Print this Article


තිලොවට තිලක වූ මහා ශාන්ති නායකයාණෝ

තිලොවට තිලක වූ මහා ශාන්ති නායකයාණෝ

" භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාරයෙන් සන්සිඳීමේ සුවයට, ශාන්ත ස්වභාවයට පත්වී දුක් විඳින සියලු දෙනාටම ශාන්තවීම සඳහා, සන්සිඳීම සඳහා ධර්මය දේශනා කළ සේක. ඒ වගේම ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සසරින් එතෙරව, අනෙකුත් අයටත් සසරින් එතෙරවීම සඳහාත් පරිනිර්වාණ ධාතුවෙන් නිවන අවබෝධ කරගෙන පිරිනිවීම සඳහාත් ධර්මය දේශනා කළ සේක. "

මානව ඉතිහාසයේ මේ ලෝකයට පහළ වූ මහා ශාන්ති නායකයාණෝ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. මහා කාරුණික වු, සියල්ල දත්, අසම සම, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවුණේ දුක් විඳින, සංසාරගත අසරණ සත්ත්වයන්ට ශාන්තිය පිණිසයි. අප නායකයාණෝ මේ සඳහා සුදුසුකම් ලබන්නට කල්ප කෝටි ගත සහශ්‍ර ගණනක් දුක් වින්දහ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් දානාදී පාරමී ධර්මයන් සමතිංශත් ආකාරයට පිරූහ.

සිද්ධාර්ථ ගෞතම නමින් උප්පත්තිය ලබා, සියලු සැප සම්පත් අලුයම ඉවතලන කෙළ පිඩක් සේ සලකා මහබිනික්මන් කළේ සසරේ අතරමං ව කිසිදු සහනයක් නොලබා පීඩා විඳින බොහෝ දෙනාට හිත සුව පිණිසයි. මඩ ගොඩක එරී සිටින කෙනෙකුට, මඩේ එරී සිටින තවත් අයෙක් ගොඩ ගැනීම මහත් අසීරු කරුණකි. කොහෙත්ම කළ නොහැක්කකි. පළමුකොටම තමා මඩෙන් ගොඩට ආ යුතු ය. සන්සිඳීමක්, ශාන්තියක් තමා තුළ නොමැති ව තවත් අයෙකුට කෙසේ ශාන්තිය ලබා දෙන්න ද?

අප මහා ශාන්ති නායකයාණෝ පළමුකොට තමා තුළ ශාන්තිය ඇති කරගෙන අන්‍ය සියලු දෙනාට කිසිදු භේදයකින් තොරව ශාන්තිය ලබා දුන්හ.අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ ම ගම් නියම්ගම් දනව් සැරි සරමින් දේශනා කළ ධර්මය කුමක් සඳහා දේශනා කළේ ද යන බව උන්වහන්සේගේ ම ශ්‍රී මුඛයෙන් වදාළේ මෙලෙස ය.

බුද්ධො සො භගවා බොධාය ධම්මං දෙසෙති’

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන අනෙකුත් අයටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම සඳහා ධර්මය දේශනා කළ සේක.

“දන්තො සො භගවා දමතාය ධම්මං දෙසෙති”

බුදුරජාණන් වහන්සේ සියලු ආකාරයෙන් දමනය ඇති කරගෙන, අනෙකුත් අයටත් දමනය වීම සඳහා ධර්මය දේශනා කළ සේක.

“සන්තො සො භගවා සමතාය ධම්මං දෙසෙති”

භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාරයෙන් සන්සිඳීමේ සුවයට, ශාන්ත ස්වභාවයට පත්වී දුක් විඳින සියලු දෙනාටම ශාන්තවීම සඳහා, සන්සඳීම සඳහා ධර්මය දේශනා කළ සේක. ඒ වගේම ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සසරින් එතෙරව ,අනෙකුත් අයටත් සසරින් එතෙරවීම සඳහාත් පරිනිර්වාණ ධාතුවෙන් නිවන අවබෝධ කරගෙන පිරිනිවීම සඳහාත් ධර්මය දේශනා කළ සේක.

සියලුම සත්ත්වයන් ලාභ – අලාභ, යස– අයස, නින්දා –ප්‍රශංසා, සැප – දුක් යන අෂ්ඨලෝක ධර්මයට මුහුණ දිය යුතු ය. ධර්මය නොදත් ධර්මයෙහි අදක්ෂ සියලු දෙනා මෙයින් කම්පාවට පත්වේ. සංසිඳීමක් සහනයක් ඇති කර ගන්නට නම් ශාන්ති නායකායණන් වහන්සේ දේශනා කළ ධර්මය පිහිට කර ගත යුතුයි.

