Print this Article


අත්තරක්ඛිත සූත්‍රය: අභාවිත සිතක ස්වභාවය

අත්තරක්ඛිත සූත්‍රය:

අභාවිත සිතක ස්වභාවය

" මිල මුදල් බොහෝ හරිහම්බ කරගෙන මම රැකුණා යැයි පවසා එහෙත් මනසින් තනිකමෙන් පාළුවෙන් අනාරක්ෂිතව මහා ධනයක් මැද මහා මන්දිරයක දුකෙන් පෙළෙන ඇතැම් පිරිසක් ඔබ දැක ඇත්තේ ද?  බොහෝ ධනයක් තිබුණත් ඔවුනොවුන්ගේ මුහුණ දෙස සතුටින් බලන්න නොහැකිව සම්මතයේ ස්වාමියා, බිරිඳ, මවුපියන් දරුවෝ අමනාපයෙන් කඳුළෙන් යුතුව මම තනිවෙලා. මගේ සිතේ කියා ගන්න බැරි තරම් මහා දුකක් ඇත්තේ යැයි පවසමින්, ජීවත්වන පිරිසක් ඔබ දැක ඇත්තේ ද?"

පරමාර්ථ ධර්මය ගැන අවබෝධය නැති නම්, භාවිත සිතක් නැති නම්, ඔවුන් සිතන්නේ මේ කය හෙවත් පුංජය ‘මමය’ ‘මාගේ’ය නිත්‍යයයි, සුඛයි, සදාකාලිකයි යනුවෙනි. ඇසෙන් රූපයක් දුටුවිට, එයට ප්‍රියභාවයක් කැමැත්තක් ඇතිවන්නේ නම්, සීලය හෙවත් කායික, වාචසික සංවරය අමතක කොට සියල්ල අනිත්‍ය දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණයට යටත්ව පවතින බව අමතක කොට ඒ ප්‍රිය රූපයෙහි බැඳෙනවා.

ධර්මානුකූලව සීලයේ පිහිටා ප්‍රිය රූපය පරිහරණය කළ හැකියි. එහෙත් ප්‍රිය රූපයට කැමැති බව පවසා අධර්මයෙන් නමුත් එය ලබන්නට යොමුවීම සිදුවන්නේ අභාවිත සිතක් ඇති නිසා ය. තමාට තමා කෙරෙහි සිහිය පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ, එනම් මවු කෙනෙකි. පිය කෙනෙකි. විවාහක පුද්ගලයෙකි. සද්පුරුෂ මනුෂ්‍යයෙකි. එවැනි කෙනෙකුට, ප්‍රිය වස්තුවක් වූවත්, ප්‍රිය ශබ්දයක්, ප්‍රිය ගන්ධයක්, ප්‍රිය රසයක්, ප්‍රිය ස්පර්ශයක්, ප්‍රිය සිතිවිල්ලක් පවත්වා ගත හැකි වන්නේ සීලයට අනුරූපවයි. කුසලාරම්මණ සකස් වන ආකාරයෙනුයි. රාගයට, ද්වේෂයට හෙවත් කෙලෙස් උපදවාගැනීමට අවස්ථාවක් සලසා දීමෙන් නොවේ. එයට හේතුව ඇස, කන, ආදී ඉන්ද්‍රියයන් මෙන් ම ප්‍රියභාවයට එකතු වූ රූප, ශබ්ද ආදී ආරම්මණයන් හටගත්තා වගේ ම නැතිව යන්නේ ය. ධර්මානුකූල වචනය නම් “උදයත්ථ ගාමිණී පඤ්ඤාය” යන අදහසයි. එනම් හටගත්ත සියල්ල නැතිවෙනවා යන අවබෝධයෙන් දැක ගැනීමේ නුවණයි.

