Print this Article


අසූ වස් සපිරූ ශ්‍රී සංඝමිත්තා දහම් පියසට දෙමහල් පොත් ගුලක්

අසූ වස් සපිරූ ශ්‍රී සංඝමිත්තා දහම් පියසට දෙමහල් පොත් ගුලක්

ප්‍රධනාචාර්ය හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සමඟ පසුගිය වසරේ ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් කොටසක්

දෙමහල් පුස්තකාලය
 

ඒ 1937 වසරයි. රාගම මහර නැලිගම ග්‍රාමයේ ශ්‍රී ශෛලාසන්නාරාමයේ විහාරාධිපතිව වැඩ විසූ දිප්පිටියේ ශ්‍රී පියතිස්ස නාහිමිපාණන් වහන්සේට ගමට පාසලක් හා පන්සලට දහම් පාසලක් අවශ්‍ය බව තේරුම් ගිය අතර උන් වහන්සේ විසින් පන්සල මුල් කරගත් දහම් පාසලක් හා ඒ ආසන්නයේ ම පන්සලේ භූමි භාගයක පාසලක් ආරම්භ කරන ලදී.

පාසලත්, දහම් පාසලත් දෙකටම ශ්‍රී සංඝමිත්තා යන නම යොදන ලද අතර එදා පටන් ගමේ මුල් තැනක් ගත් පාසලක් හා දහම් පාසලක් බවට එය පත් විය.

1937 වසරේ සිට 1981 නොවැම්බර් මස 18 වැනි දින දක්වාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය හොබවන ලද්දේ දිප්පිටියේ ශ්‍රී පියතිස්ස නාහිමිපාණන් වහන්සේ ය. උන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව වත්මන් ශෛලාසන්නාරාමාධිපති මාකුරේ පියනන්ද නා හිමිපාණන් වහන්සේ විසින් එදා සිට අද දක්වාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය උසුලන්නේ දහම් පාසල ප්‍රදේශයේ කැපී පෙනෙන ආගමික මධ්‍යස්ථානයක් බවට ද පත් කරමිනි.

2001 වසරේ සිට මේ දක්වාම නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ධුරය උසුලනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තාරක වික්‍රමසේකර මහතා ය. දහම් පාසලේ සියලුම සිසුන්ට තිළිණයක් වාර්ෂිකව ප්‍රදානය කළ යුතු බව හා සෑම වසරකම තිළිණ ප්‍රදානය පැවැත්වීමට කටයුතු කිරීම 1998 වසරේ සිටම සිදු කෙරෙන්නේ ඒ මහතාගේ යෝජනාවකට අනුවය. 1998 වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ ධර්මාචාර්ය හොඳම ප්‍රතිඵල සහ දිවයිනේ හොඳම ධර්මාචාර්ය ප්‍රතිඵල අතුරින් දෙවන ස්ථානයට තේරි පත් වූ දහම් පාසල 1999 වසරේදී දහම් පාසල් අවසාන විභාගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයටද පත් විය. 2008 වසරේ පැවැති ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයේදී මාකුරේ පියනන්ද නාහිමිපාණන් වහන්සේ මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් නියෝජ්‍ය ලේඛකාධිකාරිවරයා ලෙස තාරක වික්‍රමසේකර මහතාත් තේරී පත් වූ අතර අප දහම් පාසලේ හිමිනමක් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවත් ආචාර්යවරයකු නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවත් එය වේ. එසේම එම නිලවරණයේදී අනුකාරක සභාවට වල්පොළ සද්ධානන්ද හිමියන්, හිඟුරලකන්දේ පඤ්ඤානන්ද හිමියන් හා ආචාර්යවරියන් වන අනුරුද්ධිකා නවගමුව සහ නදීකා වීරකෝන් යන අයත් තේරී පත් වූ අතර මහර ශාසනාරක්ෂක මණ්ඩලයට දහම් පාසලකින් සාමාජිකයන් 6 දෙනකු තේරී පත් වූ ප්‍රථම අවස්ථාවද එය යි.

2008 වසරේදී දහම් පාසලට පුස්තකාලයක් ඉදිකිරීම සඳහා යෝජනාව තාරක වික්‍රමසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. 2011 වසරේ පුස්තකාලයේ වැඩ ආරම්භ කළ අතර එහිදී එවකට බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය දැරූ ප්‍රසන්න රණතුංග මහතාගේ ‘සරුදම් අරුණැල්ල‘ යටතේ වසර 3ක් තුළදී රුපියල් 100000.00ක් බැගින් ලක්ෂ 3ක් හිමි විය.

මෙවන් සේවාවන් රැසක් දූ දරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන මහර නැලිගම ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ දරු දැරියන් උදෙසා නිම කරන ලද දෙමහල් පුස්තකාලය විවෘත කිරීමත් 2017/2018 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන හා සාටක පැළැඳවීමත් මෙම අප්‍රේල් 08 වන දා උත්සවාකාරයෙන් සිදු කෙරේ.