Print this Article


කරණීය මෙත්ත සූත්‍රය

කරණීය මෙත්ත සූත්‍රය

" යම් කාර්යයක් ආතතියෙන් තොරව නිම කිරීමට ඒ සඳහා කුසලතා වර්ධනය කරගත යුතුය. නිපුණත්වයට පත්විය යුතුය. අප රැකියාවේ හෝ ක්‍රීඩාවක නියැළෙනවානම් නිතිපතා පුහුණූු විය යුතු ය. නමුත් පුහුණුවන්නේ ඉතා අඩුවෙන් නම් එහි ප්‍රතිඵලය ආතතියයි."

ආතතිය අද දවසේ අපට නිතර අසන්නට ලැබෙන වදනකි. මේ ආතතිය නිසා වර්තමානයේ බොහෝදෙනා පීඩා විඳීන බව අපි දනිමු. යම් කෙනෙක් ආතතියට පත් වෙන්නේ බාහිර ලෝකයේ සිදුවන සිදුවීමකට හෝ එම සිදුවීම නිසා සිතේ ඇතිවන සිතිවිලිවලට නිසි ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ විටය .

අද දවසේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන පිරිසගෙන් 60% වඩා වැඩි පිරිසක් ලෙඩ නිවාඩු ලබාගන්නේ ආතතිය නිසා ඇතිවූ ශාරිරික හා මානසික ව්‍යාකූලත්වය නිසා බව පර්යේෂණ මගින් සොයා ගෙන අත. ආතතිය නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැඩිවීමේ අවදානම වැඩි බවත්, සොයා ගෙන ඇත. එසේ නම් බාහිර ලෝකයේ සිදුවන සිදුවීම්වලින් අපේ ශාරිරික, මානසික සමතුලිතතාවය නොසැලී පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද?

මීට වසර 2500 ට පෙරදී බුදුරජාණන් වහන්සේ විසින් මේ සඳහා කදිම පිළිතුරක් ලබාදී තිබේ. මේ පිළිතුර ඇතුළත් දේශනාව කරණීය මෙත්ත සූත්‍රය නමින් හැඳින්වේ.

බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ හිමාලය ආසන්නයේ භාවනානුයෝගීව වැඩ විසූ පන්සියයක් භික්ෂූන් වහන්සේ අරභයා ය. රෑ දවල් දෙකෙහි අනලස්ව මහණදම් පුරන්නා වූ උන්වහන්සේගේ ශීල තේජස නිසා ගස්වල සිටි රුක් දෙවිවරුන්ට ඒවායේ විසිය නොහැකි විය. මේ නිසා භික්ෂූන් බිය ගන්වා පලවා හැරිය යුතු යැයි දෙවිවරු කතිකා කරගත්හ. භයානක යක් වෙස් වලින් පෙනී සිටින්නට වූහ, භයානක ශබ්ද කරන්නට වූහ, තද දුර්ගන්ධයක් ඇති කළහ. මේ නිසා භික්ෂූන් වහන්සේට තද හිසරදයක් ඇතිවිය. භාවනා කිරීම අපහසු විය. එක් දිනක් භික්ෂූන් වහන්සේ එක් රැස් වූ මොහොතක ඒ ඒ භික්ෂූන් දුබලව සිටිනු දැක ඒ ගැන විමසූහ. එවිට උන්වහන්සේ තමන් දුටු බියකරු දර්ශන, ශබ්ද ගැන පැවසූහ.

මේ ස්ථානයේ තවදුරටත් විසීම අපහසු නිසා වෙනත් සෙනසුනකට යාමට ප්‍රථම ඒ බව බුදුන්වහන්සේගෙන් විමසිය යුතු යැයි තීරණය කළහ. සැමදෙනා වහන්සේ සැවැත්නුවරට ගොස් මේ ගැන පැවසූහ.

එහිදී භික්ෂූන් වහන්සේට වෙනත් සෙනසුනකට නොයන ලෙසත් වදාළ බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය සූත්‍රය දේශනා කළහ. එය නිතර සජ්ඣායනා කරන ලෙසද ඒ අනුව භාවනා කරන ලෙසද වදාළහ.තථාගතයන් වහන්සේගේ අනුශාසනා පිළිපැදි භික්ෂූන් වහන්සේට ටික දිනක් යත්ම මේ භික්ෂූන් අපගේ යහපතට කැමැත්තෝයි සතුටුව දෙවිවරු ඇප උපස්ථාන කරන්නට වූහ. මෛත්‍රී භාවනාව වැඩු පන්සියයක් භික්ෂූන් වහන්සේ නොබෝ දිනකින් ම අරහත්වයට පත්වූහ.

කරණීය මෙත්ත සූත්‍රයේ ඇතුළත් දහම් කරුණු ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කර ගැනීමෙන් ‘ආතතිය’ සමනය කර ගන්නේ කෙසේදැයි විමසා බලමු.

