Print this Article


අනුරුද්ධ මහරහතන් වහන්සේ

අනුරුද්ධ මහරහතන් වහන්සේ

මෙයින් කල්ප ලක්ෂයකට පෙර, එනම් පදුමුත්තර බුදුරදුන් දවස එක් භික්ෂූන් වහන්සේ නමක් දිවැස් ඇති භික්ෂූන් අතර අගතනතුරක පිහිටුවන උතුම් අවස්ථාවක් දුටු එක් කුල පුත්‍රයෙක් ඒ උසස් තත්ත්වයට පත්වන්නට තමන්ට ද වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කළේ ය.

ඉන් පසු අපරිමිත වූ ශ්‍රද්ධා සිතින් යුතුව බුදුන් වහන්සේ ප්‍රමුඛ අසීමිත සංඝරත්නයට දානය පිරිනැමුවේ ය. ඔහුගේ ප්‍රාර්ථනය දැනගත් පදුම බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමය තුළ ඒ ප්‍රාර්ථනය ඉටු වන බව දේශනා කළහ. ඉන් ඉක්බිතිව භික්ෂූන් වෙත එළඹුණු ඔහු දිවැස් ලැබීමට නම් කවර ආකාරයේ පින්කම් කළ යුතු දැයි විමසුවේ ය. දිවැස් ලැබීමට නම් පහන් පූජාව සිදු කළ යුතු බවට බුද්ධ දේශනාව විය.

පෙළදහම විමසන විට දිවැස්ලැබීමට පමණක් නොව ලස්සන ශරීර ඇතිවීමටත්, උසස් ප්‍රඥාවන්තයන් වීමටත්, අන් අය පි‍්‍රය කරන සුවඳවත් ශරීර ඇතිවීමටත්, ආලෝක පූජාවෙන් බෙහෙවින් ආනිසංශ ගෙන දෙයි. බුදුරදුන්ට පමණක් නොව විහාර මන්දිර , සංඝාවාස, සෑ මළු හා බෝ මළු සඳහා ආලෝක පූජාව සිදු කිරීම දුප්පත් ජනතාව සඳහා විදුලිය ලබාදීම ඉහත සඳහන් ආනිශංස ලබා ගැනීමට හේතු වේ.

මෙලෙස විවරණ ලැබ පින් දහම් කළ කුල පු‍්‍රත්‍රයා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ධාතුන් වහන්සේ නිදන් කොට සෑදු සෑයට අපමණ පහන් පූජා සිදු කළේ ය. විවරණ ලද මෙම කුල කුමරු එක් කලෙක බරණැස අන්නහාරක නමින් ඉපිද සුමන නම් සිටුවරයා ළඟ සේවය කරමින් සිටියේය. එකල විශ්වයේ පහළව සිටි උපරිඨ නම් පසේ බුදුරජාණන් වහන්සේට තමාගේ ආහාර වේල දානයක් ලෙස පූජා කළේ ය. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි පසේ බුදුවරුන්ට කළ මෙම පූජාව දිවැසින් දුටු දෙවියෝ තෙවරක් සාධුකාර පැවැත්වූහ.

අපමණ වස්තුව තිබූ තමන් සඳහා දෙවියන් කිසිදිනෙක සාධුකාර නොදුන් බවත්,අන්නහාරක සැදැහැයෙන් ආහාර වේල පිදීම නිසා සතුටු වු දෙවියන් සාධුකාර දුන් බවත් සුමන සිටුවරයාට පැහැදිලි විය. මෙම පින අනුමෝදන් වීමට සිතූ සුමන සිටුවරයා පසේ බුදුරදුන් වෙත ගොස් මෙම පින මා හට කෙසේ අනුමෝදන් විය හැකි දැයි විමසී ය. අන්නහාරකගේ අභිමතය පරිදි එක් පහනකින් තවත් පහන් දස දහස් ගණනක් දැල් වූ නමුත් මුල් පහනේ ආලෝකය අඩුනොවන්නාක් මෙන් කළ පින කාට අනුමෝදන් කලත් එය කළ තැනැත්තාට අඩුවක් නොවන බව පෙන්වා දෙමින්, පසුව කළ පින සුමන සිටුවරයාටද අනුමෝදන් කළහ.

කළ කුසලයේ ප්‍රතිවිපාකත්, පෙර කරන ලද පින් බල මහිමයත් හේතුකොටගෙන අන්නහාරකහට සිටුවරයා ගෙන් සහ රටේ රජතුමාගෙන් අපමණ වස්තු සම්පත් හිමිවිය.අපමණ සැප සම්පත් ලබා සසර සැරිසරා අප ගෞතම බුදුරදුන් දවස සුද්ධෝදන රජුගේ සොහොයුරු අමිතෝදන රජුගේ පුත් අනුරුද්ධ ලෙස උපත ලැබුවේ ය.

අපමණ සැප සම්පත් සහිතව ජීවත් වූ ඔහුට මහානාම නමින් සහෝදරයෙක්ද විය. ශාක්‍යවංශික නිවෙස්වලින් කුල කුමරුවන් සසුන්ගත වු හෙයින් මහානාම සහ අනුරුද්ධ යන දෙසොහොයුරන්ගෙන් කෙනෙකු පැවිදි වීමට අවශ්‍ය වූහ. ගිහිදිවියේ කටුකත්වයත්, ජීවිතයේ අස්ථිර ස්වභාවයත් දැන අනුරුද්ධ කුමරු භද්දිය, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාරවරුන්ද උපාලි නම් කරණවෑමියාද සමඟ පැවිදි වීමේ අදහසින් බුදුරදුන් වෙත පැමිණියහ. ශාක්‍යයන්ගේ මානය බිඳීම සඳහා බුදුරජාණන් වහන්සේ පළමුවෙන් උපාලි කරණවෑමියා පැවිදි කර සෙසු අය ලවා වැන්දවූහ. සසුන් ගතවූ අනුරුද්ධ හිමියන් සැරියුත් මහරහතන් වහන්ස්ගෙන් කමටහන්ගෙන චේතිය රටෙහි ප්‍රාචීනවංශ නම් උයනට ගොස් විදසුන් වැඩුවේ ය.

පසුව එහි වැඩම වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ අරියවංශ දේශනාව ඇසීමෙන් අනතුරුව රහත්භාවයට පත්විය. පසුව බුදුරජාණන් වහන්සේ දිවැස් ලද ශ්‍රාවකයන් අතර අග තනතුර දී වදාළහ. සාමාන්‍ය නුවණ ඉක්මවමින්, අභිඤ්ඤාලාභීන් අතර දිබ්බ චක්ඛු ඤාණය හෙවත් දිවැස් ලැබීම යනුවෙන් හැඳින්වේ. මෙලොව පමණක් නොව භවත්‍රය පිළිබඳව දිවැසින් දැකීමේ හැකියාව මෙකී ඤාණයේ සුවිශේෂිතාවයයි.

බුද්ධ පරිනිර්වානයෙන් පසු පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාවේ දීි අංගුත්තර නිකාය ප්‍රගුණ කිරීමේ කාර්ය පැවරුණේ ද අනුරුද්ද මහරහතන් වහන්සේටය. ශාසනයේ අභිවෘද්ධිය විෂයයෙහි මහඟු සේවයක් සිදු කළ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු එකසිය පනහක් ආයු විඳ පිරිනිවන් පෑ සේක.