UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

‘යශෝධරා’ සිනමා නිර්මාණය : කාන්තාවන්ගේ කාන්තා රත්නය

‘යශෝධරා’ සිනමා නිර්මාණය

කාන්තාවන්ගේ කාන්තා රත්නය

බිම්බා දේවි හෙවත් යශෝධරාව ශ්‍රී ලංකාවේ බෞද්ධ සැදැහැවතුන්ගේ ඉතාමත් ගෞරවාදරයට පත් කාන්තා රත්නය යි. එවන් උතුම් කාන්තා චරිතය ඇසුරෙන් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අලුත්ම සිනමා නිර්මාණය ‘යශෝධරා’ සිනමා නිර්මාණය අරබයා, ගිහි, පැවිදි උතුමන් වහන්සේ විසින් පළ කරන ලද අදහස් මාලාවකින් උපුටා ගත් අදහස් කිහිපයකි මේ

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

“යශෝධරා කියල කියන්නෙ ලෝකයේ කාන්තාවන්ගේ සිළුමිණ, ඇය තමයි ලෝකයේ කාන්තාවන්ගේ පරමාදර්ශය. සිංහල සමාජයට හැම කල්හිම උපදේශ සලසන මේ විශිෂ්ට චරිතය පළමු වතාවට තමයි සිනමා නිර්මාණයක් විදිහට අප දකින්නෙ. මම හිතනව මේ චිත්‍රපටය තුළින් මහනුවර යුගයේ යශෝධරාවත ලියු ජනකවියා ලබා දුන් ආදර්ශය, නවීන තාක්ෂණය භාවිත කරල විශිෂ්ට ලෙස සමාජයට ගේන්න උත්සාහ කරල තියෙනවා කියලා. මං හිතන්නෙ ලංකාව අද දවසේ කාන්තාව කොයි වගේ චරිතයක් විය යුතුද යන්න මේ චිත්‍රපටයෙන් කියා දෙනවා. විශේෂයෙන්ම කුඩා දරු දැරියන්ට මේ චිත්‍රපටය නැරඹීම වැදගත්. මේ චිත්‍රපටයෙන් අධ්‍යාපන අරමුණු රාශියක් ද ඉටුවෙනවා.

සම්මානීය ගේය කාව්‍ය රචක රඹුකන සිද්ධාර්ථ හිමි

“බුදු සිරිතේ මා කියැවු – මා ආදරය කළ යශෝධරාව පළමුවෙනි වතාවට සිනමා පටයක් තුළින් අද දවසේ මම දැක්කා. “ළා දළු බෝපත් සෙමෙන් සැලෙන සේ යශෝධරා දේවි” කියන ගීතය ලියද්දිත්, මගේ ඇසෙන් කඳුළු වැටුණ අවස්ථා තිබුණා. ඒ තරම් මං සංවේදී වුණා ඒ චරිතයට. මං ඒ තරම් ආදරය කළ යශෝධරාව ,අද දවසෙ මුළු චිත්‍රපටයෙ , පුරා දකිද්දි ඇතිවෙච්ච අනුකම්පා සහගත සංවේදී හැඟීම් මාලාව කියාගන්න බෑ. මට විශාල බයක් තිබුණා. යශෝධරාවගේ චරිතයට අබමල් රේණුවකින් හෝ හානියක් වෙයි කියල.මේ චිත්‍රපටයේ සුනිල් ආරියරත්නයන් විසින් යශෝධරාවගේ චරිතයට අබමල් රේණුවකින් හෝ හානියක් කරල නෑ. ඉතාමත් උතුම් තත්වයෙන් උත්තරීතර තත්වයෙන් යශෝධරාවගේ ජීවිතය කුළුගන්වා තිබෙන මේ චිත්‍රපටය විශාල පින්කමක්.

