UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චිත්ත දියුණුවට බාධා ඇයි?

චිත්ත දියුණුවට බාධා ඇයි?

භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ බොහෝ සූත්‍ර දේශනාවල සම්මා දිට්ඨිය මෙන්ම මිථ්‍යා දෘෂ්ටිය ඇතිවීමට හේතුවන කරුණු දෙකක් වදාළා. අනුන්ගෙන් අසන්නට ලැබෙන දෙය (සද්ධර්ම ශ්‍රවණය) සහ යෝනිසෝ මනසිකාරය යි. (පරතෝච ඝෝසෝ යෝනිසෝච මනසිකාරෝ) ඒ වගේම මිථ්‍යා දෘෂ්ඨිය ඇතිවීමට (අසද්ධර්මය ශ්‍රවණය) සහ අයෝනිසෝ මනසිකාරය බලපානවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා කෙනෙකුට බාහිර අංගයක් වන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය තරම් යහපත පිණිස, හිතසුව පිණිස පවතින වෙන දෙයක් බුදු ඇසින් නො දකින බව. ඒ වගේම පාප මිත්‍ර ආශ්‍රයත්, අසද්ධර්ම ශ්‍රවණයත් කෙනෙකුගේ අහිත පිණිස, දුක් පිණිස පවතින වෙනත් දෙයක් බුදු ඇසින් නො දකිනා බව.

ඒ වගේම යහපත පිණිස, සැපය පිණිස පවතින වටිනාම අභ්‍යන්තර අංගය යෝනිසෝ මනසිකාරය යි. අහිත පිණිස දුක් පිණිස, පවතින නො වටිනා ම අභ්‍යන්තර අංගය අයෝනිසෝ මනසිකාරය යි. වර්තමාන මිනිසාගේ පොදු දුර්වලතාව ලෙස පෙනෙන්නේ යෝනිසෝ මනසිකාරයේ යෙදීමට ඇති නො හැකියාව සහ සද්ධර්මය, අසද්ධර්මය වෙන්කොට හඳුනා ගැනීමට ඇති අපොහොසත් බව යි. සැපය, යහපත ඇතිකර දෙන යෝනිසෝමනසිකාරය අප ඉවසීමෙන් යුතුව කාලයක් මුළුල්ලේ ක්‍රමානුකූලව පුරුදු පුහුණු කිරීම තුළින් දියුණුව කරා යා හැකි බවයි.

ශ්‍රාවකත්වයට පැමිණීම

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප, මහා කච්චායන, ආනන්ද ආදී මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා පවා ධර්මය දේශනා කළේ ශාස්තෘ ගෞරවයෙන් යුක්තව, බුද්ධ වචන ඉස්මතු කරමිනු යි. ඒ මහෝත්තමයන් වහන්සේලා නිතර පැවසුවේ මේ ධර්මය තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මූලික කරගෙන යි. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙන යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයට භික්ෂූන් වහන්සේලා දරා ගන්නවා කියා යි. නමුත් වර්තමානයේ දී බොහෝ විට ධර්මය දේශනා තුළින්, පොත්පත් තුළින් ධර්මය විස්තර කිරීමේ දී බුද්ධ වචනය ඉස්මතු නො කර පුද්ගලික අර්ථ විවරණය ලබාදීම, තමන්ට වැටහෙන දේ කීම, දහම් වචනවලට හිතෙන හිතෙන විකෘති අර්ථ ලබාදීම ආදිය බහුලව සිදුවේ.

