Print this Article


ඉලක්කය කැපවීම සහ බුදුදහම

ඉලක්කය කැපවීම සහ බුදුදහම

ජීවිතය සාර්ථකත්වය උදෙසා ගමන් කිරිමේ දී ප්‍රධානම දේ කැපවීම යි. කැපවීම ජීවිතයට සෞභාග්‍යය උදා කරවන උතුම් මංගල කරුණක් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක. විශේෂයෙන් ගිහි පිරිසගේ ජීවිතය තුළ මේ කැපවීම නැතිනම් ඔවුහු ධනයෙන්, කීර්තියෙන් පිරිහි යති.

දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි පුද්ගලයෙකු විමසා සිටියේ “ස්වාමිනි ජීවිතයට ධනය රැස් කරගන්නේ කෙලෙස ද?” කියා යි. ඒ අවස්ථාවේ බුරජාණන් වහන්සේ වදාළා තමන්ට පැවරෙන වගකීම් සම්බන්ධයෙන් යමෙක් වීර්යයකින් යුතුව කටයුතු කරනවා නම්, තමන්ගේ කටයුත්ත පිළිබඳව ඔහු සතු වීර්යය කිසි විටකත් පසු නො බසින්නේ නම්, ඔහු මැනැවින් ධනය රැස් කිරීමට සමත් වන බවයි.

ගිහි ගෙදර වෙසෙන්නෝ කැපවීමෙන් කටයුතු කරන විට ධනයෙන් දියුණුවේ. එමෙන් ම ලෝකෝත්තර මාර්ගයට පැමිණි භික්ෂුන් වහන්සේ පවා ඒ තුළින් දියුණුව කරා යන්නේ ඒ උදෙසා කරන කැපවීම තුළිනි. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයේ බොහෝ භික්ෂූන් වහන්සේ තුළ මේ දක්ෂතාවය තිබුණි. දෙතිස් කථාවල නො පැටලී මාර්ගයට පරිබාහිර දේ ඉදිරියට නො ගෙන, නිකෙලෙස් වන තුරුම කැපවීමට උන්වහන්සේ දක්ෂ වූහ. නමුත් ඒ අතරේ ධර්මාවබෝධය පිණිස සසරේ කරන ලද පින් තිබියදීත්, ධර්මයේ හැසිරීමට ඇති කැපවීම අත්හල භික්ෂුහු ද වාසය කළ හ.

එක් කාලයක අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටියදී එක්තරා තරුණයෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් පැමිණ බුදු සසුනේ පැවිදි විය. නමුත් ටික දිනකට පසු මේ භික්ෂුවගේ ධර්මයේ හැසිරීම පිණිස ඇති උනන්දුව ටිකෙන් ටික අඩු විය. ඒ බව අනෙක් තෙරණුවෝ භාගවතුන් වහන්සේට සැළකර සිටිය හ .

”පින්වත් භික්ෂුව, ඔබ ධර්මයේ හැසිරීම පිණිස කිසිදු කැපවීමක්, වීර්යයක්, උනන්දුවක් නො මැතිව සිටිනවා කියන්නේ සැබෑ ද?”

”එසේය ස්වාමිනි”

”භික්ෂුව අමා නිවන් සුව මෙලොවදී ම පසක් කරවන මේ උතුම් සසුනේ පැවිදි ඔබ ඇයි වීර්යය අත් හැරියේ? අතීතයේ නුවණැත්තෝ මේ සා ප්‍රණීත නිවන් සුව උපදවන කරුණක දී පමණක් නොව සාමාන්‍ය අවස්ථාවන්හි පවා මහත් වූ කැපවීමෙන් කටයුතු කළා නොවැ.

ඒ මොහොතේ එහි වැඩ සිටි ස්වාමින් වහන්සේලා ඒ නුවණැත්තන්ගේ කැපවීම ගැන අසන්නට කැමැත්තෙන් අතීත කතාව දේශනා කරන ලෙස ඉල්ලා සිටිය හ.

ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කළේ ය. ඒ කාලයේ මහ බෝසතාණන් වහන්සේ එක්තරා වන සංරක්ෂණ කුලයක උපත ලැබී ය. ක්‍රමයෙන් වැඩිවියට පත් වෙද්දී බෝසත් තරුණයා පන්සියයක් පිරිවර ඇතිව ගම්මානයට යාබද එක්තරා වන පියසක් ආරක්ෂා කරමින් වාසය කළේ ය. මේ වනය මැදින් වැටී තිබෙන මාර්ගයෙන් එහා ගම් පළාත්වලට ගමන් කරන මිනිස්සු මේ ආරක්ෂක තරුණයාට මුදල් ගෙවූ විට සොර සතුරන්ගෙන් , වන සතුන්ගෙන් හානියක් නො වන පරිදි ඔවුන් ඒ වන මාර්ගයෙන් එතෙර කරන්නේ මේ ආරක්ෂකයා මුල් කර ගෙන ය.

