Print this Article


සංසේදජ: අකුසල් කිරීමෙන් ලබන උපත

සංසේදජ: අකුසල් කිරීමෙන් ලබන උපත

සූරිගම – කඩවත
ශ්‍රී නාගාර්ජුන මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති
හොරොව්පොතානේ පඤ්ඤානන්ද හිමි

බුදු දහමේ විග්‍රහ කෙරෙන කර්ම සංකල්පයට මූලික වන්නේ චේතනාව ය.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි

චේතයිත්වා කම්මං කරෝති කායේන

වාචාය මනසා ”

චේතනාව කර්මය වේ. සිතින් සිතා, කයෙන් වචනයෙන්, මනසෙන් කර්මය රැස්කරයි. මෙමගින් කායකම්ම, වචීකම්ම, මනෝ කම්ම යනුවෙන් තෙවැදෑරුම් කර්මයක් පැහැදිලි වේ. මෙම කර්මයන් පුඤ්ඤකම්ම හා පාපකම්ම (පින්– පව්) යන දෙආකාරයෙන්ම පුද්ගලයා සිදුකරනු ලබයි. පව ලෝභ, දෝස, මෝහ චේතනාවන් මූලිකව සිදු කෙරෙන අතර පින අලෝභ අදෝස, අමෝහ ආකාරයෙන් සිදු කරනු ලබයි.

බුදුරජාණන් වහන්සේ නිබ්බේදක සූත්‍රයේ කර්මය පිළිබඳ පැහැදිලි විවරණයක් සිදු කර ඇත. කර්මය යනු කුමක්ද කර්මයේ වේමත්තතාව (වෙනස කුමක්ද?) කර්ම විපාක කවරේද? කර්ම නිරෝධය හා නිරෝධ මාර්ගය කවරේද? කර්ම විපාක කවරේද? යනුවෙන් කරුණු හයක් දක්වා ඇත.

කර්මය යනු කවරේද? යන්නට පිළිතුරු වශයෙන් චේතනාත්මක ක්‍රියාවම කර්මය හැටියට විවරණය කර ඇත. එසේම බුදු දහමේ යම් යම් ක්‍රියා කිරීම හා යම් යම් ක්‍රියා නොකර සිටීමද කර්මය වශයෙන් දක්වා ඇත.

බුදුදහමේ කර්මයට අමතරව “කර්මඵල” යනුවෙන් කරුණක් ඉගැන්වේ. මෙමගින් දැක්වෙන්නේ සිතෙහි හටගත් චේතනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි. ප්‍රතිසන්ධි විපාකයක් ලබාදීම සඳහා ඇති ඵලදායි ශක්තිය කර්ම පථයයි. මෙයින් සුගතියට හෝ දුගතියට මාර්ගය විවර කෙරේ.

ඉහතින් දක්වන ලද කර්මය පුද්ගලයාට බලපාන අයුරු පිළිබඳ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ලෝකය කර්මය අනුව පවතින බවත්, සියලු මිනිස් සමාජය ද එසේම වන බවත් දේශනා කළ අතර ගමන් ගන්නා රථයේ කඩ ඇණය මෙන් සියලු සත්ත්වයින් කර්මය අනුව බැඳී ඇති බවත් දේශනා කළහ.

මෙම කර්මය හා විපාකය අතර පවතින සම්බන්ධය යමෙකුගේ මෙහෙයවීමකින් සිදුකරන කාර්යයන් නොව ,වපුරන දෙයට අනුව ලැබෙන අස්වැන්න ද, එසේම වන ආකාරයට සිදු වන්නේ ය. මෙය ස්වයං ක්‍රියාවලියක අයුරින් සිදුවේ.

යාදිසං වපතේ බීජං
තාදිසං හරතෙ ඵලං

ඉහත සඳහන් කරුණට අදාළව තොරතුරු බුද්ධ දේශනාවේ උදාහරණ ලෙස පැහැදිලි කළ හැකි ය.

මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නේන
භාසති වා කරොති වා
තතො නං සුඛමන්වේති
ඡායාව අනපායිනී

කුශලාකුසල ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත ප්‍රධානකොට ඇත්තාහ. සිතින්ම උපන්නාහු ය. ඉදින් යමෙක් යහපත් සිතින් ක්‍රියා කෙරේ නම් යහපත් වචන කියයි නම් ඒ කරණකොට සැපය ඔහු අනුව යයි. (කුමක් මෙන්ද) තමාගේ සෙවනැල්ල තමා අත්නොහැර පසු පස්සේ ගමන් කරන්නාක් මෙනි.