එමෙන් ම අද කාලයේ සමහර ගිහි පැවිදි දෙපක්ෂය ම තමන් මාර්ගඵලලාභීන් ලෙස පෙනී සිටිනවා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා යන මතය ගොඩ නගන්නේත්, ධර්මයට වැරැදි අර්ථ විවරණ ලබාදීම පිණිස අවස්ථාව උදාකර ගැනීමට යි. මේ ආකාරයට තමන්ගේ අවබෝධය හුවා දැක්වීම පිණිස සද්ධර්මයේ අර්ථ වෙනස් කිරීම විශාල පිරිසකට හානියක් වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ සද්ධම්මසම්මෝසාය සූත්‍රයේ දී වදාළ ආකාරයට එය බොහෝ අකුසල් රැස්වෙන, බුද්ධ ශාසනය ඉක්මණින් අතුරුදහන්වීම පිණිස හේතු වන්නක්. ඒ තුළින් තිසරණ සරණ යෑමට ඇති අවස්ථාව, ශ්‍රාවකත්වය ගිලිහි ගොස් සක්කාය දිට්ඨිය මත ම පෝෂණය වෙනවා. එහෙම පුද්ගල ප්‍රතිරූපය ඉස්මතු වුණොත් යෝනිසෝ මනසිකාරය ඇතිකර ගැනීමට ඇති අවස්ථාව නැති වී යනවා. යමෙකුªට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූවානම් ශාස්තෘන් වහන්සේගේත්, ශ්‍රී සද්ධර්මයේත්, ආර්ය මහා සංඝරත්නයේත් ගුණය ඉස්මතු කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් සිදුකළේ නොයෙක් පර්යායන්ගෙන් ධර්මය ඉස්මතු කිරීම මිසක් තම අරහත්වය ප්‍රකට කිරීම නොවේ. මගඵල ලැබීම පුද්ගලික කාරණාවක් මිස දහම් ප්‍රචාරණයේ දී ප්‍රසිද්ධියක් ලබා දීම පිණිස එය කිසිසේත් යොදා නො ගත යුතුයි.

අවබෝධයෙන් පුරුදු කළයුතු සමාධිය

බුද්ධ දේශනා හැදෑරීමෙන් ලත් නිවැරැදි දහම් දැනුමක් නො මැති ගිහි අය අනවබෝධයෙන් සමහර භාවනා වැඩමුළුවලට සහභාගි වෙනවා. එහි දී භාවනා වඩන විට සිතේ එකඟබවක් ඇති වී යම් සමාධියක් උපදිනවා. එවිට බොහෝ භාවනා ආචාර්යවරු කරන්නේ ධ්‍යාන මාර්ගඵල අධිෂ්ඨාන කිරීමට උගැන්වීම යි. ධ්‍යාන මගඵල යනු අධිෂ්ඨාන කොට ලබා ගත හැකි දෙයක් නොවේ. ක්‍රමානුකූලව ධර්මයේ හැසිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයකි. තව සමහරුන්ට භාවනා කරගෙන යද්දී විඤ්ඤාණයේ මායාකරී බව නිසා නොයෙකුත් චිත්ත රූප පෙනෙන්නට ගන්නවා. බුදුරජාණන් වහන්සේ, දෙවිවරුන් පේනවා. සමහර විට තමන් සමඟ කතාබස් කරන ආකාරය ඇසෙනවා. ශරීරයේ ඇටසැකිල්ල පේනවා. නමුත් ඒ සිතේ මායාවන් මිස සැබෑවක් නොවේ. මේ මායාකාරී චිත්තරූපවලටත් සමහරු මගඵල කියා රැවටෙනවා. ඒ නිසා අප මුලික බුද්ධ දේශනා තුළින් හොඳින් ධර්මය හදාරමින් බුද්ධිමත් ව සමාධිය දියුණු කර ගන්නට මහන්සි ගත යුතුයි. එසේ නො මැතිව බොරු මාර්ගඵලවලට රැවටී ලාභ සත්කාර සොයා ගියහොත් නාග ලෝකයේ ඉපදේවි. ධර්මයට ගර්හා කළොත් දුගතියේ ඉපදෙන්නට පුළුවනි.

බුද්ධ කාලයේ මෙන් වේගවත් චිත්ත දියුණුවක් කරා නො යන්නේ ධර්මයේ අඩුවක් නිසා නොව අපේ කුසලතාවල අඩුව නිසයි කියා පිළිගන්නට තරම් අප නිහතමානි විය යුතුයි. මනාකොට පිළිවෙත් පුරන්නේ නම් රහතුන්ගෙන් ලෝකය හිස් නොවන බව සුභද්‍ර පිරිවැජියාට වදාළ බව සත්‍යයක්. නමුත් ශාසන ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී අඛණ්ඩ මගඵලලාභී පරපුරක් වැඩ සිටියේ නැහැ. කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසු ඇති වූ ශාසනික පිරිහීම තුළ උපසම්පදා භික්ෂූන් පවා ලක්දිව නැතිව ගියා. ගණින් වහන්සේලාගේ යුගයක් පවා ඇතිවුණා. මේ කරුණු අප බුද්ධියෙන් වටහාගෙන නිහතමානිව ඉවසීමෙන් යුතුව ශාස්තෘ ගෞරවයෙන් පිළිවෙත් පිරිය යුතුයි.

