Print this Article


පුණ්‍ය භූමි

පුණ්‍ය භූමි


අනුරාධපුර නෙල්ලිකුලම, සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට චීවරයක් පැළඳ වූ අයුරු.
 

බුදු සසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වූ අනුරාධපුර අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය සද්ධාරංසි නාහිමියන්ගේ ප්‍රථම ශාසනික මෙහෙවර ද, සාම්ප්‍රදායික බෞද්ධ නිර්මාණ කලාවෙන් ඔබ්බට ගිය නිර්මාණයක් ද විය. බුදුසසුනේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුසසුනේ පැවැත්මට පුරෝගාමී මෙහෙවරක් කළ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව් පිරිස්වල ප්‍රතිමා මෙහි නිර්මාණය කොට ඇත.

මෙවර වෙසක් සමයේ ඓතිහාසික අනුරාපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ප්‍රමුඛ අටමස්ථානය, මිහින්තලය හා තන්තිරිමලය වැනි සිද්ධස්ථාන වැඳපුදා ගන්නා සැදැහැවතුන්ට බුදුසිරිතේ අසිරිය විදහාපාන පුණ්‍යභූමි තුනක් දිවා රාත්‍රී දෙකෙහි ම දැකබලා වැඳපුදා ගැනීමට අවස්ථාව උදාකර දී ඇත.


අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරයේ සමාධි ප්‍රතිමා වහන්සේ

එම පුණ්‍ය භූමි තුන නම් අනුරාධපුර ඉදිකොට ඇති බුදුසසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වූ අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය, අනුරාධපුර, තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම පිහිටි, බුදුන් වහන්සේ පන්සියයක් මහරහතුන් සමඟ සදහම් චාරිකාවේ නිරත වන අයුරු මූර්තිමත් කර ඇති ‘නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය’ හා අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ කොක්කිච්චිය පිහිටි සිරිසම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරයයි.

මේ අවස්ථාව උදාකර දී ඇත්තේ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභධීරානන්දාභිධිනා කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමියන් විසිනි.

බුදු සසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වූ අනුරාධපුර අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය සද්ධාරංසි නාහිමියන්ගේ ප්‍රථම ශාසනික මෙහෙවර ද, සාම්ප්‍රදායික බෞද්ධ නිර්මාණ කලාවෙන් ඔබ්බට ගිය නිර්මාණයක් ද විය. බුදුසසුනේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුසසුනේ පැවැත්මට පුරෝගාමී මෙහෙවරක් කළ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව් පිරිස්වල ප්‍රතිමා මෙහි නිර්මාණය කොට ඇත. එමෙන්ම විහාරය වටා අටවිසි මහා බෝධී වෘක්ෂයන්ද රෝපණය කර තිබීම සද්ධාරංසි නාහිමියන්ගේ තවත් ශාසනික මෙහෙවරකි.


අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය


අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි

අනුරාධපුර තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලමෙහි අක්කර 10 ක් පමණ වූ වනගත භූමියක නිර්මාණය කර ඇති ‘සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය’ විශිෂ්ට නිර්මාණයකි. බුදුන් වහන්සේ පන්සියයක් මහරහතුන් සමඟ සදහම් චාරිකාවේ නිරතවන අයුරු මෙහි මූර්තිමත් කර ඇත. එමෙන්ම බුදුන් වහන්සේ සමනොල කන්දේ සිරිපා සටහන් තබා කඳු මුදුනේ සිට බැස එන අයුරුත් මෙහි මූර්තිමත් කර තිබීම තවත් විශේෂත්වයකි. පුද බිම තුළ ලෙන් ඉදිකොට ඇති අතර ඒවායේ විවිධ කතාවස්තු නිර්මාණය කොට තිබේ. මේ මහා පින්කෙත අස්වැද්දූ සද්ධාරංසි නාහිමියෝ ලෝකයට පසක් කළේ මහ කළු ගල්වල, මහා කරුණාගුණය නිරූපණය කළ හෙළකලා පරපුරේ උරුමය අදට අප සතුව පවතින බව ය. සොබාදහමට නතු වූ අව්ව, වැස්ස, පින්න නොබලා නගර ගම් දනව් සැරිසරා උත්තම ධර්ම ප්‍රචාරයෙහි යෙදුන සම්බුදුන් වහන්සේ නිරූපණය කිරීමට ස්වභාවික පාරිසරික වටපිටාවක් තෝරාගැනීම විශිෂ්ටත්වයකි.

තුන්වැනි පුදබිම පිහිටා ඇත්තේ අනුරාධපුර තන්තිරිමලේ මාර්ගයේ කොක්කිච්චිය වනගත භූමියක ය. ශාන්ත පරිසරයකින් යුතු අක්කර දහයක් පමණ වූ සුන්දර වන ලැහැබක් මැද නිර්මාණය කොට ඇති කොක්කිච්චිය ‘සිරිසම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය ද විශිෂ්ට නිර්මාණයකි. බුදුසිරිතේ එන ප්‍රාතිහාර්යාත්මක අවස්ථා රැසක් මෙම වන ලැහැබ තුළ නිර්මාණය කොට ඇති අයුරු දක්නට ලැබේ. සතාසිව්පාවාට, ගහකොළවලට, පරිසරයට කිසිදු හානියක් නොවන අයුරින් මෙම පුද බිම නිර්මාණය කොට තිබීම තවත් විශේෂත්වයකි.

මෙම පුණ්‍ය භූමිය තුළ දෙමහල් විහාර මන්දිරයක් ද ඉදිකොට තිබේ. මෙහි දහසක් බුදුන් බුදුවු වග මූර්තිමත් කිරීමේ කටයුතු ද දැන් සිදුවෙමින් පවතී. ඒ සමඟ සද්ධා රංසි නාහිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන අනුරාධපුර රජරට ශීල භාවනා මධ්‍යස්ථානය ද සෑම පුර පසළොස්වක පෝ දාකම සැදැහැවතුන් වෙනුවෙන් විවෘතව පවතී. අටසිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට මෙහි පහසුකම් සපයා තිබේ. මෙවර වෙසක් පෝදා මෙහි භාවනා වැඩසටහන් ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ආදී වැඩසටහන් පැවැත්වීමටද සද්ධාරංසි නාහිමියන් සියලු කටයුතු යොදා තිබේ.