Print this Article


සදහම් දැනුම

 

 

ප්‍රශ්නය – සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිදන්කොට අනුරාධපුර යුගයේ කරවන ලද ස්ථූපය කුමක් ද?

පිළිතුර – අනුරාධපුර පූජනීය පෙදෙස් පිහිටි ථූපාරාමය

ප්‍රශ්නය – බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ආරම්භ වී සත්මසකින් අවසන් වූ සංගායනාව කුමක් ද?

පිළිතුර – අජාසත් රජතුමා දවස රජගහනුවර සප්තපර්ණි වේහාර පර්වත පාමුල පිහිටි ගුහා ද්වාරයෙහි ඉදිකරන ලද ශාලාවෙහි පවත්වන ලද පළමුවන සංගායනාව වේ. එහි මුලසුන තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උසුලන ලදී.

ප්‍රශ්නය – පහත සඳහන් වන ප්‍රකාශය බුද්ධ කාලීන ශ්‍රාවක භාසිතයකි.

ඇවැත්නි! බුදුන් පිරිනිවීයහයි, ශෝක නොකරව්, නොහඬව්, ඒ හැඬීම් ශෝක කිරීම්වලින් පලක් නැත. ‘සුමුත්තා මයං තෙත මහා සමණෙන අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණේ වෙමු. මෙය කැපය,මෙය අකැපය යන නියමයන්ගෙන් අප පීඩිත වූවෝ වෙමු. ‘ඉදං වො කප්පති ඉදං වො න කප්පති’ දැන් වූ කලී අපි යමක් කැමැත්තෝ නම් එය කරමු.යමක් නොකැමැත්තෝ නම් එය නොකරම්හ. මෙම ප්‍රකාශ කළ තැනැත්තා කවුද?

පිළිතුර – බුදුරජාණන් වහන්ස්ගේ පරිනිර්වාණයෙන් සත්වන දින ශෝකයෙන් වැළපෙන පුහුදුන් භික්ෂූන් වහන්සේ අමතා ‘සුභද්‍ර’ නම් පැවිද්දෙකුගේ ප්‍රකාශයකි.

ප්‍රශ්නය– දසබලධාරි බුදුගුණ මවාපාමින් ධාතුසේන රජතුමා විසින් කරවන ලද අවුකන බුද්ධ ප්‍රතිමාව කුමක් ද?

පිළිතුර – ලක්දිව ප්‍රතිමා ශිල්පීන් නෙළූ හිටි බුද්ධ ප්‍රතිමා අතුරෙන් ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස සලකනු ලබන්නේ අවුකන හිටි පිළිමයයි. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නවවන සියවසෙහි දී ඊට ආසන්න කාලයකදී නෙලන ලද්දක් වශයෙන් සැලකේ.

පිහිටි ගලෙන් මනා ලෙස මතුකොට පටු තීරයකින් පමණක් ගලට සම්බන්ධ වන අයුරින් නිර්මාණය කොට තිබේ. පිහිටි පර්වතයකට සම්බන්ධකොට මෙසේ නෙළූ ප්‍රතිමා ආබද්ධ ප්‍රතිමා යනුවෙන් විද්වතුන් හඳුන්වා දී තිබේ. ඉතා විශාල ආබද්ධ ප්‍රතිමාව දක්නට ලැබෙන්නේ වැල්ලවාය අසල ‘බුදුරුව ගලෙහි ය.

ප්‍රශ්නය – ‘සඳකඩ පහණ’ ශ්‍රී ලාංකික විශිෂ්ඨ කලා කෘතියකි. පැහැදිලි කරන්න.

පිළිතුර – ඉපැරැණි බුද්ධ ප්‍රතිමා මන්දිර සහ රජමාලිගාවල ප්‍රවේශ ස්ථානයේ පාපිස්නක් ආකාරයට ඉදිකර ඇති ශෛලමය කැටයම් පුවරුවක් මේ නමින් හැඳින්වෙයි. අර්ධ කවාකාර ගල් පුවරුව අනුරාධපුර ශිල්පීන්ගේ කළ කුසලතාවයෙහි අගය පිළිබිඹු කරන සංකේතයකි. සඳකඩ පහණ මත නෙළා ඇති අලංකාර රූ කැටයම් අතර ඇතා, අශ්වයා, ගවයා හා සිංහයා කැටයම් කොට ඇත. සජීවි සතුන්ගේ හැඩය, ගමන් විලාසය ආදි ලක්ෂණ ඉතා විශිෂ්ඨ නිර්මාණ ලෙස හැඳින්විය හැකි ය.

ප්‍රශ්නය – මහින්දාගමනයෙන් පසු මෙරට බිහිවූ මුල් ම බෞද්ධ අධ්‍යාපන ආයතනය කුමක් ද?