සිල්වතාට ප්‍රණීත සීලය

දුක්කථා නම් සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සීලවන්තයාට සීලය ගැන කථා කිරීම ප්‍රණීත යි. දුස්සීලයාට සීල කතාව අමිහිරි යි කියා. දුස්සීල පුද්ගලයා සීලයට ගරහනවා. සීලය ගැන කතා කරද්දී මඟහැර යනවා. සීලයට වටිනාකමක් දෙන්නේ නැහැ. නමුත් සීල ගෞරවය, ශාස්තෘ ගෞරවය තිබෙන ශ්‍රාවකයා එහෙම නැහැ. සසුන්බර දැරූ පළමු ධර්ම සංගායනාව සිදුකළ මහාකස්සප මහරහතන් වහන්සේ වදාළේ විනය යනු ශාසනයේ ආයුෂය බව යි. විනය පැවතුණොත් ශාසනය පවතින බවයි. එම නිසා ශික්ෂාපද වෙන් නො කොට කුඩා අනු කුඩා ශික්ෂාපද ඉවත් නො කර භාග්‍යවතුන් වහන්සේ පැන වූ ආකාරයට ම සීලය ආරක්ෂා කරන්නට රහතන් වහන්සේලා ඒකමතිකව තීරණය කළා. මිහිඳු මහරහතන් වහන්සේත්, ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම පිණිස, අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතුන් ලවා ථූපාරාම සෑ මළුවේදී විනය පිටකය සංගායනා කළා. එම නිසා ගිහි පැවිදි අප කවුරුත් ශාස්තෘ ගෞරවයෙන් සීල ගෞරවයෙන් යුතුව සිල්පද ආරක්ෂා කිරීම කළයුතු ම දෙයක්.

සිතිවිලි පාලනය - සිතට සහනයක්

සිතේ වේගවත්බව වැඩි කෙනාට විසිරීම හෙවත් උද්දච්චය අධික යි. එය නීවරණ ධර්මයන්ගෙන් බැටකන සිතක සාමාන්‍ය ස්වභාවය යි. එවිට කළයුතු වන්නේ කායික – වාචසික සංවරයේ (සීලයේ ) පිහිටා කුසල් අරමුණක සිත එකඟ කිරීමෙන් සිත පාලනය කර ගැනීම යි. ශ්‍රද්ධාව දියුණුවීම පිණිස බුද්ධානුස්සතියත්, සංසිඳීම හා නිහතමානිවීම පිණිස මෛත්‍රිය, අසුභය වැනි භාවනා ප්‍රගුණ කිරීම හොඳයි. කුසල් අරමුණක සිත එකඟවීම කුසලතාවයක්. නමුත් සිතක දියුණුව තමයි කරුණාව, මෛත්‍රියෙන් යුතුවීම, නිහතමානි වීම, පිදිය යුත්තන් පිදීම, ගරුකළ යුත්තන්ට ගෞරව කිරීම, තමා හුවා නො දැකීම, අනුන් හෙළා නො දැකීම, තුණුරුවන් කෙරෙහි ගෞරවය, වැඩිහිටි ගෞරවය ආදී ගුණධර්ම දියුණුකර ගැනීමට මහන්සි ගැනීම.

එමනිසා ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට නම් ඉරිසියාව හා ගැරහීම ආදී අකුසල් දුරුකොට ගුණධර්ම දියුණු කරගත යුතු ය. රටක් වශයෙන් අපගේ දියුණුව ප්‍රමාද ධර්මය නිසාවත්, දුක හෝ අනිත්‍ය ගැන කතා කිරීම නිසාවත් නොවේ බුද්ධ දේශනාවෙහි සටහන්ව ඇති ඒ සත්‍ය ධර්මය අනුගමනය නො කිරීම නිසා යි.

එනිසා දුකෙන් නිදහස් වීමට නම් පුනර්භවය ඇතිකර දෙන (පෝනෝභවිකා) ආශ්වාදයෙන් ඇලෙන (නන්දිරාගසහගතා) ඒ ඒ තැන සතුටින් පිළිගන්නා (තත්‍රතත්‍රාභිනන්දිනී) කාම, භව, විභව යන ත්‍රිවිධ තණ්හාවම ප්‍රහාණය කළ යුතුයි. ඒ සඳහා ඇති එකම මාර්ගය නම් සීල, සමාධි, ප්‍රඥාවෙන් යුක්ත ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]