UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පවෙහි සැහැසි බව පෙන්වන පේත කථා : තම යහපත උදාකරගෙන ලෝකයටද යහපත උදා කරන්න

තම යහපත උදාකරගෙන ලෝකයටද යහපත උදා කරන්න

කෙනෙකුගේ ජීවත් වීම මෙන් ම ජීවිතයත් ශ්‍රේෂ්ඨ වන්නේ එම තැනැත්තා තමාගේ ජීවිතය කොතෙක් දුරට අර්ථවත් කරගෙන තිබේද? ඔහුගේ ජීවත් වීමෙන් ලෝකයට ලැබෙන යහපත කුමක්ද? යන්න මත ය.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි අම්බරසක්ඛර නම් ලිච්ඡවී රජු අරභයා මෙම පේත කථාව දේශනා කළහ.

බුදුරදුන් ධරමාන සමයෙහි අම්බරසක්ඛර නම් ලිච්ඡවී රජතුමා විශාලා මහනුවර රාජ්‍ය කළේය. ඔහු මිථ්‍යා දෘෂ්ටියෙකි. පින් පව් විශ්වාස නොකළ නාස්තික වාදියෙකි. කිසිවක් පරිත්‍යාග නොකළ අයෙකි. එසමයෙහි විශාලා නුවර එක්තරා වෙළෙන්දෙකුගේ වෙළෙඳ සැල ඉදිරිපිට මඩ වගුරක් විය. බොහෝ මිනිස්සු එහි වැටී කරදරයට පත් වූහ. මඩ තැවරී අපහසුතාවයට පත්වූහ.

මේ දුටු වෙළෙන්දා දුගඳ නැති සුදු පැහැයෙන් යුත් ගව හිස් හා ඇටකටු මඩ වගුරට දමා මිනිසුන්ට පහසුවෙන් එහා මෙහා ගමන් කළ හැකි පරිද්දෙන් පාර සකස් කළේ ය. හෙතෙම ස්වභාවයෙන්ම සිල්වත් වූ අතර කිසිවෙකුටත් කිසිවිටෙකත් ක්‍රෝධ නොකළේ ය. කථාවේ දී මොලොක් වචන භාවිතා කළේ ය. අන්‍යයන්ගේ ඇති ගුණ අගය කළේය. එක් දිනක් ඔහු තම යහළුවෙකු සමග ස්නානය පිණිස ගොස් කවටකමක් ලෙස මිතුරාගේ වස්ත්‍ර සඟවා තබා ඔහුට සිත් අමනාප ඇතිකොට පසුව ලබාදුන්නේය.

වෙනත් දිනෙක ඔහුගේ බෑණා කෙනෙකු අනුන්ගේ ගෙවල්වලින් බඩු සොරකම් කොට ගෙනවුත් ඔහුගේ කඩේ සඟවා තැබුවේ ය. බඩු හිමියෝ ඔහුගේ කඩේ බඩු සඟවා ඇති බව දැනගෙන එහි පැමිණ ඔහුත් ඔහුගේ බෑණාත් රජුට අල්ලා දුන්නහ. ඔවුන් දෙදෙනා කළ වරද අනුව වෙළෙන්දාගේ හිස ගසා දැමීමටත් බෑණා උල තැබීමටත් රජතුමා නියෝග කළේය. හිස් ගැසුම් කා මරණයට පත් වෙළෙන්දා මියගොස් භූමාටු දෙවියෙකුව උපන්නේය. මඩ වගුරට ඇට කැබලි දමා මිනිසුන්ට පහසුවෙන් යා හැකි පරිදි සකස් කිරීමේ අනුරූපී විපාක වශයෙන් ඔහුට ආජානීය අශ්වයෙකු ලැබුණේ ය. අනුන්ගේ ගුණ නොවලහා ප්‍රකාශ කළ හෙයින් ඔහුගේ ශරීරයෙන් සුවඳ විහිදුණේ ය. කෙළි පිණිස තම යහළුවාගේ වස්ත්‍ර සඟවා සිත් වේදනා ඇතිකොට ආපසු දුන් හෙයින් නග්න වූයේ ය. හෙතෙම තමා කළ පූර්ව කර්මය අනුස්මරණය කරමින් සිටින අවස්ථාවෙහි උල තබන ලද තම බෑණා ගැන සිහිපත් ව වහා තම ආජානීය අසු පිට නැගී ඔහු සිටින තැනට ගියේය. එහි ගොස් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ජීවත් වෙව, ජීවත්වීම ශ්‍රේෂ්ඨය යනුවෙන් නිතර නිතර කියමින් ඔහු අස් වැසී ය.