පිළිතුර – අනුරාධපුර මහාවිහාරය

ප්‍රශ්නය – රජගහනුවර බිම්සර මහරජුගේ අග මෙහෙසිය වූ ‘ඛේමා’ බුදුරජාණන් වහන්සේ වෙතින් මහා නිදාන සූත්‍රය අසා මගඵල ලබා රජුගෙන් අවසරගෙන මෙහෙණි සස්නෙහි පැවැදි වූවා ය. මෙහෙණි සස්නෙහි ඇය ලැබූ තනතුර හා බුදුරදුන් වෙත පැමිණි සුවිශේෂී ශ්‍රාවිකාවකි. පැහැදිලි කරන්න.

පිළිතුර – රූප මදයෙන් මත් වූ ඛේමා අගමෙහෙසිය බිම්සර මහරජුගේ උපක්‍රමයකින් දිනක් වේළුවන විහාරයට ගොස් බුදුරදුන් හමුවීම සදහා කැමැත්තක් දැක්වූවා ය. බුදුරජාණන් වහන්සේ ඛේමාවන් එනු දැක තමන් වහන්සේට පවන් සලන රූමත් කාන්තාවක් මැවූහ. එවිට ඛේමා බුදුරදුන් වෙත පැමිණ මැවු රූපය දෙස බලා සිටියදීම ඒ රූ සිරින් යුතු තැනැත්තිය මැදි වස ඉක්මවා මහලු වියට පැමිණ ක්‍රමයෙන් දිරාපත්ව පවන් සැලූ විජිනිපත අතහැර පොළොව මත ඇද වැටුණු සැටි ඛේමා දුටුවා ය. එයින් රූප මදය නැතිවූ බව බුදුරජාණන් වහන්සේ දැන දහම් දෙසීමෙන් මගඵල ලබා මෙහෙණි සසුනෙහි පැවිදිව මහා ප්‍රඥා භික්ෂුණීන් අතරෙන් අගතැන්පත් වූවා ය.

ප්‍රශ්නය – උපාදානයන් මුළුමනින්ම නසාලනුයේ ‘අනුපාදාය නිබ්බූත” නම් වේ. මෙහි සඳහන් උපාදාන යන්න පැහැදිලි කරන්න.

පිළිතුර – දැඩිව ගැනීම, අල්ලාගැනීම උපාදාන නම් වේ. රූප ශබ්දාදී අරමුණු දැඩිව ගැනීම් වශයෙන් එහි රසවිඳීම කළ, බලවත්වූ තෘෂ්ණාව අරමුණෙහි නාමයෙන්ම උපාදානයන්ද හඳුන්වනු ලැබේ. එබඳු උපාදාන සතරක් ධර්මයෙහි සඳහන් වෙයි.

1. කාමුපාදනාව

2. දිට්ඨුපාදානය

3. සීලබ්බතුපාදානය

4. උත්තවාදාපාදාන

මේ උපාදානයන් සහමුලින් නසාලූයේ ‘අනුපාදානය නිබ්බූත’ නම් වේ.

ප්‍රශ්නය – ධම්මපද ග්‍රන්ථයෙහි බ්‍රාහ්මණ වර්ගයෙහි පළමු ගාථාවෙහි දෙවන පදය මෙසේ සඳහන් වෙයි.

‘සංඛාරානං ඛයං කුත්වා

අකතඤ්ඤ අසි බ්‍රාහ්මණ

බ්‍රාහ්මණය සංස්කාරයන්ගේ විනාශය දැන

අකෘතඥයෙක් වන්න

මෙම පාඨය ධර්මානුකූල විවරණයකින් දහම් ගැටලුු කිහිපයක් අනාවරණය කර ගත හැකි ය. පැහැදිලි කරන්න.

පිළිතුර – සංඛාර නම් පංචස්කන්ධය යයිද එහි විනාශය ( නැතිවීම) විදර්ශනා ඤාණයෙන් (අනිත්‍ය දුඞඛ අනාත්ම ලෙස) දැන ‘ආකෘත’ නම් වූ නිවන අරමුණු කිරීම් විසින් දැකීම් හේතුවෙන් (දැනීම් හේතුවෙන්) අකෘතඥ නම් වන්නේය. ජීවන සංස්කාර හේතුවෙන් හටගත්තක් නොවේ. (අකතං අභූතං අසංකතං – අජාතං–අමතං) ආදි වශයෙන් කර්තෘකාරකයෙන් නැත. එහෙයින්ම අකෘතය, ප්‍රත්‍යයන්ගේ බලයෙන් ප්‍රත්‍යයන්ගේ එක්වීමෙන් හටගත් ලොව ඇති තාක් සජීවාජීව, වස්තූහු සියල්ල සංස්කාර නම්වෙයි. සංස්කාරයන්ගේ විනාශය වනතුරුම සත්වයා භවයෙන් භවය උපත ලබමින් ගමන් කරන්නේ ය. සංස්කාර අකෘතඥ වන වදන්හි ධර්මානුකූල විවරණයන් නිවැරැදිව වටහා ගැනීම ධර්මාවබෝධය යි.