සක්කෝ

දක්ෂතාවය නැතිනම් ශක්‍යතාවයයි. යම් කාර්යයක් ආතතියෙන් තොරව නිම කිරීමට ඒ සඳහා කුසලතා වර්ධනය කරගත යුතුය. නිපුණත්වයට පත්විය යුතුය. අප රැකියාවේ හෝ ක්‍රීඩාවක නියැලෙනවානම් නිතිපතා පුහුණුූ විය යුතුය. නමුත් පුහුණුවන්නේ ඉතා අඩුවෙන් නම් එහි ප්‍රතිඵලය ආතතියයි. මේ නිසා අප ශාරිරිකව හා මානසිකව අඩපණ වේ. ශිෂ්‍යයෙක් නම් නිසි පුහුණුවකින් තොරව විභාගවලට මුහුණදීමෙන් ඇතිවෙන්නේ මේ තත්ත්වයමයි. ආතතියෙන් මිදී ජීවිතය සාර්ථකව කරගැනීම සඳහා අප කළ යුතු මුල්ම දේ වන්නේ අප නියුතු කාර්යයෙහි නිපුණත්වයට පත්වීමයි.

උජූච

මෙහි සරල තේරුම ඍජුව කටයුතු කිරීමයි. යම් පුද්ගලයෙක් ඍජු වන්නේ කෙසේද? තම හිතට එකඟව අවංකව වැඩ කිරීමෙන් කෙනෙකුට ඍජු විය හැකි ය. යම් කෙනෙක් කියන දේ කරනවානම්, කරන දේ කියනවානම් ඔහු අවංක පුද්ගලයෙකි. කිසිදු හේතුවක් නිසාවත් තීරණය වෙනස් නොවිය යුතුය. යම් පොරොන්දුවක් වූ විට එය ඉටු කිරීමට නොහැකිවීම මහත් පීඩාවකි. පොරොන්දු ඉටු කිරීමෙන් ආතතියෙන් තොරව ජීවත් වීමට හැකි වනු ඇත.

සුජූච

වඩාත් ඍජුවීම මෙහි තේරුමයි. නායකයෙක්, ප්‍රධානියෙක්, සේවකයන්ගේ රටවැසියන්ගේ යහපත උදෙසා ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීම

සුවච

ශික්ෂාකාමීබවයි. නම්‍යශීලිබවයි. කීකරු බවයි. පංචශීලයෙහි පිහිටා කටයුතු කිරීම මේ සඳහා පහසුම මගයි.යම් අයෙක් පස්පවින් වළකින විට ඔහු ශික්ෂාකාමී පුද්ගලයෙක් වේ.එමෙන් ම ආතතියට පත්වීමේ අවස්ථාද අවම වන බව වටහාගන්න.

මූදු

මෘදු පුද්ගලයා කාරුණික වෙයි. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නා අයෙක් වූ විට බාහිර පරිසරයේ සිදුවන දෙයට හෝ පුද්ගලයන්ට ඔබ පීඩාවට පත් කිරීමට නොහැකි වනු ඇත. යම් පුද්ගලයෙක් මෘදු වූ විට අන් අය ඔහුගේ සෙවණ පතා ඔහු වටා රොක් වනු ඇත. පවුලක නම් බිරිඳ සැමියා දෙදෙනාටම මෘදු ගති තිබිය යුතුයි. එසේ නැති වු විටදී අඩන්තේට්ටම් , ගුටිබැට හුවමාරු , පවුල් ආරවුල් ඇතිවේ.

අනතිමානි

මෙහි තේරුම නිරහංකාරබවයි. තමන් ගැන අධි තක්සේරුවෙන් යුතුව කටයුතු කිරීමෙන් වැළකී සිටීමයි. අපට අප ගැන අභිමානයක් තිබිය යුතුයි. නමුත් එය අධිමානයක් හෝ අහංකාරයක් වූ විට අප ආතතියට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. ඔබේ වචනය හා හැඟීම් තුළින් අන් අය සතුටු කරන්න. එවිට ඔබේ නිහතමානි බව වර්ධනය වීමෙන් සිතට මහත් නිදහසක් දැනෙනු ඇත.

සන්තුස්සකෝ

මෙහි සිංහල තේරුම ලද දෙයින් සතුටු වීමයි. අපට සතුටින් ජීවත් වීමට අවශ්‍ය නම් ලද දෙයින් සතුටු වීමට පුරුදු පුහුණු විය යුතුය.අපි එදිනෙදා ජීවිතයේදී ගැටලු අභියෝග රැසකට මුහුණ දුන්නත් අඩුපාඩු තිබුණත් ශාරීරික, මානසික ගැටලු තිබුණත් සතුටු විය හැකි බොහෝ දේ අප ළඟ තිබෙන බව තේරුම් ගන්න. එවිට ආතතියෙන් තොරව හැකි ඉක්මනින් ගැටලු විසඳා ගනිමින් ඉලක්ක වෙත ගමන් කිරීමට අවශ්‍ය කායික, මානසික ශක්තිය ලැබෙනු ඇත.