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

“අපේ බෞද්ධ සාහිත්‍යයේ ඉතාම ප්‍රබල චරිතයක් යශෝධරාව. ඒ චරිතයට හොඳ සාධාරණත්වයක් මේ චිත්‍රපටය තුළින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉෂ්ට කරල තියෙනවා. විශේෂයෙන්ම හැම පැතිකඩක්ම මේ චරිතය වටා තියෙන සියලු චරිත ඉස්මතු වෙලා තියෙනව. යශෝධරාවගේ අධ්‍යාත්මික ගුණාංග, සිල්වත් බව, ඒ වගේම පවිත්‍රත්වය, ඒ වගේම බ්‍රහ්මචාරි බව වගේ උදාර ගතිගුණ ඉස්මතු කරල තියෙනව. කාන්තා පරපුරටම උදාර ආදර්ශයක් මේ යශෝධරාවගෙන් ලබා දෙනව. මුළු ලෝකවාසි කාන්තා පරපුරටම ආදර්ශයක් දෙන විදිහට මෙම චිත්‍රපටය නිර්මාණය කර තියෙනව. කාන්තාව මාතෘත්වය ඉතාමත් අවිචාර තත්ත්යවට, අශීලාචාර තත්ත්වයට පත්වෙලා තිබුණ යුගයක. මෙන්න සැබෑ කාන්තාව මේ විදිහමයි කාන්තාව ජීවත්වෙන්න ඕනෑ. මේ තමයි පරමාදර්ශී කාන්තාව, මේ තමයි ලෝකයේ පහළ වෙච්චි පරමාදර්ශි බිරිඳ. ආදි වශයෙන් ප්‍රබල විදියට මේ චරිතය නිරූපණය කර තියෙනවා. ඒ නිසාම මේ චිත්‍රපටය නරඹන මෑණිවරුන්ට අපේ සහෝදරියන්ට අපේ දියණිවරුන්ට විශාල ආදර්ශයක් සැපයෙනවා. අපිත් ඒ වගේ උත්තරීතර තත්වයට පත්වෙන්න ඕනැ කියන ආදර්ශය, අන්න ඒක තමයි මම මේකේ දකින ප්‍රබලම අධ්‍යාත්මික පැතිකඩ. ඒ වගේම දෙව්දත් චරිතය, සිදුහත් චරිතය ප්‍රබල විදිහට නිරූපණය වෙනවා. ඒ සිදුහත් කුමාරයා තුළ අපේ බෝධිසත්වයන් තුළ තිබුණු මනුෂ්‍යත්වයට උරුම විවිධ හැඟීම් ඉතාම ලස්සනට පෙන්නල දීලා තියෙනවා.

බටුවංගල රාහුල හිමි

“යශෝධරා චරිතය සිනමාවට නගනව කියන එක විශාල අභියෝගයක්. ඒක අපිට නවකතාවකට නගනව කියන එකත් අභියෝගයක්. එතකොට යශෝධරා පිළිබඳව විවිධ දෘෂ්ඨිකෝණ වලින් සමාජය දුටු අවස්ථාවන් තිබුණා. විවිධ කෘති කියවන විට සැබෑ යශෝධරා අපි තාම දැකල තියෙනවද කියල හිතෙනව. කෙසේ හෝ වේවා යශෝධරා පිළිබදව සමාජයේ විවිධ අයගේ විවිධ අදහස් තිබෙනව. විවිධ කතිකාවන් තියෙනව. බෝසතාණන් වහන්සේගෙන් යශෝධරාවන්ට අසාධාරණයක් වුණා කියල. ඒ නොදැනුවත්කම මත කරන කතා බව අපිට දකින්ට ලැබෙනව. ඇත්තටම යශෝධරාවට සංසාරික වශයෙන් ලබාදෙන්න ඕනෑකරන විමුක්ති සුවය බුදුරජාණන් වහන්සේ විසින් ලබාදීම ලෝකයේ තිබෙන ඉතාමත්ම සොඳුරුම ආදර කතාව තමයි ඒක. සිද්ධාර්ථ කුමාරයාගේ සහ යශෝධරා දේවියගේ කතාව. ඉතින් මෙන්න මේ ඉතාමත් ප්‍රබල චරිතයක් සුනිල් ආරියරත්න මහතා සිනමාවට නගන්න උත්සාහ කරල තියෙනව. එතුමාගේ සිනමා කෘතිය අපට අද දවසේදී කියවගන්න ලැබුණා. උත්සාහය සෑහෙන දුරට සාර්ථක උත්සාහයක් ඇත්තටම සංවේදි විදියට , අපේ ඇසට පවා කඳුලක් උනන විදියට යශෝධරාව නිරූපණය කරන්න සුනිල් ආරියරත්න මහත්මය උත්සාහ කරල තියෙනවා කියල මට දැනෙනවා.

මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමි

සාමාන්‍යයෙන් ඓතිහාසික චිත්‍රපටයක් කරනව කියන එක අමාරු දෙයක්. ආගමික සාහිත්‍යය පදනම් කරගත් ඓතිහාසික චිත්‍රපටයක් කරනව කියන එක ඊටත් වඩා අමාරු දෙයක්. අපේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මය මේ කළ නිර්මාණය කවරදාකවත් අමතක කරන්න බැරි, ආගමික චිත්‍රපට ඉතිහාසයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස දකින්ට මා කැමැතියි. මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මය අපූර්ව වැඩ කරන අපූර්වතම මනුස්සයෙක්. එතුමා මේ අවස්ථාවේ දී කළ මේ ආගමික නිර්මාණය අතිශයින් ම පහන් සවේගය දනවන ප්‍රබුද්ධ මනස ස්පර්ශ කරන විශිෂ්ට නිර්මාණයක් ලෙස හඳුන්වා දෙන්ට මා කැමැතියි.”

මහාචාර්ය මුවඇටගම ඤාණානන්ද හිමි

මම යශෝධරා චිත්‍රපටය දකින්නේ ඇත්ත වශයෙන්ම බුද්ධ චරිතයට ඌණ පූරණයක් සිදු කළ චිත්‍රපටයක් ලෙස. බුද්ධ චරිතයේ අපි සිද්ධාර්ථ කුමාරයාගේ පේ‍්‍රමය ආදරය සෙනෙහස වාගෙ මානුෂීය ගුණාංග ඉස්මතු කරන තැන් දැක්කෙ හරි විරල වශයෙන්. මේ යශෝධරා චිත්‍රපටය තුළ සිදුහත් කුමාරයා තුළ පැවැති ඒ මානුෂීය ගුණාංග ඉතාමත් මැනවින් විදහා දක්වන්නට තිර රචක වශයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සමත් වී තියෙනව.