මෙසේ අවබෝධ කර ගැනීම නිසා ප්‍රිය වස්තුව වූවත් සීලයේ පිහිටා පරිහරණය කරනවා. එහි දී රාග, ද්වේෂ ආදී කෙලෙස්වලට බැස ගැනීමට ඇති අවස්ථාව බැහැරවී යනවා. නිදසුනක් ලෙස ගෘහස්ථ ජීවිතයක ස්වාමියා, බිරිඳ, මවුපියන්, දරුවෝ වශයෙන් සම්මුතිය තුළ ‘මම’ ‘මගේ’ යැයි පවසමින් ඔවුන්ගේ ජීවිත පවත්වනවා. නමුත් මේ කිසිවක් කෙරෙහි ‘මම ය’ ‘මාගේ ය’ යන දෘෂ්ඨිය උපාදානය හෙවත් සිතින් තදින් ගැනීමකට ඔවුන් සකසා ගන්නේ නැහැ. තමාගේ ජීවිතය රැක ගන්නවා. නීරෝගීව පවත්වනවා. එහෙත් තදින් ඇලීමක් නොවන නිසා මම කැමැති දේ, කුසල වූවත් අකුසල වූවත් ලබා ගත යුතුයි; යන මානසික ස්වභාවයකට පත්වන්නේ නැහැ. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණයට යටත් නිසා නිවැරැදි ලෙස ප්‍රිය වූ රූප ශබ්ද ආදී ආරම්මණ පරිහරණය කරනවා. අප්‍රිය නම් අප්‍රිය බව දකිනවා. එහෙත් ඒවා සමග ගැටීමක් හෝ ව්‍යාපාදයක්, තරහවක් ඇති කර ගන්නේ නැහැ. හටගත් හැම දෙයක් ම නැතිවෙනවා; යන යථා ස්වභාවය සිතට පුරුදු කොට තිබෙනවා. එය තමාගේ රැකවරණයට හේතුවක් වෙනවා.

මෙන්න මේ ආකාරයෙන් සිතන විට කිසිවිටකවත් තමා මුල් කොටගෙන ප්‍රාණඝාතයක් සිදු කිරීමට අවස්ථාවක් නැහැ. සොරකමක් කිරීමට අවස්ථාවක් නැහැ. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් වරදවා පිහිටුවීමේ අවස්ථාව නැතිව යනවා. වචනය පරිස්සම් වෙනවා. දැඩි ලෝභයෙන් බැහැර වී, තරහව ඉවත්ව, මිථ්‍යාදෘෂ්ඨියෙන් බැහැරව සිත පවත්වා ගන්නට තරම් හැකියාවක් ඇතිවෙනවා. මෙය තමා තුළ ම ඇතිවන රැකවරණය නොවේ දැයි නුවණින් සිහිපත් කරන්න. තමාගේ සිත තුළට ලැබෙන රැකවරණය මෙසේයි.

මම පව්කාරයෙක් නොවෙමි.

භාග්‍යවතුන් වහන්සේගේ දහමට යොමු වූ, අවබෝධයෙන් තුණුරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් වෙමි. මහා ධනයක් වැරැදි ලෙස උපයා, බාහිර වස්තූන් රැකගත්තා යැයි සිතින් හිතනවාට වඩා, ධර්මානුකූල ජීවිතයක මා නිවැරැදි යැයි සිතා සිතින් ලබන නිරාමිස ප්‍රීතිය, දහමින් ලබන ප්‍රීතිය අප්‍රමාණ බව ඔබට වැටහෙනවා ඇති. එයම ඔබට ඇති රැකවරණය නොවේ ද?

ප්‍රාණඝාත ආදී කයින් සිදුවන අකුසල් සිදු කිරීම නිසා ඇතිවන සිතෙහි අනාරක්ෂිත බව මොනතරම් ද? තමාට තමා දොස් කියනවා සේ ම අන්‍යයන් විසින් ඇති කරන්නා වූ දෝෂාරෝපණයන්ට ලක් වීමෙන් තමා අනාරක්ෂිත වෙනවා. ඒ පාපී පුද්ගලයෙකි. ඇසුරු නොකළ යුතු වන්නේ ය. පස් පව් සිදුකරන පුද්ගලයෙක් ය. ඇසුරට නොගත යුතු වන්නේ ය. උදව්වකට පවා නුසුදුස්සෙක් ය. ප්‍රශංසා නොකළ යුත්තෙක් ය. මේ අදහස ම මනසට මොනතරම් පීඩාවක් වන්නේ දැයි ඔබ ම සිතන්න. එයින් ම තමාගේ සිත අසරණව හුදකලා වන්නේ ය. මට කාත් කවුරුවත් නැත. මට මහා බියක් දැනෙන්නේ ය. මේ ලෙසින් තමාගේ සිත තුළ තමා අසරණ වන්නේය.