දිනක් බරණැස්වාසි ගැල් නායක පුත්‍රයෙක් තමන්ගේ ගැල් පන්සියය සමග වනයෙන් එතෙර වන අදහසින් එහි පැමිණියේ ය. බෝසත් ආරක්ෂකයාට කථා කොට “මිත්‍රයා මෙතැන කහවනු දහසක් ඇත. එය රැගෙන අප පිරිස වනාන්තරයෙන් විරුද්ධ දෙසට ප්‍රවේශමෙන් රැගෙන යනුයි කීය”.

බෝධිසත්වයෝ ඒ ගැල් නායක පුත්‍රයා දුන් කහවණු දහස අතට ගෙන ඒ මොහොතේ ම තමන්ගේ ජීවිතය දෙවැනි කොට මෙ පිරිස ආරක්ෂා කරනවා කියා සපථ කොට ඒ කටයුත්ත වෙනුවෙන් කැප විය. ඒ පන්සියයක් වූ විශාල පිරිසක් රැගෙන ඒ දීර්ඝ වනගත මාර්ගයට ඇතුළු වුණි.

වැඩිදුරක් ඒ ගමන සුවසේ යාමට නො ලැබුණි. එකවර ම මහා හඬින් කෑ ගසාගෙන දුනු ඊතල මානගෙන පන්සියයක පමණ මහා සොර කණ්ඩායමක් කන්දෙන් පහළට බෝසත් ආරක්ෂක පිරිස දෙසට කඩා පැන්න හ . ගැල් නායක පුත්‍රයා ඇතුලු පන්සියයක් පිරිස භීතියට පත් වී කෑ ගසමින් බිම දිගා වූහ. නමුත් වන ආරක්ෂක තරුණයා බියට පත් වූයේ නැත. මහා හඬින් කෑ ගසමින් සොරුන්ගේ හඬ යටපත් කළේ ය.

ඉදිරියට එන සොර කණ්ඩායම මැදට පැන පහර දීමට පටන් ගත් නිසා සොරු පසු බැස්ස හ. කිසිවෙකුට කරදරයක් නො කොට සොරු පලා ගිය හ. මේ ආරක්ෂක තරුණයා අර පන්සියයක් පිරිසම කිසිදු කරදරයකින් තොරව වනගත මාර්ගයෙන් නගරය දක්වා එතෙර කරවී ය. ගමනාන්තයෙන් එළියට ආ විගසම ගැල් නායක පුත්‍රයා මේ ආරක්ෂක තරුණයාට සාදරයෙන් සත්කාර සම්මාන කරවූවේ ය. ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කළේ ය. අනතුරුව ඔහුගෙන් මෙසේ විමසා සිටියේ ය.

”සොහොයුර, මහ වන පියස මැද දී ආයුධ අතට ගෙන සොරු පැමිණි අයුරු සිහිපත් වන විටත් අප සලිත වේ. නුඹට එවැනි මොහොතක දී හෝ සිතේ කිසිදු තැති ගැන්මක් නො වූයේ කෙසේ ද?”

”මිත්‍රය, ඔබ යම් මොහොතක මා වෙත මේ වනයෙන් එතෙර කරවන්න කියා ධනය ලබා දුන්නා ද, ඒ මොහොතේ ම මම ජීවිත ආශාව අත් හැරියෙමි. ඔබලාගේ වගකීම බාර ගත්තෙමි. කුමන බාධක පැමිණියත් මගේ වගකීම ඉටු කරනවා කියන බලවත් සිත මට තිබුණි. ඒ උදාර සිතින් මම වාසය කළෙමි. ඒ නිසාම බිහිසුණු සොර කණ්ඩායම ඉදිරියේ දී පවා මට බියක් හට නො ගත්තේය.

බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දේශනා කොට අවසානයේ මෙසේ වදාළ සේක. මහණෙනි ඒ, අතීතයේ තමාට පැවරුණු වගකීම වෙනුවෙන් එලෙසින් කැප වූ වන ආරක්ෂකයා ලෙස සිටියේ තමන් වහන්සේ බව වදාළ සේක. ඒ නිසා පින්වත් මහණෙනි, මෙබඳු ස්වාක්ඛාත ධර්ම, විනයක පැවිදි බව ලද ඔබ කැපවීමෙන් වීර්යය කළ යුතුම යි. කියා වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අවවාදයට සවන් දී සිටි ධර්මයේ හැසිරීමට ඇති උනන්දුව අත්හළ භික්ෂුව තමන්ගේ හිතට හොඳින් වීර්යය ගෙන ඉතා සුළු කලකින් සියලු කෙලෙස් දුරු කොට උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.

එනිසා අපගේ ශාස්තෘන් වහන්සේගේ අවවාද ගෞරවයෙන් පිළිගෙන තම තමාට පැවරෙන වගකීම කැපවීමෙන් යුතුව ඉටු කරන්නේ නම් රටක්, ජාතියක් ලෙස බොහෝ සේ දියුණුවීමට අපට තවමත් අවස්ථාව ඇත.