Print this Article


අනුරාධපුරයේ දී පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

අනුරාධපුරයේ දී පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

සේනපුර ඩී. නිශ්ශංක
අනුරාධපුර නැගෙනහිර සමූහ

ඉතිහාසය පුරාම ලක්දිව රජකළ විවිධ රජවරු අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට විවිධාකාරයෙන් බෝධිපූජා පවත්වා තිබේ. වර්තමානයේ දී ජය ශ්‍රී මහා බෝසමිඳුන්වෙත වාර්ෂිකව පවත්වන ප්‍රධාන පූජා හෙවත් මංගල්‍යය හතරක් දැකගත හැකි ය. ඒවා නම් දුරුතු මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, පරණ අවුරුදු මංගල්‍යය,නානුමුර මංගල්‍ය හා කාර්තික මංගල්‍ය වේ.

මෙම මංගල්‍යය අතුරින් විශේෂතැනක් ගන්නා ‘දුරුතු මංගල්‍යය’ ‘අගසස්දානය’ ‘අලුසහල් මංගල්‍යය’ හෙවත් ‘අලුත් සහල් මංගල්‍යය’ මෙවර පැවැත්වෙන්නේ 51 වැනි වතාවට ය. කෘෂිකර්ම අමාත්‍යංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, විසින් උතුරු මැද පළාත් සභාවේ ද රජයේ විවිධ දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල ද අනුග්‍රහය ඇතිව සමස්ත ශ්‍රී ලංකාවේ ගොවිජනතාවගේ ආශිර්වාදාත්මක සහභාගීත්වයෙන් 2018 අප්‍රේල් මස 08 වන දින පෙරවරුවෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා උසස් අයුරින් සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති ස්‍යාමෝපාලි මහානිකායේ, මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්ම රක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ය.

මෙම අලුත් සහල් මංගල්‍යය පැරණි රජ දවස සිට පැවත එන චාරිත්‍රයකි. මෙම මංගල්‍යයේ දී නියමිත නැකැත් දිනට පෙරදින (07), ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ අලුත්සහල් රැස්කරනු ලබන පිත්තල පාත්‍රාව (මහා පාත්‍රය) වැලි මළුවේ පාවඩ මත, උඩුවියන් යට මහත් ගෞරවයෙන් තැන්පත් කෙරේ. සාමාන්‍ය දිනවල දී මෙම පාත්‍රා බෝධීන් වහන්සේගේ විහාර මන්දිරයේ තැන්පත් කර තිබේ. මේ විසල් පාත්‍රාව තැන්පත් කිරීම අටමස්ථානාධිපති නාහිමියන්ගේ අවවාද අනුශාසනාමත, පෞරාණික වත් පිළිවෙත් නොපිරිහෙලා ඉටු කෙරෙමින් බෝමළුව පරම්පරාවේ භික්ෂූන්වහන්සේලා විසින් ඉටු කෙරේ.

මෙදින අලුයම එළඹෙන නැකැත් හෝරාවේ දී, බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ කිරි ඉතිරවීම සිදු කෙරේ. ඒ සඳහා සැරසිලි කළ නැවුම් මුට්ටි සහ අගිල් සඳුන් වැනි සුවඳ දර වර්ග ගනු ලැබේ. ශබ්ද පූජා මැද කිරි උතුරවනු ලබන්නේ පිරුවට ඇඳගත් පුරුෂ පක්ෂයේ අය විසිනි. එසේ පිළියෙල කර ගන්නා කිරි ආහාරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරති.

මෙවර පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යයේ තවත් විශේෂත්වයක් වන්නේ ගොවිජනතාවගේ සහභාගීත්වයෙන් (07) වෙනි දින සවස ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස සහ රුවන්වැලි මහා සෑ රදුන් අභියස මල් පුජාවක් හා පහන් පුජාවක් පවත්වා ගොවිජනතාවට ආශිර්වාද කිරීමේ මහා පුණ්‍යකර්මය සිදු කිරීම ය. මෙදින රාත්‍රියේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වැලි මළුවේ දී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ. 08 වන දින උදෑසන අලුත් සහල් රැගත් මහා පෙරහර අනුරාධපුර සිංහ කණුව අභියස සිට පැවැත් වේ. පෙරවරු 09.30 ට පමණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මහා පාත්‍රය අලුත් සහලින් පිරවීම සිදු කෙරේ. මෙම පුණ්‍යකර්මය සිදු කෙරෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන් හා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතව ඇත. අලුත් සහල් මංගල්‍යයෙන් පසු දවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට ද කටයුතු සංවිධානය කර තිබේ.