එපමණක් නොවේ. ජීවිතයේ යථා ස්වභාවය අනුව මේ ධාතුස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ ශරීර පුංජය ලෙඩ දුක්වලට උරුම වන්නේ ය. තමා තමාට පාලනයක් නැතිව යන විට, තමාගේ කය ළඟ අසරණ වන විට එනම් දෑත දෙපය පවා වාරු නැතිවී යන විට දුසිරිත් කරන ලද පුද්ගලයෙක් නම් සද්පුරුෂ මනුෂ්‍යයන්ගේ පැමිණීම නොමවන්නේ ය. එනම් සද්පුරුෂ මනුෂ්‍යයෝ ඔහු අත්හැර යන්නාහ. හුදකලාවන, තනිවෙන ඒ පුද්ගලයා ලෙඩදුක් ඉදිරියේ ද අසරණ වන, කයින් පමණක් නොව මනසින් ද අසරණව, අප්‍රමාණ දුක්විඳ හුදකලා වූ ස්ථානයක මිය යන්නේ ය. මෙලොවත් අසරණව, අනාරක්ෂිතව පරලොව ද අනාරක්ෂිත වන්නේ, ඔසවා ගොස් බිම තබන්නා සේ සතර අපායේ ඉපදීම නිසා ය.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් යම් කෙනෙකුට තමා ආරක්ෂා වීමට, සුචරිතවත් මාර්ගයට යොමුවීමට හැකි වන්නේ නම් මොනතරම් ආරක්ෂිත බවක් තමාගේ සිතට දැනෙන්නේ දැයි ඔබ ම නුවණින් කල්පනාකොට බලන්න.

බුදුරජාණන් වහන්සේගේ දහම මෙනෙහි කරන විට, ඒ දහම ඇසෙන විට, ඒ දහමට අනුව මම නිවැරැදි පුද්ගලයෙක් වෙමි. සත්පුරුෂ පුද්ගලයෙක් වෙමි. මම මා ගැන දොස් නොකියා ගත්තෙමි. මට මා ගැන බියක් නැත. සසරෙහි පවා මා අසරණ නොවන්නේ ය. මා සතර අපායෙන් ගැලවෙන්නේ ය. සුගතිය ම අරමුණු වන්නේ ය. මට නිවන් මාර්ගය සකසා ගත හැකි වන්නේ යැයි දැනෙන්නට පටන් ගන්නේ ය.

හේතුප්‍රත්‍යයන්ගෙන් හට ගත්ත මේ කය මුල්කරගෙන එනම් මම මුල්කරගෙන කුමක් නිසා අන් අයට ගහන්නේ ද? බනින්නේ ද? දොස් කියන්නේ ද? නසන්නේ ද? යනුවෙන් සිතන්නට පටන් ගන්නේ ය. එය ඵල නොවන්නේ ය. නිසරු වන්නේ ය. ඒ නිසා මා මගේ ජීවිතයට ලෙන්ගතු වගේ ම සියලු සත්වයෝ ම තමන්ගේ ජීවිතවලට ප්‍රියබව දැන සියලු සත්ත්වයෝ ම සුවපත් වෙත්වා යන මෛත්‍රී සිත සිතිවිල්ලක් බවට පත් නොකොටගෙන, මෛත්‍රී සමාධියක් ම බවට ම පත් කරගෙන අවබෝධයෙන් ම මම කටයුතු කරමි.

