Print this Article


අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

සන්නිපාත ශාලාව

වර්තමානයේ රැස්වීම් ශාලාවක ස්වරූප ගත්, පුරාණ ලංකාවේ භික්ෂූන් වහන්සේ ජීවත් වූ ආරාමයන් හි කටයුතු සංවිධානය හා භික්ෂු ජීවිතයට අදාළ පොදු කරුණු සාකච්ඡා කිරීම උදෙසාත්, ධර්ම දේශනා වැනි කටයුතුවලට සංඝයා වහන්සේ එක් වූ ස්ථානය සන්නිපාත ශාලාව නම් විය.

ඒ ආකාරයෙන් රැස්වන විට මුලසුන හොබවන්නේ ආරාමයෙහි අධිපති හිමියන් ය. මිහින්තලාවේ සෑගිරි විහාරයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ එකල හැඳින්වූයේ ‘නකා බලන හිමි’ ලෙසිනුයි. එනම් නිකාය පාලනය කරන තෙරුන් වහන්සේ හෙවත් ආරාමාධිපති වහන්සේයි.

සෑගිරි විහාරයේ හෙවත්, මිහින්තලා විහාරයේ මැද එනම් සන්නිපාත ශාලාව පිහිටියේ කාහටත් පහසුවෙන් ළඟාවිය හැකි භූමිභාගයක විය යුතුය. ඒ අවට ඇති ලෙන් කුටි හා ප්‍රාසාද ගණයේ ගොඩනැගිලිවලින් මේ බව වඩාත් පැහැදිලි වේ. කාමර වශයෙන් කිසිවක් දක්නට නොමැති, එක පැත්තක් අඩි 63ක් පමණ වන සමචතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකි. එම විවෘත ගොඩනැගිල්ලේ වහල දරා සිටියේ එහි ඇති ගල් කණුවලිනි. ගල්කණු 64ක් පමණ එම ගොඩනැගිල්ලේ තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ආරාමාධිපතින් වහන්සේගේ ආසනය ශාලාව මැද පිහිටා ඇති සන්නිපාත ගොඩනැගිල්ලේ දිශා සතරට දොරටු සතරකි.

සේල චෛත්‍ය සහ වටදාගේ

අම්බස්තල දාගැබ යනුවෙන් ජන ව්‍යවහාරයේ පවතින ගල් කණු වළලු දෙකකින් වට වූ වටදාගෙය උඩ මලුවේ දී නෙතට ගැටෙන මුල්ම ස්මාරකයයි.මිහින්තලා ගිරි මුදුනේ ඇති දාගැබ් තුනක් පිළිබඳව ඓතිහාසික ලේඛනවල කියැවේ. එනම්, පළමු වැන්න බුදුන් වහන්සේ ලංකාවට වැඩිය තුන්වන ගමනේ දී මොහොතක් ධ්‍යානයට සම වැදි ස්ථානයේ ඉදිකරන ලද සේල චෛත්‍ය දාගැබ යැයි මධ්‍යකාලීන අවධියේ පැවැති ජන විශ්වාසයයි. මහාදාඨික මහා නාග රජු විසින් පළමු සියවසේ දී කරන ලද දෙවැනි දාගැබ අම්බස්තල මහා සෑයයි. තෙවැන්න මිහිඳු මා හිමියන් වහන්සේගේ ධාතුන් වහන්සේ නිදන් කොට භෂ්මාවශේෂ නිදන් කොට උත්තිය රජු විසින් ඉදි කළ ස්තූපයයි. මෙම ඉදිකිරීම් පිළිබඳව මෙන් ම කාල වකවානු පිළිබඳව පූජාවලියෙහි, මහාවංශය ආදියෙහි විවිධ අදහස් සඳහන් ව ඇත.