු මා හිමියන් ආරාධනා ගල මත සිට දේවානම්පියතිස්ස රජ ඇමතූ කල ගල පා මුල රජු සිටි ස්ථානය සේල චෛත්‍ය පිහිටි සලපතල මළුවේ චන්ද්‍ර කාන්ති පාෂාණයකින් වසා වට කොට ඇත. එය බැතිමතුන්ගේ පුද ලබන ස්ථානයකි.

එදා මිහිඳු මා හිමියන් පැවැත් වූ ප්‍රථම ධර්ම දේශනයට සවන්දීම පිණිස එක් රැස්වන මෙන් සුමන සාමණේරයන් විසින් දෙවියන්ට ආරාධනා කළ ගල යනුවෙන් ද තවත් විශ්වාසයකි.

චන්ද්‍ර කාන්ති පාෂාණය පිහිටි ස්ථානයේ දී මිහිඳු මා හිමියන්ට දේවානම්පියතිස්ස රජු මුණ ගැසුණු බවට ද තවත් විශ්වාසයකි.

****

මිහිඳු ගුහාව -

මිහිඳු මා හිමියන් භාවනාවේ යෙදුනා යැයි සැලකෙන ගලකින් ආවරණය වූ ගල් තලාවකි. එම ගල් තලාවෙහි ඇතිරිල්ලක් එළා ඇති ලෙසින් ගලෙහි ම කොටා ඔප මට්ටම් කළ ආසනයක් පිහිටා ඇත. මෙම ස්ථානය මිහිඳු ගුහාව යනුවෙන් හැඳින්වේ. මෙම මිහිඳු ගුහාව හමුවන්නේ සේල චෛත්‍ය අසළින් නැගෙනහිර දිශාවේ බෑවුමේ යාර 300ක් පමණ පිය නැගූ විට ය.

****

මහා සෑය -

මහාදාඨික මහා නාග රජු විසින් ක්‍රි. ව. 07-19 අතර කාලයෙහි ගොඩනඟන ලද මිහින්තලා කඳු මුදුනේ සුදෝ සුදට බැබලෙන මහ සෑය නෙතට දර්ශනය වන්නේ ඈත සිටය.

ජන විශ්වාසය අනුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ නිදන් කොට තනනා ලදැයි විශ්වාස කරන මෙම මහ සෑය පූජාවලියේ සහ සතරවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ දී හඳුන්වා ඇත්තේ අම්බුළු දාගැබ යනුවෙනි.

දාගැබ් පාදයේ විශ්කම්භය අඩි 136ක් වන අතර උඩ අඩි 45 පමණ වේ. දාගැබෙහි පේසා වළලු තුනකි. පේසා වළලු දෙකක් අතර පරතරය අඩි 4 ක් පමණ වේ. 1890 වර්ෂයේ දී දාගැබේ කොත් කැරැල්ල මුළුමණින් ම විනාශ වී තිබුණි. අවස්ථා කීපයකදී මෙම දාගැබ ප්‍රතිසංස්කරණයට ලක් වූව ද එය සාර්ථක නොවිණි. වර්තමාන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කොට නිම කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ ය. ඒ මීට අවුරුදු කීපයකට ඉහතදී ය.

****

මිහිඳු සෑය -

සෑගිරියේ ඇති ස්තූප තුනෙන් එක් කුඩා ස්තූපයක් බස්නාහිර දෙසට ඇත. එය මිහිඳු සෑය නම් වේ. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී දේවානම් පියතිස්ස මහ රජුගේ බාල සොහොයුරු උත්තිය මහරජු විසින් කරවන ලද මිහිඳු සෑය පුරාණ ලංකාවේ මුල්ම දාගැබ් අතරින් එකකි. පසු කාලයක දී ප්‍රතිසංස්කරණයට ලක්වීම නිසා අද අප දකින්නේ ඒ මුල්ම දාගැබ නොවේ.

****

නාග පොකුණ -

ගල් බැමි බැඳ නයි පෙන පහකින් අලංකාර කොට ඉහළ කඳුමතින් ගලා එන දිය පාර එක් රැස් කළ මෙම පොකුණ නාග පොකුණ නම් වේ.

මිහිඳු මා හිමියන් අනුරාධපුරයේ සිට වස් වැසීම පිණිස සෑගිරියට පැමිණි මොහොතේ මෙම පොකුණෙන් පැන් පහස ලබාගත් බව මහාවංශය සඳහන් කරයි. එබැවින් ඓතිහාසික වශයෙන් මෙන් ම පූජනීය ද වන්නේ ය.

මීටර් 12ක් හා මීටර් 5ක් පමණ දිගින් හා පළලින් යුත් නාග පොකුණ හා සම්බන්ධ ජල මාර්ග පද්ධතිය හේතුවෙන් සෑගිරි විහාරයේ භික්ෂු සංඝයාගේ දෛනික කටයුතුවලට මහත් පහසුවක් සැලසුණ අතර, සිංහ පොකුණට ජලය ලැබුණේ ද මෙම නාග පොකුණින් ය. එමෙන් ම සෑගිරියේ දාන ශාලාවට අවශ්‍ය ජලය ලැබුණේ ද මෙම පොකුණෙහි සම්බන්ධ කර තිබූ ජලනල මගිනි.