ඉක්බිති එක් දිනක් අම්බරසක්ඛර නම් ලිච්ඡවී රජු නගර ප්‍රදක්‍ෂිණාවෙහි නියුක්ත වූයේ ජනේලයක් හැර එයින් රජ සිරි නරඹමින් සිටි රූමත් කාන්තාවක් දුටුවේ ය. ඇය පිළිබඳ සිතක් ඇතිකරගත් රජු එම නිවස හා ස්ත්‍රිය මතකයේ තබා ගන්නා මෙන් තම රථයෙහි පිටුපස අසුනෙහි සිටි තැනැත්තාට කීවේය. නගරය ප්‍රදක්‍ෂිණා කොට රජ මැදුරට ගිය අම්බරසක්ඛර රජු තම රථයේ පසුපස අසුනේ සිටි පුද්ගලයා කැඳවා අස්වල් ස්ත්‍රීය අස්වාමිකද නැතහොත් සස්වාමික ද යන්න දැනගෙන එන මෙන් පිටත්කර හැරියේය. ඔහු ස්ත්‍රියගේ නිවසට ගොස් කරුණු විපරම් කොට බලා ඇය විවාහක බව රජුට දන්වා සිටියේ ය. ස්ත්‍රියගේ රූමත්කමට වශී වූ රජු කෙසේ හෝ ඇය ලබාගැනීමේ අදිටනින් යුක්ත විය. ඉක්බිති රජු ඇගේ ස්වාමිපුරුෂයා කැඳවා රජ මාලිගාවේ සේවයට එන මෙන් දැන්වී ය. රජුගේ ඉල්ලීමට අකැමැති වුවද රාජ උදහසට ලක් වී ජීවිතයෙන් වන්දි ගෙවිමට සිදුවන හෙයින් අකැමැත්තෙන් නමුත් එයට එකඟ විය. ටික දිනක් ඇවෑමෙන් ඔහු කැඳවූ රජතුමා එක්තරා පොකුණක් ගැන සඳහන් කොට එහි ගොස් අරුණුවන් මැටි හා රතු උපුල් රැගෙන සවස් වන්නට පෙර පැමිණිය යුතු බවත් එසේ නොවුණහොත් ජීවිතය ගැන අපේක්ෂා තබා ගතයුතු නැති බවත් කීවේය. එම පුරුෂයා ද එකී පොකුණ සොයාගෙන උදෑසනම පිටත් විය.

මේ අතර රජු නගරයේ දොරටු පල්ලා කැඳවා හිරු බැස යාමටත් පෙර වාසල් දොරටු වසා දමන මෙන් දැන්වී ය. අසරණ මිනිසා මරණ භයෙන් තැති ගෙන අරුණුවන් මැටි හා රතුපුල් සොයා වේගයෙන් ගමන් කළ අතර පෙරවරුවේම අදාළ පොකුණ වෙත පැමිණ අමනුෂ්‍යයෙකුගේ සහාය ඇතිව මැටි හා රතුපුල් රැගෙන සවස් වීමට පෙර නගරය කරා පැමිණියේ ය. වාසල් දොරටුව අසලට ළඟාවෙත්ම දොරටු පාලයා එය වසා දැමී ය. අසරණ වූ පුරුෂයා ඒ අසල උල තබා සිටි මිනිසා වෙත ගොස් තමා කල් ඇතිව පැමිණි බවත් දොරටු පාලයා ඒ ගැන නොසලකා තමා එනු දැක දැකත් දොරටු වසා දැමූ බවත් දන්වා එයට සාක්‍ෂි කරුවෙකු වන මෙන් ඇයැද සිටියේය. ඔහු ඇමතූ උල තැබු මිනිසා මරණයට කැපව සිටින තමා වැන්නෙකු කෙසේ නම් සාක්‍ෂි කරුවෙකු වන්නේ දැයි විමසා තමන් වෙත පැමිණෙන එක්තරා නග්න ප්‍රේතයෙකු ඇති බවත් ඒ සඳහා ඔහු සාක්‍ෂිකරු කරන මෙන් දන්වා සිටියේය. නග්න ප්‍රේතයා එහි පැමිණි පසු රාජ සේවයේ නියුක්ත පුද්ගලයා ඔහුට සියල්ල දන්වා ඔහු සාක්‍ෂි කරුවෙකු කළේ ය.

පසු දිනයෙහි පුරුෂයා කැඳවූ රජු රජ අණ නොපිළිපැදීම නිසා ඔහුට දඬුවම් දීමට සූදානම් වූයේය. පුරුෂයා සිදුවූ සියල්ල නොවලහා රජුට දන්වා සිටියේය. රජු එයට සාක්‍ෂි ඉදිරිපත් කරන මෙන් දැන්වීය. උල තැබූ මිනිසා වෙත පැමිණෙන නග්න ප්‍රේතයා එයට සාක්‍ෂි යැයි ඔහු පැවසී ය. පුරුෂයාගේ ප්‍රකාශය සත්‍ය දැයි විමසීම පිණිස එදින රාත්‍රියෙහි රජු එම පුරුෂයා සමග එහි ගොස් විපරම් කරමින් සිටියේය. සුපුරුදු පරිදි නග්න ප්‍රේතයා එහි පැමිණ ජීවත් වෙව, ජීවතයම ශ්‍රේෂ්ඨය යනුවෙන් ප්‍රකාශ කළේ ය. අම්බරසක්ඛර ලිච්ඡවී රජු නග්න ප්‍රේතයාගෙන් කරුණු විචාළේය. අතීත සිදුවීම් සියල්ල නොවලහා ප්‍රකාශ කළ ප්‍රේතයාගේ කථාව අසා සිටි අම්බරසක්ඛර ලිච්ඡවී රජු ඔහු වෙනුවෙන් කුමක් කළ යුතුදැයි විමසීය.