වී ගොවිතැන් කරන ගොවීහු ගොයම් කපා පාගා ගන්නා අස්වැන්නෙන් මුල්ම කොටස බුදුන්වහන්සේ උදෙසා අප්‍රමාණ වූ සැදැහැයෙන් පුජා කරති. කන්ද උඩරට ගොවි ජනතාව ශ්‍රී දළදා වහන්සේ වෙතත්, නුවර කලාවියේ ගොවි ජනතාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙතත් මේ පූජෝපහාරය පවත්වති. නමෝ විත්තියෙන් කපා ගත් ගොයම් රන් වන් බැත සහල් කර එහි මුල්ම කොටස හෙවත් අග්‍රකොටස බුදුරදුන්ට පූජා කිරීම ඈත අතීතයේ පටන් ම අද දක්වාත් මංගල්‍යයක් ලෙසින් එකාවන් ව, එක්සත් ව උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ. මේ අලුත්සහල් මංගල්‍යය අග්‍ර ශෂ්‍ය මහාදානය නමින් ද හඳුන්වනු ලැබේ.

අපේ ගොවිජනතාව වී ගොවිතැනේ හැම කටයුත්තක්ම අරඹන්නේ දොහොත් එක් කොට බුදුන්ට නමස්කාර කිරීමෙන් අනතුරුව ය. අවසානයේ කෙතින් ලබාගන්නා රන් අස්වනුවල අග්‍රශෂ්‍ය කොටස බුදුන්ට පූජා කරනු ලැබේ. අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරති. මේ අනුව වී ගොවිතැන එදා මෙන් ම අදත් බුදුන් හා දෙවියන් පිළිබඳ අචල වූ විශ්වාසයකින් හා භක්තියකින් සිදු කරන මංගල්‍යමය වූ ත්, පූජනීය වූ ත් කාර්යයකි. එම නිසාම වී ගොවිතැනේ දී සාම්ප්‍රදායික චාරිත්‍ර රැසක් ගොවිජන සමාජය තුළ ක්‍රියාත්මක වනු අද ද දක්නට ලැබේ.

දඹදෙණි යුගයට අයත් සද්ධර්ම රත්නාවලිය තුළින් එහි කතුවර හිමියන් කෙත, කමත, ගම, ගොවිජීවිතය පිළිබඳව ගෙනහැර පාන තොරතුරු සමුදාය සිත් ඇදගන්නා සුළු ය. එහි එන ‘අගසව්වත’ කතා වස්තුව තුළින් අලුත්සහල් මංගල්‍යය පිළිබඳ තොරතුරු රැසක් හෙළිවේ. විපස්සී බුදුන් කල මහාකාල හා චූල කාල දෙබෑයන් ඇල්කෙත්වපුරා ලද මුල් අස්වනු බුදුපාමොක් මහ සඟනට උපහාරයෙන් පූජා කළ බව එමගින් විස්තර වේ.

වී ගොවිතැන සඳහා අවශ්‍ය වන වැස්ස ස්වභාව ධර්මයේ ආශිර්වාදය මත රඳා පවතින්නක් බව ගොවීහු විශ්වාස කරති. ස්වභාව ධර්මය දේවත්වයට පත් වූයේ ද ඒ නිසාම ය. මහවැව් තැනීමටත්, තැන වූ වැව් ආරක්ෂා කිරීමටත්, නඩත්තු කර ගැනීමටත්, දේව බැල්ම අවශ්‍ය ය. නිසිකලට වැසි ලැබ වපුල බීජුවලින් ගොයම පීදි අස්වනු රැකෙන්නේ දේව ආශිර්වාදයෙනි. දෙවියන්ට භාරහාර වී ගොවිතැනට බසින්නේ ඒ නිසා ය.