ස්වාමි භාර්යා සම්බන්ධතාවයේ පවිත්‍රතාවය, උතුම් බව මේ චිත්‍රපටයේ මතු කරලා තියෙනවා. ඒ නිසා මං හිතන්නෙ මේ මානව සමාජයේ මනුෂ්‍යයන්ට ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට තමන්ගේ ජීවිතයේ උත්තරීතර තත්වය කොයි ආකාරයටද ආරක්ෂා කරගෙන මානව සමාජයේ ජීවත්විය යුත්තේ කියන එක එක පැත්තකින් පෙන්වා දෙනවා.අනෙක් පැත්තෙන් භාර්යාවක් විදිහට යශෝධරා දේවියගේ කැපවීම මේ තිර රචනය තුළ එතුමා ඉතාමත් මැනවින් පෙන්නල දීල තියෙනවා. ඊළඟට මා කැමතියි මේ යශෝධරා චිත්‍රපටයේ වඩාත්ම වටිනාම පැත්ත ගැන කතා කරන්න.

ඇත්ත වශයෙන්ම බිම්බා දේවිය එහෙම නැත්නම් යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ පරිනිර්වාණය සඳහා අවසර ලබාගන්නට යන නිමේෂය කියන වස්තු බීජය පදනම් කරගෙන අනන්ත සංසාරයේ බෝධිසත්වයන් වහන්සේ සහ බිම්බා දේවිය තුළ ඇතිවෙච්ච මේ දීර්ඝ කතන්දරය, ඒ වගේම සිද්ධාර්ථ ගෞතම චරිත කතාව තුළ එතුමියගේ කාර්යභාරය ඉතාමත් මැනවින් විදහා දක්වන්නට තිර රචකයා සමත් වෙලා තියෙනවා. ඒ නිසා අතිශයින් සම්භාවනීය චිත්‍රපටයක් ලෙස යශෝධරා චිත්‍රපටය අපට හඳුන්වන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි බෞද්ධ ජනතාවට පමණක් නෙමෙයි මානව සමාජයේ මානුෂීය ගුණාංග පිළිබදව කතා කරන ඕනෑම කෙනෙකුට විවිධ පැති කතා කරන්න පුළුවන් ඉතාමත් උසස් ගණයේ චිත්‍රපටයක් ලෙස යශෝධරා චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.

මහාචාර්ය අසංග තිලකරත්න

“දීපංකර පාදමූලයෙහි පටන් මතු බුදු බව පතා පෙරුම් පිරූ අප මහබෝසතාණන් වහන්සේගේ දිගු සසර ගමනෙහි සහකාරිය ව සිට පශ්චිම ආත්මභාවයෙහි රාහුල මාතාව වූ යශෝධරාවගේ චරිතය මනස්කාන්ත දෘශ්‍ය කාව්‍යයක් ලෙස ‘බිම්බා’ දේවි හෙවත් යශෝධරා’ වෙතින් අප වෙත ඉදිරිපත් වේ. දයාව,ස්නේහය, ආත්ම පරිත්‍යාගය, ආත්මශක්තිය හා ධෛර්යය ද පිළිබඳ යශෝධරාවගේ කතාන්දරය සාම්ප්‍රදායික බෞද්ධ ලෝකයාගේ මනෝභාවයන් හා නො ගැටෙන ආකාරයෙන්, එහෙත් යථාර්ථවාදිත්වයේ හා බුද්ධියේ සීමා නො ඉක්මවමින් ඉදිරිපත් කිරීමට ප්‍රවීණ සිනමාකරුවකු හා විද්වතකුද වන මහාචාර්ය සුනිල් ආරියරත්න සමත්ව ඇති අයුරු ප්‍රශංසනීයය.

පරමාදර්ශි පුරුෂයෙකු කෙරෙහි කාන්තාවක තුළ ඇතිවන දයාව. ස්නේහය හා ආත්ම පරිත්‍යාගය පිළිබද හැඟීමත්,ඇයගේ ආත්ම ශක්තිය හා ධෛර්යයත්, එසේම ශ්‍රේෂ්ඨ කාන්තාවක කෙරෙහි උත්තම පුරුෂයෙකු තුළ ඇති වන ගෞරවාන්විත ස්නේහයත් පිළිබඳ මහාකාව්‍යයක් වන මෙම සිනමා කෘතිය, මූලික වශයෙන්ම අනන්ත සත්වයාගේ සංසාරික දුක අවසන් කිරීමේ උදාර ක්‍රියා මාර්ගයෙහි කාන්තා සාධකය පිළිබඳ ප්‍රබල ප්‍රකාශයක් වේ.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]