Print this Article


ආර්ය පර්යේෂණ සූත්‍රය: කිසිදිනෙක අභිවෘද්ධියට පත්නොවන්නෝ

ආර්ය පර්යේෂණ සූත්‍රය:

කිසිදිනෙක අභිවෘද්ධියට පත්නොවන්නෝ

බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණෙක් මේ පංචකාම ගුණයන්හි වෙළුනා නම්, මුසපත් වූවා නම්, ඒවායෙහි ඇති ආදීනවයන්, දෝෂයන් අවබෝධ කරනොගත්තේ නම්, එනම් ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් තොර වූවා හු මේ පස්කම් ගුණයෙන් යුතු වේ නම් ඔහු හෝ ඇය කිසිවිටෙකත් අභිවෘද්ධියකට පැමිණෙන්නේ නැත. එනම් ව්‍යසනයකට ම පැමිණෙන්නේ ය.

මාරයා පැමිණි කල්හි තමන්ට කැමැති සේ යමක් කළ හැකි යැයි සිතා ගනී. එනම් පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා මාරයාගේ දැලට හසු වී තමාගේ සියලු යහපත් ගුණයන් විනාශ කර ගනී. ලෞකික ලෝකයේ පවුල් පරිසරය ඇතුළු සියලු දෙනාගේ ම අගෞරවයට බඳුන්වෙමින්, මරණින් මතු ඔසවාගෙන ගෙන ගොස් බිම බහා තබනා සේ සතර අපායේ ඉපදෙන්නේ ය. නැතහොත් අනතුරකට ජීවිතය දෙන්නේ ය.

අශ්‍රැතවත් පුද්ගලයා අවබෝධයකින් තොරව පංචකාමගුණයන්ගෙන් යුක්තවීම මල පුඩු රැසක් මත සයනය කිරීමක් හා සමාන ය. ඔහු කිසි දින අභිවෘද්ධියකට පත්වන්නේ නැත. මහත් වූ ව්‍යසනයකට පැමිණෙනු ඇත. මහණෙනි, යම් වූ මහණ කෙනෙක් හෝ බමුණෙක් හෝ පංචකාම ගුණයන්හි ගෙතී මුසපත් වූයේ නම්, බැස ගත්තේ නම්; දොස් නොදක්නා හු, ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් තොරවූවා හු මේ පස්කම් ගුණයන් පරිභෝග කෙරෙත් ද ඒ තැනැත්තා විපතට පැමිණියා හු, ව්‍යසනයට පැමිණියා හු ද, පවිටු මාරයා විසින් කැමැති සේ කටයුතු කළ හැකියැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

පංචකාම ගුණ මාර පාක්ෂිකයි. මේ පංචකාම ගුණ මාරයා විසින් දෙන ලද පුඩුවක් සේ ගත හැකියි. මාඵවන්ට ලබාදෙන පුඩුවක් සේ මහත් වූ විපතකට, ව්‍යසනයකට පත්වන්නට හේතුවක් වන්නේ ය. යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණෙක් හෝ පංචකාම ගුණයන් හි මුසපත් වූයේ නැති නම්, බැසගත්තේ නැති නම් ඒ පංචකාම ගුණයේ දොස් දැකගෙන ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුක්තව ම මේ පස්කම් ගුණයන් පරිභෝග කෙරෙත් ද? ඔහු විපතකට නොපැමිණියාහු ය. ඔහු ව්‍යසනයකට නො පැමිණියාහු ය. පවිටු මාරයා විසින් කැමැති සේ කටයුත්තක් කරන්නට වෙන්නේ නැහැ. ඒ අදහසින් පැහැදිලි කරන්නේ කුමක් ද? මේ පංචකාම ගුණයන්හි ඇති ආදීනවය දැන සිටින්නේ නම් ඇසින් ගන්නා වූ රූප, කනින් ගන්නා වූ හඬ ආදී පංචකාම ගුණයන්ගෙන් පීඩාවක්, විපතක් ඔවුන්ට පැමිණෙන්නේ නැහැ. ඒ පංචකාම ගුණ හඳුනාගෙන එහි ආදීනවය දැක දුකටපත් නොවෙමි යන අදහසින් හැකිතාක්දුරට කෙලෙසුන්ගෙන් බැහැරව තම කටයුතු කිරීමයි.

