Print this Article


සසුන් කෙත පහන් කරන යතිවරයාණෝ හේනේපොල ධම්මවංස හිමි

සසුන් කෙත සරු කරන හේනේපොල ධම්මවංස හිමියන්ගේ පනස්වන ජන්ම දිනය නිමිත්තෙනි.

සසුන් කෙත පහන් කරන යතිවරයාණෝ හේනේපොල ධම්මවංස හිමි

විල්ආරච්චි කංකානමලාගේ පුංචි සිඤ්ඤෝ පියාණන්ටත්, නිශ්ශංක බමුණුආරච්චිලාගේ කරුණාවතී නිශ්ශංක මෑණියන්ටත් දාව 1968 වර්ෂයෙහි මැයි මස 17 වන දින උපත ලද සුනිල් රංජිත් කුල කුමරුවෝ 1982 වර්ෂයෙහි ජනවාරි මස 30 වන දින තෙළෙස්වස් එළඹි කල මානෙල්ගමුවේ රාජපේන්ද්‍ර ස්වාමීින් වහන්සේගේ මඟ පෙන්වීම මත හේනේපොල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී දොඹවෙල දයානන්ද ස්වාමින් වහන්සේගේ හා තිබ්බටුගොඩ මුනින්දඝෝෂ ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්‍යාවට පත්වූහ. උගතමනා බණ දහම් ඇතිව නිසි කල එළඹීමෙන් 1991 වර්ෂයෙහි ජුනි මස 18 දින කළු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී නාපාන පේමසිරි වත්මන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි මහා නායක හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් හා තිබ්බටුගොඩ මුනින්දඝෝෂ හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් අධිශීල ශික්ෂාවෙහි පිහිටියහ.

ජාතික, ආගමික, ශාසනික සේවාවන්හි වගකීම් දරමින් නිබඳව නිරත වන අප ගුරු දේවහිමිපාණෝ ප්‍රවෘජ්‍යාවෙන් තිස්පස් වැනි විය සමරද්දී 2018.05.17 දිනට ජන්මලාභයෙන් පනස්විය සපිරූහ.

සසුන් කෙතට පෑයු සුපුන් සඳක් වන් අප කථානායකයාණන්ගේ දිවි මඟෙහි ප්‍රධානතම හැරවුම් ලක්ෂය වන්නේ 1985 වර්ෂයෙහි ජුනි මස 18 යන දින වේයන්ගොඩ, එළුවාපිටිය, ශ්‍රී ඉසිපතනාරාම විහාරයට වන සම්ප්‍රාප්තිය යි. එදා සිට මේ දක්වාම උන්වහන්සේගේ එකම අභිප්‍රාය වූයේ විහාරස්ථානය තදානුබද්ධ ජාතික, ආගමික, ශාසනික, සේවාවන්හි ප්‍රදේශයට, ශාසනයට, රටට ආලෝකයක් වෙමින් නිරතවීම යි.

උන්වහන්සේ ඉසිපතනයට වැඩමවද්දී එම විහාරය හා බද්ධව සිට ඇත්තේ දායක පවුල් 92 කි. අද එය 300 පමණ දක්වා වර්ධනය වී ඇත. එලෙස වර්ධනයට අවුරුදු 30 කට වැඩි කාලයෙහි වූ ජනාකීර්ණත්වය ප්‍රබල හේතුව නොවෙයි. අවට විහාරස්ථානවල ප්‍රධාන දායකත්වය දරන පිරිස් මෙහි අමතර දායකත්වයක් දැරීම ඊට ප්‍රධාන නිදසුනක් ලෙස දක්විය හැකි ය. උන්වහන්සේ සතු පි‍්‍රයශීලි ඇවතුම් පැවතුම් හා ශාසනික වත්පිළිවෙත්, එවැනි පිරිස් විහාරය හා එක්වීමට ප්‍රබල ව බලපෑ කාරණය යි. එසේම පොහොය දින පෙහෙවස් සමාදන් වන පිරිස 05 සිට 150 පමණ දක්වා වර්ධනය වී ඇත්තේ ද උන්වහන්සේගේ අප්‍රතිහත කැපවීම නිසාවෙනි.

ඝණ්ඨාර කුළුණ හා විහාරස්ථානයෙහි ළිඳ හැරෙන්නට විහාරස්ථානය සතු අනෙකුත් භෞතික ඉදිකිරීම් සියල්ල උන්වහන්සේගේ හා දායක පින්වතුන්ගේ වසර 20 කට නො වැඩි අතීත කැපවීම්වල විපුල ඵලයන් ය. විහාර මන්දිරය, ධර්ම ශාලාව, සංඝාවාසය, රන්වැට සහිත බෝධි ප්‍රාකාරය, රන්වැට සහිත ස්තූපය මන්දිරය හා තොරණ සහිත ප්‍රාකාර බැම්ම යන ඉදිකිරීම් අතරට එක් කළ නවතම ඉදිකිරීම සංඝාවාසය සහ දාන ශාලාව සහිත දෙමහල් ගොඩනැගිල්ල ය. එය විවෘත කිරීම, උන්වහන්ගේ පනස්වන ජන්ම දින ආශිර්වාද පින්කම් මාලාව අවසන, එනම් මැයි මස 20 වනදින සිදු කිරීමට සූදානම්ව පවතී. එයද සහිතව මේ වනවිට අවැසි සකලාංගයන්ගෙන් පරිපූර්ණව අවට ප්‍රදේශයෙහි මනරම් විහාරස්ථානයක් බවට පත්ව තිබේ.