තෙරුවන් මුල්කරගත් යහපත් වූ මේ ජීවනෝපාය ක්‍රමයේ දී ගොවිජනතාවට දෙවියන් පිළිබඳ විශ්වාස අත්හරින්නේ නැත. බුද්ධරත්නය පෙරටුකරගෙන පළාත් හා ප්‍රදේශ අනුව වෙන්කොට හඳුනා ගන්නා දෙවියන්ට පුජා පවත්වනු ලැබේ. සෙංකඩගල මහනුවර ප්‍රදේශයේ අලුත්සහල් මංගල්‍යය දළදා හාමුදුරුවන් ප්‍රමුඛත්වයෙහි ලා ඊට සම්බන්ධිත නාථ දේවාලය ඇතුළු දේවාල අභියස දී උත්සවාකාරයෙන් පැවැත්වේ. අනුරාධපුර උඩමළුවේ ශ්‍රී මහා බෝධියේ අලුත්සහල් මංගල්‍ය පවත්වන නුවර කළාවියේ ගොවියෝ ‘කලු දේවතාවුන් වහන්සේට’ කන්නලව් කර පින් පෙත් දීමට අමතක නොකරති. වන්නිකරයේ ගොවිජනතාව පුල්ලෙයාර් හෙවත් අයියනායක දෙවියන්ට කිරි ආහාර පුජා කරන්නේ අලුත් බත් කෑමට පෙර ය. දඹුල්ල හා දෙවිනුවර ප්‍රදේශවල ගොවි ජනතාව විෂ්ණු දේවාලය පෙරටුකොටගෙනත්, සබරගමු ප්‍රදේශයේ ජනතාව සමන් දේවාලය පෙරටු කොට ගෙනත් අලුත්සහල් මංගල්‍යයේ දේව පුජා පවත්වති. මේ අනුව විෂ්ණු, සමන්, දැඩිමුණ්ඩ, අයියනායක, වීරමුණ්ඩ, ගලේබණ්ඩාර, රජ්ජුබණ්ඩාර දෙවිවරුන් ඒ ඒ ප්‍රදේශ අනුව ගොවිජනතාවගේ අලුත් සහල් මංගල්‍යයේ පිදුම් ලබති.

ඌව හා දකුණු පළාත්වල ගොවිජනතාව කිරිවෙහෙර අභියස අලුත් දානය පිළිගන්වා කතරගම දෙවියන් අභියස පින් පෙත් දීම සිරිත කරගෙන ඇත. ගොයම් කපා පාගා ගැනීමෙන් පසු එකී ධාන්‍ය ආහාරයට ගැනීමට පෙර පත්තිනි මෑණියන් උදෙසා කිරිබත් දානයදීම මෙම සහල් මංගල්‍යයේ ම තවත් අවස්ථාවකි.

ඉන්පසු ආරම්භ කෙරෙන මහ පෙරහරෙන් ගොවි, ගෙවිලියන් සහල් පිරවූ මැටි පාත්‍රා ද අතැතිව බෝධීන්වහන්සේ වෙත පැමිණෙති. ඔවුහු උඩුවියන් යටින් රැගෙන එන සිය කෙත්වතුවල අග්‍රකොටස මහත් ගෞරවයෙන් පුජා කරති. මැටි පාත්‍රාවල පුරවාගෙන එන සහල් වලින් මහා පාත්‍රය පුරවති. තම කෙත්වතු සරුසාර වන්නේ ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිටාධාරයෙන් බව ගැමියෝ විශ්වාස කරති. එබැවින් දුරුතු මංගල්‍යය හෙවත් අලුත් සහල් මංගල්‍යය කෘතගුණ සැලකීමේ චාරිත්‍රයක් ලෙස ද සැලකිය හැකි ය. ඇතැම් වර්ෂවල මෙම මංගල්‍යය පවත්වන දිනට, විවිධ හේතු නිසා ගොයම් පැසී නොතිබීමට පුළුවන. එවිට ගැමියෝ කිරිවදින ගොයම් කරල් තලා මිරිකා ගන්නා යුෂ කිරට මුසුකර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුජා කරති.