වර්තමාන සම්මුතිය තුළ ඔබ ද මම මගේ කියමින් මවුපියන්, ස්වාමි භාර්යා දරුවන් ඔවු නොවුන් කෙරෙහි යුතුකම් පවත්වමින් උත්සාහයෙන්, දහඩිය මහන්සියෙන්, බාහු බලයෙන් රැකියා කොට යම් වූ, භෝගයක්, ධනයක් සොයන්නේ ද? නමුත් ඔවුහු ඒවායේ දැඩි ආශාවකට, ගැටීමකට කිසිවිටකවත් පත්වන්නේ නැහැ. එයට හේතුව මේ රූපාදී අරමුණුවල පවතින්නා වූ පංචකාම ගුණයන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණයට යටත් බව නුවණින් දැකීමයි. දැක ඒවා සම්මුතියට දෑතෙන් අල්ලා පරිහරණය කළත් මනසින් යමක් හටගන්නා සුළු ද ඒ හැම නැසෙන සුළුයි නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුතුව ම කටයුතු කරන බැවිනි.

මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණෙක් පංචකාම ගුණයන්හි ගෙතුනේ නැති නම් මුසපත් වූයේ නැති නම් බැස ගත්තේ නැති නම් දොස් දකිනවා නම් ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුක්තව ම මේ පංචකාම ගුණයන් පරිභෝගය කරනවා ද ඔහු විපතකට පත්වන්නේ නැහැ. ව්‍යසනයකට පත්වන්නේ නැහැ. පවිටු මාරයා විසින් කැමැති සේ යමක් කරන්නට අපහසුවෙනවා. ලෞකික ලෝක තුළ සම්මුතියට ඒවා පරිහරණය කරනවා. නමුත් ඇලුණේ නැහැ. ගැටුණේ නැහැ. බැඳුනේ නැහැ. යමක් හටගන්නා සුඵ ද, ඒ හැම නැසෙන සුළුයි, යන භාග්‍යවතුන් වහන්සේගේ පරමාර්ථ ධර්ම අවබෝධය හා අනුශාසනාව සිතේ පවත්වාගෙන පුරුදු කිරීම නිසයි. වැද්දා පැමිණෙනවා නම් වෙනත් මාර්ගයකින් යන්න පුළුවනි. යම් ක්ලේෂයක් සිතේ හටගන්න එන්නේ නම් ඒ කෙලෙස්වලින් තම සිත නිදහස් කරගෙන කුසල චිත්තයම පවත්වාගත හැකියි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරනවා. ‘යම් සේ වනයේ සිටින මුවෙක් මහ වනයේ හැසිරෙන්නේ බිය රහිත වූයේ නම්, බිය රහිතව සිටී නම්, හිඳී නම්, නිදා ගන්නවා නම් ඒ කවරහෙයින් ද? වැද්දාට හමු නොවූ හෙයිනි. සතර ඉරියව්වම සුවසේ පවතින්නේ යම් කෙනෙක් අර පංචකාම ගුණයන් නැති නිසයි. එනම් වැද්දාට තමන් හමු නොවුණු නිසා ය.

එපරිද්දෙන් ම මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ම ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේ. මහණෙනි, මේ භික්ෂුව මාරයා අන්ධ කළේ යැයි ද මාරයාගේ ඇසට පෙනීමක් නම් වූ පිහිටක් නැති සේ ඔහු නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණේ යැයි කියනු ලැබේ.

භාග්‍යවතුන් වහන්සේ, මහණෙනි, තව දහම් කරුණක් නැවතත් මෙසේ දේශනා කරමි. මහණ තෙමේ විචක්ඛ විචාරයන් සංසිඳවා තම සිතෙහි පැහැදීම් ඇති සිතේ එකඟ බව ඇති විචක්ඛ නැති, විචාර නැති සමාජයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙම මහණ තෙමේ මාරයා අන්ධ කළේ යැයි ද පිහිටක් නැති සේ මාරයාගේ ඇස වසා පාපී මාරයාගේ නොදැක්මට මම පැමිණියේ වෙමියි, සඳහන් කළෙමි.

මහණ තෙමේ, සැපය නැසීමෙන් ද, දුක නැසීමෙන් ද පළමු කොට ම සෝමනස්ස, දෝමනස්ස වැනසීමෙන් දුක් රහිත වූ, සැප රහිත වූ උපේක්ෂාව විසින් කළ සත්‍ය පාරිශුද්ධ බව ඇති සිව්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේ. මේ මහණ තෙමේ, මාරයා අන්ධ කළේ ය. මාරයාගේ ඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේ වෙමියි සඳහන් කළෙමි.

