Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය: බුද්ධත්වයෙන් පසු බරණැස ඉසිපතනයෙහි පැවැත් වු ප්‍රථම ධර්ම දේශනාව අවසානයෙහිදී ම දහම් ඇස පාදාගත් (ධම්ම චක්ඛුං උදපාදි) කොණ්ඩඤ්ඤ තව්සාණන්ට ‘එහි භික්ෂු’ භාවයෙන් ‘පැවිදි උපසම්පදාව‘ ප්‍රදානය කළ බුදුරජාණන් වහන්සේ බෞද්ධ ශ්‍රාවක ප්‍රථම භික්ෂු සංස්ථාව පිහිටු වූහ. මෙහි සඳහන් වන ‘එහි භික්ෂු’ භාව පැවිදි උපසම්පදාව යනුවෙන් සඳහන් කරන සංඝ කර්මය කුමක් ද?

පිළිතුර: බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් ධර්මදූත සේවයෙහි යෙදුණු ශ්‍රාවක භික්ෂූන්ගේ සහ පැවිද්ද අපේක්ෂා කළ නවකයන්ගේ පහසුව පිණිස තිසරණ ගත කිරීමෙන් පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම බුදුහිමියන් විසින් භික්ෂූන් වහන්සේලාට පවරා දෙන ලදී. බුදු බණ ඇසීමෙන් අනතුරුව පුරාකෘත පින් මහිමය මුහුකුරා ගිය අයකු බුදුරජාණන් වහන්සේ ‘මහණ මෙහි එව' යනුවෙන් ඇමැතීමෙන් පැවිදි උපසම්පදාව ලැබීම ඒහි භික්ෂූභාවය යි. මුල් යුගයෙහි දී බුදුරජාණන් වහන්සේ වෙතින් ම පැවිද්ද ලබාගත් ක්‍රමය මෙය යි. පසු කාලයේ දී ශ්‍රාවක ආධුනික පිරිස වැඩිවෙත් ම පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම සංඝයාවහන්සේට පවරා දෙන ලදී.

ප්‍රශ්නය: පරිසරය දූෂණය නොකිරීමත් පිරිසුදුකම ආරක්ෂා කර ගැනීමත් පමණක් නොව පරිසරය අලංකාර කිරීම හා වැඩිදියුණු කිරීමත් බුදුසමය අවධාරණය කරයි. සූත්‍රාගත දේශනා මගින් පැහැදිලි කරන්න.

පිළිතුර: වර්ෂාව හා ජලය මිනිසාට ප්‍රයෝජනවත් අයුරු ‘දේවතා සංයුත්තයේ’ පජ්ජෝත සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි.

චුට්ඨිං අලසං අනලසඤ්මාතා
මාතා පුත්තාච පොසති
චුට්ඨිං භුතුප ජීවන්ති යෙපාණා
පඨවිං සිතාති
(ස.නි.පජ්ජොත සූත්‍ර)

“වැස්ස අලස - අනලස දෙදෙනාම මව දරුවකු පෝෂණය කරන දයාවෙන් පෝෂණය කරයි. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත්නම් වැස්ස නිසා ජීවත් වෙති. ජලය දූෂණය කිරීම බලවත් වරදකි. ජලයෙහි මළ මුත්‍රා පහ කිරීම, කෙළ ගැසීම භික්ෂුවට දුක්කඨා පත්තියකි.

යො අනාදරියං පටිච්ච උදකෙ
අගිලානො උච්චාරං වා පස්සාවංවා
ඛෙලං වා කරොති ආපත්ති දුක්කස්ස”
පාචිත්තිය පාලි

ජලය පානීය ජලය සහ පරිභෝජනීය ජලය ලෙස කොටස් දෙකකට වෙන්කොට දක්වා ජලය අපිරිසුදු නොකොට පරිභෝජනය කළයුතු බව අනුදැන වදාළහ.

ප්‍රශ්නය: පරිසරය පිළිබඳව බුදුසමය අවධාරිත දේශනා වර්තමානිකයනට බෙහෙවින් ප්‍රායෝගික ය. බෞද්ධ අධ්‍යයනයෙහි දී විශේෂයෙන් ම දහම් පාසලේ ගුරු ශිෂ්‍ය දෙපිරිසම අවධානය යොමු කළ යුතු ය. වාතය (සුළඟ) දූෂණය වළක්වා ගැනීම සඳහා දේශනා පාඨයන්හි සඳහන් කරුණු පැහැදිලි කරන්න.

පිළිතුර: (චුල්ලවග්ග පාලි වත්තක්ඛන්ධ)

දෛනික ජීවිතයෙහි දී වාතය දුෂණයෙන් වළක්වා ගැනීම සඳහා ඉහත සඳහන් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. ඉදින් පෙරදිග වූ දූවිලි සහිත වාතයෝ හමත් නම් පෙරදිගට අයත් (වාබොන) ජනෙල් වැසිය යුතු, ඉදින් පැසීම් දිගට උතුරු දිගට දකුණු දිගට, උණුසුම් කාලයක නම් (වාකවුළු) ජනෙල් වසා තබා රාත්‍රී විවෘත කළ යුතු ය. ශීත කාලය වී නම් රාත්‍රිය ද වසා තැබිය යුතුය. දවල් විවෘත කළ යුතු ය. නිවහන සහ වටාපිටාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව මෙසේ සඳහන් වෙයි. ඉඳින් පිරිවෙන (විහාර ප්‍රාකාර අතර පෙදෙස) කැලි කසළ සහිත වී නම් එය නැමැදිය යුතුය. එසේම දොර කොටුව, උවටැන්හල, ගිනිහල, වැසිකිළිය ඉදින් පැන් නොවී නම් පැන් එලවා තැබිය යුතු ය. වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය බහාලන භාජනයෙහි ජලය නොවේ නම් එහි ජලය පුරවාලිය යුතු ය.

ප්‍රශ්නය: සුජාත ජාතක කතාව සුමනා නම් සිටු දියණිය අරභයා දේශනා කොට වදාළ ජාතක කතාවකි. විවාහය පිළිබඳ පමණක් සලකා භාර්යාවකගේ වර්ගීකරණයක් මෙම ජාතක කතාවට ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර: භාර්යාවෝ සත් දෙනෙකි.

1. වධක භාර්යාව - (ස්වාමි සේවක අසල්වැසි සියලු දෙනාට කරදර ගෙන දෙන දෙන්නාවූ)

2.චොර භාර්යාව - (ස්වාමියා උපයන වස්තුව විනාශ කරයි)

3. ආරිය භාර්යාව - (ස්වාමියා අවමානයට ලක් කරන භාර්යාව)

4. මාතු භාර්යා - (ආදරණීය බව සියලු දෙනා වෙත පවත්වා තම එකම පුතු ආරක්ෂා කරන මවක් මෙන් සිටින භාර්යාව ය.)

5. භගිනි භාර්යාව - (සැමියට සොහොයුරියක ලෙස දයාවෙන් සලකන භාර්යාව යි)

6. සඛී භාර්යාව - (ස්වාමියාට මිත්‍ර ස්නේහයෙන් කටයුතු කරන භාර්යාව යි)

7. දාසි භාර්යාව - (සන්සුන් සිත් ඇති සැමියාගේ වදනට කීකරු බිරිය දාසි භාර්යාව ය.)

මෙයින් – මාතු – භගිනී සහ දාසී යන භාර්යාවන් මරණින් මතු දෙව්ලොව උපදනා යහපත් භාර්යාවන් බව බෞද්ධ සාහිත්‍යයෙහි එයි.