ඉමහත් ආගමික, ශාසනික සේවාවන් රැසක නිරත වන ඒ හිමියෝ 1985 වර්ෂයෙහි ඔක්තෝබර් මස 25 වනදින මාලිගාතැන්න ශී‍්‍ර සිද්ධාර්ථ දහම් පාසල ආරම්භ කිරීමත් 1997 වර්ෂයෙහි පුංචි නයිවල රණතුංග දහම් පාසල ආරම්භ කිරීමත්, 1991 වර්ෂයෙහි අගෝස්තු මස 22 වනදින ශ්‍රී සුචරිත වර්ධන නමින් නැවත එළුවාපිටියෙහි දහම් පාසල ප්‍රතිසංස්කරණය කිරීමත් ඉමහත් සේවාවකි. එසේම දැනට විහාරස්ථානය සමීපයෙහි ප්‍රජා සංවර්ධන ශාලාවෙහි පවත්වාගෙන යනු ලබන ළදරු පාසල ආරම්භ කිරීම සඳහා නියමුවෙකු වශයෙන් අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයා ඇත්තේ උන්වහන්සේ ය.

එසේම ප්‍රදේශවාසී ජනතාව තුළ ආගමික හැඟීම් ජනිත කරමින් වෙසක් සති ධර්ම දේශනා මාලාවක් පැවැත්වීම, වියැකී යන ශාසනික සම්ප්‍රදායන් සංකේතාත්මකව හෝ ඉදිරිපත් කිරීමට උත්සාහ දරමින් වාර්ෂිකව පිණ්ඩපාත චාරිකාවක් වෙසක් පුණ්‍යොත්සවය නිමිත්තෙන් සංවිධානය කිරීම හා විහාරස්ථ බෝධීන් වහන්සේගේ රෝපණය සිහි කරමින් වාර්ෂිකව ඇසළ මස සිදු කරන විශේෂ ඇසළ මල් වැස්ස දර්ශනීය පින්කම, උන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදු වේ.

උන්වහන්සේ සමීපයෙහි කුඩා කල බණ දහම් ඉගෙන ගනිමින් හැදී වැඩුණු පැවිදි සහෝදර තිබ්බටුගොඩ රතනසිරි හිමි, සහෝදර විහාරස්ථානය වන වේයන්ගොඩ මාලිගාතැන්න රාජාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති ධූරය දරමින් කටයුතු කිරීම අප හිමිපාණන්ගේ ජාතික ශාසනික සේවාවෙහි තවත් එක් මහඟු මෙහෙවරක් ලෙස හැඳින්විය හැකිය.

එසේම පල්ලෙවෙල වික්‍රමශිලි විදර්ශනා පිරිවෙන්හි ආචාර්ය අටබාගේ නන්දවංස, කොළඹ විශ්ව විද්‍යාලයෙහි බෞද්ධ අධ්‍යයන අංශයෙහි සහාය කථිකාචාර්ය මාලිගාතැන්න අමරවංස, ගම්පොල බී. බී. ජනපදයෙහි විහාරාධිකාරී මාලිගාතැන්නේ විනයවංස, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි උපාධි අපේක්ෂක අටබාගේ විමලවංස, කැලණිය විශ්ව විද්‍යාලයෙහි උපාධි අපේක්ෂක අටබාගේ අමිතවංස, කඩවත රම්මුතුගල පිරිවෙනෙහි ප්‍රාචීන මධ්‍යම හදාරන ගිරාඳුරුකෝට්ටේ විජිතවංස, වේයන්ගොඩ රතනවංස, වේයන්ගොඩ චන්ද්‍රවංස, නාරංවත්තේ ඉන්ද්‍රවංස, නාරංවත්තේ සුමනවංස යන හිමිවරුන් අප හිමිපාණන්ගේ සජීවි ශාසනික ශිෂ්‍ය ප්‍රජාව වශයෙන් කටයුතු කරති.

උන්වහන්සේ සිදු කරන අපරිමිත ජාතික,ආගමික, ශාසනික සේවාවන් අගය කරනුවස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් නිට්ටඹුව ප්‍රාදේශීක සංඝ සභාවෙහි 2009 වර්ෂයෙහි නියෝජ්‍ය ලේකම්ධූරයත්, 2014 වර්ෂයෙහි සම්පත් භාරකාර ධූරයත් පිරිනමා ඇති අතර, මේ වනවිට 2018 එම සංඝ සභාවෙහි ලේඛකාධිකාරි ධූරය හොබවමින් සිටී. එය උපකාරි කර ගනිමින් ජාතික, ආගමික, ශාසනික, සේවාව තව තවත් පෘථුල කරමින් කටයුතු කරන්නේ එම තනතුරට උන්වහන්සේ ආභරණයක් වෙමිනි.ජාතික, ආගමික, ශාසනික මෙහෙවර තව තවත් පුළුල්ව සිදු කිරීමට උන්වහන්සේට කායික, මානසික, ශක්තිය නිරෝගීභාවය ලැබේවා.