තමන් විසින් සිදුකරනු ලබන කුසල් අකුසල් මතින් සුගතියේ හා දුගතියේ උපදින සත්වයෝ කොටස් පහක් වේ. එනම් නිරය, තිරිසන් සත්වයෝ, පේ‍්‍රතයෝ, මනුෂ්‍යයෝ, දෙවියෝ වශයෙනි.

ඉහතින් දක්වන ලද සත්ත්වයින් උපදින ආකාරය චතුර්විධ වේ. ඒ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙනි.

මෙම සත්ත්වයින් උපදින යෝනි සතර අතරින් අපගේ අවධානය යොමු කරනු ලබන්නේ ‘සංසේදජ’ සත්ත්වයින් පිළිබඳව ය.

සංසේදජ සත්ත්ව කොට්ඨාශය ඉතා ප්‍රාථමික මට්ටමේ දිවි ගෙවන හා උප්පත්තිය සිදුවන සත්ත්ව කොට්ඨාශයකි. මෙම සත්ත්ව කොට්ඨාශය ‘තිරස්චීන’ සත්ත්ව කොට්ඨාශයට (තිරිසන්) අයත් වේ

තිරිසන් සතුන් අපා ( පාද නැති) දෙපා, සිව්පා, බහු පා වශයෙන් කොටස් හතරකි. මෙයින් සංසේදජ සත්ත්ව කොට්ඨාශය පාද රහිත සතුන් ලෙස පිළිගැනේ. පා නැති සතුන් අතරද පණුවන් විශේෂ වශයෙන් මේ ගණයට අයත් වේ.

කුණු වූ මත්ස්‍ය, මාංශ, කෑම වර්ග, පලාවර්ග, දිරාගිය ලී , කසල යනාදී දුර්ගන්ධය ඇති තැන් තෙත සහිත අපිරිසුදු තැන් මළපහ වැනි දෙයෙහි උපදින සතුන් මේ කොටසට අයත් ය.

පි‍්‍රයජනකම සත්ත්ව කොට්ඨාශය සංසේදජ සත්ත්ව කොටසයි. එහෙයින් සංසේදජ සත්ත්ව කොටස් සත්ත්ව කොටස් අතර ප්‍රාථමික සත්ත්ව කොටස් වේ. සසර සිදු කරන ලද අකුසලයක් මහත් වූ බැවින් මොවුන් මෙම තත්ත්වයේ ඉපදී ඇත.

මෙලොව උපන් සතුන් අතර උසස්ම සත්ත්වයා මිනිසා වේ. යමක් බුද්ධිමත්ව සිතා බලා කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ මිනිසාටය. මෙලොව සතුන් අතර අපායටත් දෙව්ලාවටත් මග පෙන්වන්නේ මිනිසා විසිනි. තවත් පැහැදිලි ලෙස කිවහොත් තිරිසනෙක් වන්නටත් දෙවියෙක් වන්නටත් නිවන් දකින්නටත් මග ඇත්තේ උසස් මනසක් ඇති මිනිසාටය.

එවැනි උසස් මිනිසා ඉතා පහත් ගණයේ අකුසල් කිරීම, සියදිවි නසා ගැනීම ආදි අකුසලයන් සිදු කිරීමෙන් සංසේදජ ගනයට අයත් සතුන් ලෙස උපදී. ඔවුහු අත් පා වැඩී මනස වැඩිදියුණු වී නැවත මිනිස්ලොව ඉපදීමට කල්ප ගණනක් ගතවේ. ඒ අකුසල කර්මයන් බලවත් වීම හේතුවෙනි. වානරයා පරිණාමයට පත්වී ඔහු මිනිසා බවට පත්වීමට වසර මිලියන ගණනක් ගෙවී ඇත්නම් මෙවන් සංසේදජ ගනයේ සත්ත්වයකු හට නැවත සුගතියෙහි ඉපදීමට ගතවන කාලය සිතා ගැනීමට පවා අපහසු ය. එහෙයින් ලැබූ දිවිය අර්ථවත් කරගෙන කුසල භූමිවල ඉපදීමට කුසල් වැඩි දියුණුකිරීම විගසින් කළ යුතු ය.