Print this Article


සතිපට්ඨාන භාවනාව - 02: නුවණ දියුණු වීමට...

නුවණ දියුණු වීමට...

සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ භාවනා කර්මස්ථාන විසි එකක් පෙර ලිපි මඟින් සඳහන් වුණා. කායානුපස්සනාවේ භාවනා ක්‍රම දාහතරක් තිබෙන බව සඳහන් කළ හෙයින් ආනාපාන සති භාවනාවත්, ඉරියාපත භාවනාවත්, චතු සම්පජඤ්ඤ භාවනාවත් පිළිබඳ ව හැඳින්වීමක් කළා. මේ භාවනා ක්‍රම පිළිබඳ ව දැන කියා ගැනීම කොයි කාගෙත් ගුණ දියුණුවට අවශ්‍ය කරන කාරණාවක්.

ආනාපාන සති භාවනාව, ඉගෙන ගන්නා දරුවන්ට බොහොම හොඳ ක්‍රමයක්. හොඳට පාඩම් හිටිනවා. නුවණ හොඳට වැඩෙනවා. සිහි කල්පනාව හොඳින් දියුණු වෙනවා. ඒ නිසා කවුරුත් පාන්දර නැඟිට ආශ්වාස ප්‍රශ්වාස දෙකෙහි සිත පිහිටුවා විනාඩි පහක් හෝ දහයක් කාලය ගත කළොත් හරිම වටිනවා. බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරන කාලයේ බහුලව ම භාවනාවට ගත්තේ ආනාපාන සතිය යි. ඒ නිසා බෝසත් දරුවාට කුඩා කාලයේ දී ම සී සාන දවසේ ධ්‍යාන උපදවා ගන්නට වාසනා සම්පත් උදා වුණා. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට වැඩම කළ මහ බෝසතාණන් වහන්සේ නැඟෙනහිර බලා වාඩිවී ආනාපාන සති භාවනාව පටන් ගත්තා.

ආනාපාන සතිය සමඟ ම ඉරියාපත මනසිකාරය , චතු සම්පජඤ්ඤාය( පෙර ලිපි මඟින් සඳහන් වුණා) බොහොම අගේ ඇති ව දියුණු කළා. හැම ඉරියව්වක් ම සිහි නුවණින් දියුණු කළා. ඒ වගේම හැම ඉරියව්වක් ම සිහි කල්පනාවෙන් කටයුතු කරන්නට යෙදුණා. දන් වැළදීමේ පටන් සෑම දෙයක් ම සිහි කල්පනාවෙන් කළ යුතු යි. එවිට සති, සමාධි, ඥාන දියුණුවෙන් ‘පටිච්ච සමුප්පාදය’ ගැඹුරු තැනට වැටෙයි. ‘පටිච්ච සමුප්පාදය’ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළ විට ලොවුතුරා බුද්ධත්වයට පත් වුණා.

බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මය භාවිත කළ ක්‍රමය එලෙසම දේශනා කර තිබෙනවා. සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරන සමයේ භාවිත කළ නිස යි. එමෙන් ම අතීත බුදුරජාණන් වහන්සේලා ද භාවිත කළා. කායගතාසතිය හෙවත් ‘පටිකූල මනසිකාරය’ පිළිබඳ ව පෙර ලිපි මඟින් සඳහන් කළ බැවින් කාටත් හසල දැනුමක් තිබිය යුතුයි. මේ ශරීරය පිළිබඳ ව ඇති අස්ථිර බව, පිළිකුල් බව හොඳට වටහා ගන්න පුළුවනි.

දැන් බලන්න, කෙනෙක් මිය ගිය විට දවසක් දෙකක් ඹෟෂධ නොගල්වා තබා ගන්න පුළුවනි. ඊට වැඩි දවසක් කෙසේවත් තබාගන්න බැහැ, දුගඳ හමනවා. එවැනි ශරීරයක් අපට තිබෙන්නේ. ආශ්වාස, ප්‍රශ්වාස තිබෙන නිසා මේ සිරුර නරක් නොවී තිබෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නැති විට මේ ශරීරය කුණු වෙනවා. ඒ අසලින් යමෙක් ගමන් කරන්නේ නාසය වසා ගෙනයි. මේ ගැන වටහා ගෙන ‘පටිකූල මනසිකාරය’ නොහොත් කායගතාසතිය නමැති පිළිකුල හොඳින් මෙනෙහි කරන්න. එවිට නුවණ හොඳින් දියුණු වෙයි. දන් දීමෙන් පමණක් සෑහීමට පත්වන්න එපා. එය හොඳටම මදි. බුද්ධ පූජා , වන්දනා මාන වලින් පමණක් සෑහීමට පත්වන්නට එපා. එයත් ප්‍රමාණවත් නැහැ. පන්සිල්, අටසිල් රකිමින්, බණ අසා භාවනාවත් කළ යුතු යි. එවිට දාන, ශීල, භාවනා පින්කම් තුනම සම්පූර්ණ යි.

එවිට ශීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩී බෝධි පාක්ෂික ධර්ම තිස් හතක් සම්පූර්ණ වෙනවා. එය යි වැදගත් ම කාරණය. බෝධි පාක්ෂික ධර්ම තිස්හතක් සිතේ පහළ වීම නිසා තම ගුණ නුවණ හොඳින් දියුණු කළ හැකි යි. එලෙස ම සංසාර ගමන ගැන අමුතුවෙන් කළ කිරෙන්න දෙයක් නැහැ. සංසාර ගමන සුවසේ ගමන් කර සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්.

ධාතු මනසිකාරය යනුවෙන් භාවනා ක්‍රමයක් ද තිබෙනවා. පඨවි, ආපෝ , තේජෝ, වායෝ නමින් ධාතු ක්‍රම සතරක් තිබෙන බව ඔබ දන්නවා. ගල් කැටයක බැලුවොත් මේ ධාතු සතරම තිබෙනවා. ගස් කොළන්, පෘථිවිය, ඉර හද තාරකා, මහා සාගරය දෙස බැලුවත් ඒ සෑම වස්තුවක ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ තියෙනවා.

අප පරිහරණය කරන විදුලි බලය බැලුවත් එහි ද පඨවි ආපෝ, තේජෝ, වායෝ, ධාතු සතර ම ක්‍රියාත්මක යි. නිර්වාණයෙහි පමණක් ඒ කිසිවක් නැහැ. එය ධාතූන්ගෙන් තොර යි.