භාග්‍යවතුන් වහන්සේ අවසන් වශයෙන් තමන් වහන්සේ ලද මේ උතුම් ධර්ම මාර්ගයේ ඵල දේශනා කරනවා. තෙමේ සර්වප්‍රකාරයෙන් රූප සඤ්ඤාව ඉක්මවීමෙන්, පටිඝ සඤ්ඤාව නැසීමෙන්, නානප්ප සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්ත යැයි, ආකාසංචායතනයට පැමිණ වාසය කෙරෙමි. මේ මහණ තෙමේ මාරයා අන්ධ කළේ යැයි ද මාරයාගේ ඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේ වෙමි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ධ්‍යානයට පත් වූ සිතක ස්වභාවය පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුළ සම්මුති පරමත්ථ දේශනා වශයෙන් මූලිකව පෙන්වා දී ඒවා අනුගමනය කිරීම සමථ විදර්ශනා හැටියට බෙදා වෙන්කොට තියෙනවා. සමථය නම් ලෞකික වශයෙන් සිත එකඟභාවයට පත්කර ගන්න උපකාර වන කර්මස්ථානයි. එය බුද්ධානුස්සති, ධම්මානුස්සති, සීලානුස්සති, සංඝානුස්සති ඔස්සේ ආදී වශයෙන් මූලික පියවරේ දී මේ හිතේ ඒකාග්‍රතාවය ඇති කරගත හැකියි. පරමාර්ථ හෙවත් විදර්ශනාවේ දී ධ්‍යානයන්ගෙන් ඇති කරගත්තා වූ චිත්ත සමාධියේ පිහිටක් ලබාගෙන ධාතුස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ කය හෙවත් පුංජය අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණයට යටත් කොට දැකගන්නට සිත පුරුදු කරනවා. ‘දයත්ථ ගාමිනියා පඤ්ඤාය’ යනුවෙන් ධර්ම කතාවේ පැහැදිලි කරන්නේ ඒ අවස්ථාවයි.

මේ නිසා සම්මුති ලෝකයතුළ මොනතරම් ‘මම මගේ කියා පැවැත්වූවත් පරමාර්ථ වශයෙන් මේ කයෙහි තමාට ඕනෑ විදිහට පැවැත්මක් නැති බවත්, කිසිදු වස්තුවක එනම් රූප, ශබ්ද ආදී වස්තුවක කාමය නැති බවත් සිතේ ඇති කරගන්නා වූ ඉහත සඳහන් කළ ඉටුවඩන, මනවඩන, ප්‍රිය දැයෙ හි කාමයෙන් යුත් ඇලුම්කරන යම් වූ පංචකාමගුණයන් නිසා ම වැද්දාගේ මල පුඩුවට හසු වී එසේ නැතිනම් මාළු මරන්නාගේ බිලී පිත්තේ අමුණා ඇති ඇමට හසු වී වැද්දෙකුගේ උපායකට හසු වී විනාශයට පත්වෙන සත්වයෙක්, පුද්ගලයෙක් හැටියට දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ ගුණ දහමින් ලෞකික වශයෙන් ද පිරිහී ලෝකෝත්තර වශයෙන් කිසිදු ගුණයක් දියුණු නොකොටගෙන සතර අපායේ ඉපදීමට අවස්ථාව සලසා ගනී.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අනන්ත සංසාරයේ ආර්ය පර්යේෂණයක් හැටියට ලබාගත්තා වූ උතුම්ම ඵලය චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයයි. එහි යහපත් වූ පසුබිමත්, එහි සුන්දර වූ නික්ලේෂී වූ මහත්, දහම් රසයත් පස්වග මහණුන් වහන්සේලාට මහා කරුණාවෙන් දේශනා කරමින් අවබෝධ කළ ආකාරය ඉතාම සුන්දර කතාවස්තුවක් සේ මෙහි පෙන්වා දී දේශනා කොට තිබේ.

ආර්ය පර්යේෂණ සූත්‍රයෙන් පෙන්වා දෙන දහම් පෙළ භාග්‍යවතුන් වහන්සේ විසින් පස්වග මහණුන්ට පමණක් නොව අප උදෙසා ද කළ දේශනාවක් හැටියට සිහිපත් කොට, භාග්‍යවතුන් වහන්සේ අරහත්වය සහ සම්මා සම්බුද්ධත්වය අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවෙන් දැන, අවබෝධකොටගෙන ම ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ ජීවිතයේ ම මාර්ගඵලාවබෝධයකට පත්වීමට උත්සාහ ගන්නට යැයි ආරාධනා කරමි.