Print this Article


දියණිවරුන්ගේ සැබෑ කතාව

දියණිවරුන්ගේ සැබෑ කතාව

සද්පුරුෂ ලෝකයෙහි සෑම ගුණබර අම්මා කෙනෙකුගේ ම පිය කෙනෙකුගේ ම සිත්වල සකස්වන දරු සෙනෙහස බොහෝම ය. එම දාරක ප්‍රේමය මතුවන තැන තමන්ට ලැබෙන්න සිටින්නේ හෝ ලැබුණේ දියණියක් ද පුතණුවෙක් ද යන අදහසට වඩා මට දරුවෙක් බිහිවුණා යන අදහස පෘතග්ජන ලෝකයේ සද්පුරුෂ මවුපියන්ගේ සිත්වලට සොම්නසක් ගෙන එන බව ඉතා ම පැහැදිලියි.

එසේ වුව ද යම් අයෙක් දියණියකගේ ලැබීම සිත සතුටු නොවීමට කාරණයක් කරගත්තේ නම් එය ගුණවන්ත අම්මා කෙනෙකුගේ, සද්පුරුෂ පිය කෙනෙකුගේ හදවතේ ඇතිවන දාරක සෙනෙහසට බාධාවක් විය හැකි ය.

බුදු උතුමෙක් මේ ලෝකයට පහළ වූයේ අම්මා කෙනෙක් නිසා ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසා ම ය. රටක් රාජ්‍යයක් පාලනය කරන විශාල ජන පිරිසකට නායකත්වයක් දෙන ධර්මානුකූල රජ කෙනෙකුට පවා මඟ පෙන්වන්නේ අම්මා කෙනෙක් ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසයි. මේ ලෝකයේ ආරම්භයේ පටන් ම අම්මාවරුන්ගේ කාර්යභාරය බුදු, පසේ බුදු මහ රහත් උතුමෝ, සක්විති හා මහරහත් සද්පුරුෂ උතුමෝ ලෝකයට දායාද කරමින් ලොව සද්පුරුෂ කළ ආකාරය මවුවරුන්ගේ කතාවෙන් තේරුම් ගත හැකියි.

මවුවරුන්ගේ කතාවේ පිටුපස සිටින්නේ දියණිවරුන්මයි. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයෙහි ධීතු සූත්‍ර දේශනාවෙන් දියණිවරුන්ගේ සැබෑ කතාව අපි මතු කොට දකිමු.දිනක් පසේ නදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැද නමස්කාර කොට එකත් පසව හිඳගත්තේ ය. මෙසේ ටික වෙලාවක් භාග්‍යවතුන් වහන්සේ සමඟ දැහැමි කතාවක යෙදී සිටින අතර, එක්තරා පුරුෂයෙක් පසේ නදී කොසොල් රජු වෙත එළඹුණේ ය. එසේ එළැඹ පසේ නදී කොසොල් රජතුමාට දේවයන් වහන්ස, මල්ලිකා දේවිය දුවක වැදුවා යැයි කනට කර සැල කළහ. එසේ කී මොහොතේ පසේ නදී කොසොල් රජතුමා නොසතුටු සිත් ඇත්තෙක් බවට පත්වුණි. මුහුණේ මෙතෙක් තිබූ ප්‍රසාද පෙනුම බැහැර විය. ශෝකාකූල පෙනුමෙන් යුතු වූවේ ය.

මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ පසේ නදී කොසොල් රජතුමාගේ නොසතුටු සිත් දැන මේ ගාථා රත්නය දේශනා කළ සේක.