තමාගේ සිතට ලොකු සුවපත් භාවයක්, ආරක්ෂාවක් දැනෙන්නේ ය. මෙත්තානිසංස සූත්‍ර දේශනාවේ සඳහන් ආනිසංස එකොළහට ම හිමි කාරයෙක් බවට පත්වන්නේ ය. එහි සඳහන් කළ අයුරින් මනුෂ්‍යයන්ට දෙවියන්ට පමණක් නොව අමනුෂ්‍යයන්ට පවා ප්‍රියජනක පුද්ගලයෙක් වන්නේ ය. ඒ ලෙස ම වස, විස, අවි, ආයුධවලින් පවා අනතුරක් නොමවන්නේ ය. මෙවැනි ආනිසංසයක් ම ඔබේ ජීවිතවලටත් පවතින්නේ නම් දුර්ලබව ලැබූ මනුෂ්‍ය ජීවිතය ඔබට මනා වූ රැකවරණයක් තිබෙන බව නොදැනේ ද? මිල මුදල් බොහෝ හරිහම්බ කරගෙන මම රැකුණා යැයි පවසා එහෙත් මනසින් තනිකමෙන් පාළුවෙන් අනාරක්ෂිතව මහා ධනයක් මැද මහා මන්දිරයක දුකෙන් පෙළෙන බොහෝ පිරිසක් ඔබ දැක ඇත්තේ ද?

බොහෝ ධනයක් තිබුණත් ඔවුනොවුන්ගේ මුහුණ දෙස සතුටින් බලන්න නොහැකිව සම්මතයේ ස්වාමියා, බිරිඳ, මවුපියන් දරුවෝ අමනාපයෙන් කඳුළෙන් යුතුව මම තනිවෙලා. මගේ සිතේ කියා ගන්න බැරි තරම් මහා දුකක් ඇත්තේ යැයි පවසමින්, ජීවත්වන පිරිසක් ඔබ දැක ඇත්තේ ද?

මේ දහම් කතාව ඔබේ ම අත්දැකීමක් බවට පත්වී ඇත්තේ දැයි නුවණින් කල්පනාකොට බලන්න. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව ඉහත සඳහන් කළ බාහිර වස්තූන් උපයා ගැනීම හා රැක ගැනීම ප්‍රතික්ෂේප කොට නැත. ධර්මානුකූලව ලද දෙයින් සතුටු වෙමින් උත්සාහයෙන් යුක්තව, උපයාගත යුතු බවත්, පරිහරණය කළ යුතු බවත් ‘පත්තකම්ම’ ආදී සූත්‍ර දේශනාවල මැනවින් පෙන්වා දී තිබේ.

එසේ ම අධ්‍යාත්මික වශයෙන් ද රැකවරණය ඇතිකර ගැනීමට නම් සිත කය වචනය නම් වූ තුන්දොර රැකගෙන ඒ දස අකුසල්වලට යොමු වන්නට ඉඩ ලබා නොදීම පිණිස පරමාර්ථ ධර්මය පිළිබඳව අවබෝධයක් ඇති කරගත යුතුමයි. එනම් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ යම් වූ ද සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වස්තුවක් වේ ද? ඒ ප්‍රත්‍යයන්ගේ විසිරී යෑම නිසා ඒ වස්තූන් ද නැතිව යන්නේ ය. එබැවින් පස්පව්, දස අකුසලයන්ට යොමු නොවෙමින් සුචරිත මාර්ගය තුළ හැසිරෙමියි, මම මගේ යැයි පවසන මේ ස්කන්ධ පංචකය නම් වූ කය ද, මගේ සන්තකයේ මට ඇවැසි ආකාරයෙන් නොපවත්වන්නේ ය.

මේ නිසා ඒ බව දැන සම්මතයේ පවත්නා වූ මේ කය නම් වූ මම මුල්කොටගෙන පස්පව් හෝ දස අකුසලයකට යොමු නොවෙමි. බාහිර වස්තූන් සිතින් දැඩිව නො ගනිමියි. හටගත්තා වූ සියල්ල නැසෙන බව දැන සුචරිත මාර්ගය ම අනුගමනය කරමින්, බාහිර ලොවම නැති වුණත් මගේ සිත තුළ මා රැකවරණයක් ලබා ඇත්තේ ය; යන අදහස බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ මේ දහම් පෙළින් ලැබිය යුතු වන්නේ ය.

දුර්ලබව ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ඔබටත් රැකවරණයක් තමා කෙරෙන් ම ඇති කර ගන්නට යැයි ආරාධනා කරමින් හැමට ම උතුම් ධර්මාවබෝධය ම ලැබේවායි ප්‍රාර්ථනා කරමි.