ලොව්තුරා දහම උපයෝගී කරගෙන සහනයක්, සන්සිඳීමක් ඇතිකරගත් අයගේ ජීවිත පිළිබඳ විග්‍රහකර බැලීමෙන් මෙය මොනවට පැහැදිලි වෙයි. ලේ කැටි දරුවන් දෙදෙනා, සෙවනැල්ලක් සෙයින් සිටි ස්වාමි පුරුෂයා,අම්මා, තාත්තා, සහෝදරයා එකම දවසක මරණයට පත්ව පිස්සියක සේ, පිහිටක්, පිළිසරණක් නැතිව එහේ මෙහේ දුව ගිය පටාචාරාවට ශාන්තියක් ලැබුණේ ශාන්ති නායකයාණන් වහන්සේගේ ධර්මය තුළින් පමණි. ලෝකය හා ජීවිතය පිළිබඳව යථා අවබෝධයක් තමා තුළින් ම ඇතිකර ගැනීමට උපමා උපමේය උපයෝගි කරගෙන දහම් දෙසු ආකාරය කොතරම් පුදුම ද? තම එකම දරුවා මරණයට පත්ව, ශෝකය දුක උහුලගන්න බැරිව, කරපින්නාගෙන එම දරුවා සුවපත් කර ගන්නට පිහිට සොයාගිය කිසාගෝතමියට කිසිවෙක් නොමල ගෙදරකින් අබ මිටක් ගෙන එන්නට නියම කිරීමෙන් සදහටම සුවපත් කළේ ශාන්තිනායකයාණන් වහන්සේයි.

දුකට පත් වු අය වෙනුවෙන් ශාන්තිය ලබාදීම සඳහා බොහෝ වාරයක් නමුත් ඒ තැනැත්තාගේ ගෙට වැඩම කර කරුණු අවබෝධ කිරීමට ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ හැර වෙනත් දර්ශනවාදියෙක් , ශාස්තෘවරයෙක් කටයුතු කර ඇත් ද? කෙත පාළු වූ ගොවියාගේ කතාපුවතින් මේ බව පැහැදිලි වෙයි. ජීවිතය කෙරෙහි කළකිරී සියදිවි නසා ගැනීමට ගිය රජ්ජුමාලාව සඳහටම සුවපත් කර ශාන්තිය ලබා දුන්හ. දමනය කළ නොහැකි චණ්ඩ, පරුෂ සත්ත්වයින් දමනය කරමින් ශාන්තිය ගෙන දුන්හ. දුගී දුප්පත්, පැල්පතේ සිට ඉහළම සැප විඳින රජ මාලිගාවට පවා වැඩම කරමින් වසර හතළිස් පහක් මුළුල්ලේ ශාන්තිය ලබා දුන් ශාන්ති නායකයාණෝ මේ මිහිපිට පහළවුන ශ්‍රේෂ්ටතම ආශ්චර්යමත් මනුෂ්‍යයා යි.

සමාජවාදයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ ආදි කර්තෘවරයා වූ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සුදුසුකම් ලැබු අනුගාමික ශ්‍රාවක පිරිසට දේශනා කළේ “මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස,ලෝකයාට අනුකම්පාව පිණිස, මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටත් හිත වැඩ පිණිස, ගමක් ගමක් පාසා, නියම් ගමක්, නියම් ගමක් පාසා, නගරයක්, නගරයක් පාසා හැසිරෙව්” යන්නයි. ගණේගම සරණංකර හිමියන් විසින් රචිත “බුදු හාමුදුරුවෝ යන ග්‍රන්ථයෙහි “බහුජන හිතාය, බහුජන සුඛාය,ලෝකානුකම්පාය” යන වචන තුන තරම් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී සූත්‍රයක් “මිනිස් ඉතිහාසයෙහි කිසිවෙකුගේ මුවින් පිටවී නැත” යන්නෙන් පැහැදිලි වන්නේ අප ශාන්තිනායකයාණෝ ශාන්ති දානය කළ ආකාරය යි.

මනුෂ්‍ය ප්‍රජාවේ මෙලොව ජීවිතයට පමණක් නොව පරලොව ජීවිතයටද ශාන්තිය ගෙන දුන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි .ජීවිතය පිළිබඳ ගැඹුරින් හිතන්නට, අවබෝධ කරගන්නට නිවැරැදි මග හෙළිකර දුන්නේ ශාන්ති නායකයාණෝ යි. පස්කම් සැප ඔස්සේ හඹා යමින් තණ්හාවට දාසව කටයුතු කිරීම තුළින් කිසිම දිනක සහනයක් ලබාගත නොහැකිබව ලොවට හෙළි කළ උත්මයාණෝ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ යි. උපතත් සමඟ කරගහගෙන එන ජරා, ව්‍යාධි, මරණ , ශෝක, පරිදේව දුක් දොම්නස්වලින් සදහටම මිදී, ශාන්තිය ලබන්නට නම් පිහිට කරගත යුත්තේ ශාන්ති නායකයාණන්ගේ ශාන්ත දහමයි.