“ඉත්ථි පිහි ඒකච්ඡියා
සෙයයා පෝස ජනාධිප
මෙධාවිනී සීලවතී
සස්සුදේවා පතිබ්බතා
තස්සා යො ජායතී පෝසෝ
සුරො හෝති දිසම්පති
තාදිසා සුභගියා පුත්තො
රජ්ජම්පි අනුසාසතී ති

රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ශ්‍රේෂ්ටයි. එහෙයින් ඒ දියණිය පෝෂණය කරන්න. නුවණ ඇති, සිල්වත්, තම මවුපියන්ට පමණක් නෙමෙයි, නැන්ද මාමා පවා දෙවියන් කොට සලකා වෙසෙන, ස්වාමියාට ගෞරවයෙන්, පතිව්‍රතාව රකින යම් ස්ත්‍රියක් වේ ද? ඒ ස්ත්‍රී ඉතා ම උතුම් ය. දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, හෙතෙම දක්ෂයෙක් වේ. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනය ද කෙරේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දියණියක් ලැබීම නිසා අසතුටට පත් වූ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් කරුණු පෙළ අප විසින් ද ධර්ම විවරණයකට සකසා ගත යුතුම ය.

බුදුරජාණන් වහන්සේ දවස කාන්තාවන්ට පැවතුණේ ඉතාම අඩු සැලකීමකි. බ්‍රාහ්මණ සමාජයතුළ කාන්තාවන් සලකනු ලැබූයේ දරුවන් ලබාදෙන්නටත්, මුළුතැන්ගෙයි වැඩකටයුතු කිරීමටත් යොදා ගන්නා වූ යන්ත්‍රයක් හැටියටය. ඔවුන් සඳහන් කළේ, තවුසන් විසින් හෝ ඉසිවරු විසින් ලැබිය හැකි යම් නුවණක් වේ ද? ඇඟිලි දෙකේ නුවණක් ඇති කාන්තාවන්ට එය ලැබිය නොහැකි බවයි.

“යං තං ඉසීහි පත්තබ්බං
ඨානං දුරභි සම්භවං
නතං ද්වංගුල පඤ්ඤාය
න සක්කා පප්පෝති ඉත්ථියා"
යනුවෙනි.

මෙවැනි අදහස් පෙළකින් බුදුරජාණන් වහන්සේ පහළ වූ ඉන්දියානු සමාජය සකස් වූ අතර බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් පෙළ දියණියකගේ, බිරිඳකගේ, අම්මා කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය, පුරුෂ නායකත්වයක් ඇති සමාජයට මැනවින් පෙන්වා දුන්හ.

බුදු දහම තුළ කාන්තාවන්ට ලබා දෙන්නේ විශේෂ ස්ථානයකි. මුල් අවස්ථාවේ දී භික්ෂුණී ශාසනය පිහිටුවන්නට සූදානම්වන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් එය තුන්වෙනි අවස්ථාව දක්වාම ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ශාසනික වශයෙන් අනාගතය දෙස බැලීමෙනුයි. ඒ වගේ ම අනිටු විපාක දැක ගැනීම නිසා ය.

එනම් හුදකලා ජීවිත පවත්වන, නිදහස් ජීවිතවලට අවසර ඇති. මේ ශාසනයෙහි විවිධ පුද්ගලයන් ශාසනයට ඇතුඵවීමෙන් මේ ශාසනය කිළිටිවීමට ඇති අවස්ථා බොහෝයි. ඒ අතරට පාලනයකින්, සංයමයකින් තොරව කාන්තා පිරිස් ද ඇතුළුවීමෙන් නිදහස් ජීවිත හුදකලාව ගත කරන පිරිසකට වැරැදි ලෙස ද පාවිච්චි කළ හැකියි. යොදාගත හැකියි. මේ කරුණෙහි සලකා භික්ෂුණී ශාසනය ආරම්භයේ දී භාග්‍යවතුන් වහන්සේ මුල් කාලයේ දීම අකැමැති වන්නට ඇතැයි, සිතිය හැකියි.

එහෙත් සංයමය, දමනය පිණිස විනය ශික්ෂණයකින් යුක්තව භික්ෂුණී ශාසනය ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වගේ ම භික්ෂූණීන්ටත් එකහා සමානව ම ගෞරවය, ආරක්ෂාව, තනතුරු ලබා දුන් බව ඉතාම පැහැදිලි ය.සැරියුත්, මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කළ සේ ම ඛේමා, උප්පලවන්නා තෙරණියන් අග්‍රශ්‍රාවිකා තනතුරුවලට පත් කළ සේක. භික්ෂූන් වහන්සේලාට සුදුසු පරිදි අග තනතුරු ලබාදුන්නා සේ ම භික්ෂුණීන් වහන්සේලාටත් සුදුසු පරිදි අග තනතුරු ලබා දුන් සේක.