තමා වෙනුවෙන් මහකප්පින තෙරුන්ට වස්ත්‍ර යුගලක් පූජා කොට එම පින් අනුමෝදන් කරවන මෙන් නග්න ප්‍රේතයා ඉල්ලා සිටියේය. ලිච්ඡවී රජු ඒ අනුව කප්පින තෙරුන්ට වස්ත්‍ර යුගල අටක් පූජා කොට එම පින් නග්න ප්‍රේතයාට අනුමොදන් කළේය. පින් අනුමෝදන් වූ ප්‍රේතයා නග්න භාවයෙන් මිදුණේය. කප්පින තෙරුන්ගෙන් බණ අසා දැහැමි අයෙකු බවට පත් ලිච්ඡවී රජු උල හිඳුවා සිටි පුද්ගලයා ද රාජ්‍ය අනුමැතිය පරිදි එයින් නිදහස් කොට වෙදුන් ලවා සුවපත් කළේය. අවසානයේ සියල්ලෝම එක්ව සදාචාර ධර්මයෙහි පිහිටා බොහෝ යහපත් දෑ කළෝය.

සිදුවීම් කීපයක් හා සම්බන්ධ කෙරෙන මෙම පේත කථාවෙන් ලැබිය හැකි ආදර්ශ බොහෝ වෙති. අම්බරසක්ඛර ලිච්ඡවී රජු පව් පින් හොඳ නරක විශ්වාස නොකළ නාස්තික වාදියෙකි. එසේම රාගයෙන් මත්ව එය සන්තර්පනය කරගැනීම සඳහා අසරණ මිනිසෙකු අපහසුතාවයට පත් කළේය.

අම්බරසක්ඛර ලිච්ඡවී රජු තම අභිලාසය මුදුන් පමුණුවා ගැනීම පිණිස උපක්‍රමශීලීව කටයුතු කළ ආකාරයෙන් රාගයෙන් රත් වූ අයෙකුගේ හැසිරීම ද පැහැදිලි වේ. ඇතැම් විට එබඳු ක්‍රියා අවසන් වන්නේ ජීවිතවලින් පවා වන්දි ගෙවීමෙන් විය හැකිය. මෙහි එන වෙළෙන්දා යහපත් අයෙකු වුවද ඔහු විසින් වැරැදි ක්‍රියා දෙකක් සිදුකරන ලදි. කෙළි පිණිස තම යහළුවාගේ වස්ත්‍ර සඟවා තබා ඔහු අපහසුතාවයට පත් කිරීමත් තම බෑණා විසින් සොරකම් කොට ගෙන එන ලද භාණ්ඩ සඟවා තබාගැනීමත් එම වැරැදි දෙක වේ. කවට කමට වුව ද කෙනෙකු අපහසුතාවට පත්කිරීම වරදක් බව මෙම පේත කථාවෙන් ප්‍රකට වේ.

ඇතැම් විටෙක මිනිසුන්ට වඩා අමනුෂ්‍යයන් යහපත් ය යන්න අරුණුවන් මැටි හා රතුපුල් සොයා ගිය අසරණ පුද්ගලයාට අමනුෂ්‍යයෙකුගේ සහාය ලැබීමෙන් පෙනේ. කර්ම විපාකයේ පවතින සංකීර්ණ ස්වරූපය හඳුනා ගැනීමට මෙම පේත කථාව බෙහෙවින් උපයෝගී වේ. උල තැබූ මිනිසා අමතා කෙරෙන ‘ජීවත් වෙව ජීවිතයම ශ්‍රේෂ්ඨය, යන ප්‍රකාශය බෙහෙවින් වැදගත් වේ.

කෙනෙකුගේ ජීවත් වීම මෙන්ම ජීවිතයත් ශ්‍රේෂ්ඨ වන්නේ එම තැනැත්තා තමාගේ ජීවිතය කොතෙක්දුරට අර්ථවත්කරගෙන තිබේද? ඔහුගේ ජීවත් වීමෙන් ලෝකයට ලැබෙන යහපත කුමක්ද? යන්න මතය.

තමාගේ ජීවිතය අඳුරු කරගත් අන්‍යන්ගේ ජීවිතද අඳුරට ඇද දැමූ තැනැත්තාගේ ජීවත් වීම නිරර්ථකය. තමාගේ යහපත උදාකරගෙන ලෝකයටද යහපතක් උදාකරන තැනැත්තාගේ ජීවිතය මෙන්ම ජීවත් වීමත් ශ්‍රේෂ්ඨය.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]