Print this Article


සීහළවත්ථු කතා: ගල් කණුවක් වැනිපේ‍්‍රතයෙක්

සීහළවත්ථු කතා:

ගල් කණුවක් වැනිපේ‍්‍රතයෙක්

ඈත අතීතයේ හෙළදිව විසූ භික්ෂූන් වහන්සේ පිරිසක් මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම සඳහා පිටත් වූහ. මහාකොණ්ඩ තොටින් නැව් නැග කාවේරි පටුනෙන් ගොඩ බැස්ස හ. පිළිවෙළින් ගම් නියම්ගම්, නුවර ඉක්මවා මහ වනය තෙක් පැමිණිය හ.

සිදුවූයේ නො සිතූ දෙයකි. උන්වහන්සේලා මහා වනයේ දී මං මුළා වූහ. ඒ මේ අත මංමාවත් විමසා බලද්දී දුටුවේ ඇත් රැළක් ගමන් කරන මගකි. ඒ මඟ ඔස්සේ ගව් කීපයක් ඉදිරියට වැඩියහ. එක් ස්ථානයක දී දුටුවේ ශරීරයෙන් අඩක් ගලක ගිලී සිටි පුද්ගලයෙකු ය. මේ වනයේ මිනිසෙකු සිටින්නේ යැයි සතුටට පත්ව නායක තෙරුණුවෝ ඔහු වෙත ගොස් මෙසේ විමසූහ.

"පින්වත, අපි සත් දිනක් තිස්සේ මංමුළාව සිටින්නෙමු. ඔය ගල මැද සිටගෙන ම ගමට යා හැකි මාර්ගයක් කිව මැනව"

ස"්වාමිනි, ඔබවහන්සේ සත් දිනක් පමණක් මංමුළා වී ඇත. නමුත්, මම බුද්ධාන්තර තුනක් මුළුල්ලේ මංමුළා වී සිටිමි".

"මිත්‍රය, මෙතෙක් දීර්ඝ කාලයක් නුඹ මංමුළා වූයේ කුමක් හෙයින් ද? නුඹ කවරෙක් ද? පෙර කිනම් අකුසලයක් නිසා මෙසේ මංමුළා වී සිටී ද?"

"ස්වාමිනි, මම පේ‍්‍රතයෙක් වෙමි. කකුසඳ බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොව ඉපදී ඒ මිනිසත් බවින් ප්‍රයෝජනයක් නො ගත් අයෙකි. මරණින් මතු මට හිමි වූයේ පේ‍්‍රත ලෝකය යි."

"ස්වාමිනි, යොදුන් සතරක් දිග මේ ගල් පර්වතය යටට ගිලී ඇත. මුදුනෙහි උඩට මෙසේ පෙනේ. ලොවට අනුකම්පා ඇති ව පහළ වූ බුදුරජාණන් වහන්සේලා සතර නමක් ලොව පහළ වුවද මා විසින් කළ පාපයේ විපාක නම් ගෙවුණේ නැත."

"පේ‍්‍රතය, බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන කාලයත් උන්වහන්සේලා පිරිනිවනට වඩින කාලයත් නුඹට කියන්නේ කවරෙක් ද? එය දැන ගන්නේ කෙසේ ද? "

"ස්වාමිනි, ඒ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා විටත්, මව්කුසින් බිහිවන විටත්, උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්ව දම්සක් දෙසුම පවත්වන විටත් උන්වහන්සේ ලොවට සෙත සළසා, ආයු සංස්කාරය අත්හැර පිරිනිවනට වඩින විටත් බොහෝ විශ්මය ජනක දේ සිදුවේ."

"පේ‍්‍රතය, ඒ විශ්මය ජනක දේ කවරෙක් ද?"

"ස්වාමිනි, අහසෙහි, ගල් මුදුන්වලත්, පොළොවෙහිත් මල් පිපෙයි. ඒවා දුටුවිට මම කරුණු දැන ගන්නෙමි. කාලයකට පසු ඒ පියුම් මැළවෙත් ද, උන්වහන්සේ පිරිනිවන් පා ඇති බව මම දැන ගන්නෙමි."

"පේ‍්‍රතය, මෙසේ ඉතා කටුක වූ දුක් වේදනා අවුරුදු දහස් ගණනක් නුඹ විඳියි. ඉතිං මේ සා දුකක් විඳීමට කවරනම් අකුසලයක් මිනිස් ලොව දී කළේ ද?"

"වත් ස්වාමිනි, අතීතයේ වැඩ සිටි කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලයේ දී සංඝයාට අයත් කුඹුරක් අසලම මගේ කුඹුර ද පිහිටා තිබුණි. සීසාන කාලයේ දී මම මගේ කුඹුරේ ගල් කණුව උදුරා ටිකක් එහාට වෙන්නට සිට වූයෙමි. මෙසේ සංඝ රත්නය සන්තක කුඹුරෙන් කොටසක් ම මා අයිති කර ගත්තේ ය. උන්වහන්සේලා ඒ ගැන මගෙන් විමසීමක් කළේ නැත. එදා මා සිතුවේ දිනුවා කියා ය. නමුත් කර්ම විපාකය අද මම තනිවම ගෙවමි. මිනිස් ලොවෙන් කලුරිය කළ මම මේ ගල උඩ පේ‍්‍රතයකු සේ උපන්නෙමි. උපන් දා සිට මට සෙළවීමක් නො මැත. අනෙක් අවශ්‍යතා ගැන කවර කතා ද? ස්වාමිනි, කර්මය නම් මහ පුදුම දෙයකි. එහි විපාකය ඒ ආකාරයෙන් ම විපාක දෙන ආකාරය බලනු මැන."

"ස්වාමිනි, ඔබවහන්සේ කා වෙනුවෙන් පැවිදි වූයේ ද? කාගේ ශ්‍රාවකයෝ ද?"

"පේ‍්‍රතය ගෝත්‍රයෙන් ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කොට සියලු කෙලෙස් බිඳ දමා මාරයා පරාජය කොට බුදු වූ සේක. අප උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු."

"අනේ ස්වාමිනි ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ ද? උන්වහන්සේගේ ශාසනය බබළන කාලයේ මම අවීචි නරකයේ ඉපදීමට නියමිත ය. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා බොහෝ කාලයක් ගෙවී ඇත.පේ‍්‍රත ලෝකයේ බොහෝ දුක් අනුභව කරන මට ඉක්ම ගිය වසර මෙ තෙකැයි ගණන් කළ නොහැක. ඉතිරි විපාකය අවීචි නරකයෙහි බොහෝ දුක් ගෙවීමට නියමිත ය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් මා විසින් රැස්කරගත් විපාක ගෙවීම බොහෝ දුෂ්කර ය. එබැවින් නුවණැත්තා ප්‍රමාදයත්, ලෝභයත් දුරුකොට බොහෝ සැප විපාක ලබයි."