තථාගත බුදුරජාණන් වහන්සේ වෙතට පිරිණිවන් පෑම පිණිස අවසර ඉල්ලා පැමිණි මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේට දැක් වූ ගෞරවය භාග්‍යවතුන් වහන්සේ කාන්තා සමාජය කෙරෙහි දක්වන ලද සැලකිල්ල සිතා ගත හැකියි. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන බුදුරජාණන් වහන්සේ අභියස ගෞරව කොට සැවැත් නුවර ජේතවනාරාමයෙන් බැහැරට වඩිනා මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණින් වහන්සේ නම් වූ තම සුළුමෑණියන් පිටු පස, වචනයෙන් හැඳින්වූ ලෙස බුද්ධ මාතාවන් පිටුපස භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක් පිටුපස වැඩම කළානම්, ඒ බුද්ධ මාතාවන් වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ පිටුපස ය. ඉන් අදහස් කළේ එතුමියට බැහැරට වඩින්නට හැර උන්වහන්සේ ද ජේතවනාරාමයෙන් පිටවන ගේට්ටුව දක්වා ම වැඩම කොට එතුමිය වෙත කළ ගෞරවයයි.

මේ අදහස් පෙළ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොසොල් රජතුමාට දියණියකගේ උතුම් බව පෙන්වා දුන් අවස්ථාව වර්තමාන පරිසරයට ද, පවුල් ජීවිතවලට ද ගළපා බලමු.

“ඉත්ථි පිහි ඒකච්ඡියා....... ගාථා රත්නයෙහි අදහස සිහිපත් කරන්නේ නම්, රජතුමනි, යම් දියණියක් නුවණැති නම්, සිල්වත් නම්, තම මවුපියන්ට සේ ම නැන්ද මාමාට දෙවිකොට සලකන්නේ නම්, ස්වාමියාට ගුණබර ස්වාමි දියණියක් ව පතිව්‍රතා දහම රැකගෙන කටයුතු කරන්නේ නම්, ඒ ස්ත්‍රිය ශ්‍රේෂ්ඨයි යනුවෙනුයි. ඒ වගේ ම ස්ත්‍රිය බිහිකරන දරුවෙක් දක්ෂ ලෙස හදන්න, වඩන්න එබඳු දියණියක්, අම්මා කෙනෙක් සුදුසුවන්නේ ම ය යන අදහසයි.

බුදු දහම තුළ සමාධිය වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ දී එනම් නිවන් අවබෝධයේ දී ස්ත්‍රී පුරුෂ භේදයක් නොදැක්වෙයි.

“ඉත්ථිභාවො කිං කයිරා
චිත්තම්හි සුසමාහි තො”

සිත සමාධිගත වෙන්නේ නම් ස්ත්‍රී භාවය කිසිදු ආකාරයකින් පීඩාවක් නොවන බව ධර්ම කතාවේ පෙන්වා දෙයි. සිත සමාධි ගත කිරීම හෝ නොකිරීම සකස් වෙන්නේ ස්ත්‍රියක් වීම හෝ පුරුෂයෙක්වීම අනුව නොවේ. පාරමී ධර්ම සම්පූර්ණවීමෙන්, ඒ වගේ ම සම්මා දිට්ඨියෙන් පටන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනා කොට ලෝකෝත්තර දහමට නතුකොට අනුගමනය කිරීමෙන් ය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ පුරුෂ පක්ෂය මෙන් ම ස්ත්‍රී පක්ෂයත් මේ චිත්ත සමාධිය දියුණු කොට පරමාර්ථ ධර්ම වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන ලැබූ බව නිවනෙන් සැනසුණු බව දහම් කතාවෙ ඉතාම පැහැදිලි ය.