Print this Article


සැනසීම ගැන තමන් ම විමසා බලන්න

සැනසීම ගැන තමන් ම විමසා බලන්න

හොඳ හා නරක තීරණය කිරීම විවිධාකාර ය. කෙනෙකුට හොඳ දේ තව කෙනකුට නරක ය. කෙනෙකුට නරක දේ තවකෙනකුට හොඳ ය. මුලින් හොඳ යැයි පිළිගත් දේ පසුවට නරක ය. එසේත් නැති නම් නරකයැයි මගහළ දේ පසුවට හොඳ ය.

හොඳ නරක තීරණයෙහි ලා බොහෝ විට අප මෙහෙයවන්නේ දැනුම, උගත්කම, අත්දැකීම්, සමාජ පිළිගැනීම්, ආගමික ඉගැන්වීම් සහ සංස්කෘතිය වැනි සාධක ය. තවත් අතකින් රටින් රටට, ජාතියෙන් ජාතියට, ආගමෙන් ආගමට, සමාජයෙන් සමාජයට හොඳ නරක පිළිබඳ ව දැක්ම විවිධ ය.

පුද්ගල වශයෙන් ළමා, තරුණ, වැඩිහිටි, මහලු වයස් මට්ටම්වල දී හොඳ, නරක මිණුම් ක්‍රම වෙනස් වේ. තරුණ වියේ යහපත් යැයි අල්ලා ගන්නා දේ මහලු වූ කළ අයහපත් ලෙස දකී. මේ කවර ආකාරයකින් බැලූව ද සමාජයේ වැඩි දෙනා හොඳ යැයි පිළිගන්නා දේ පිළිගන්නට බොහෝ දෙනා සූදානම් ය.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව හොඳ, නරක තීරණය කළ යුතු වන්නේ තමන්ම ය. අන් අය කීවත්, කවර බලපෑමක් ආවත් ඒ අනුව පරාදීන නොවී තමන්ගේ අවබෝධය හා තේරුම් ගැනීම මත හොඳ නරක, තීරණය කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ. අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයට, අනුව හොඳ, නරක තීරණය කළ යුතු වන්නේ යම් දෙයක ප්‍රතිඵලය දෙස බැලීමෙනි. තමන්ගේ අයහපත පිණිස වේ නම්, අන්‍යයන්ගේ ද අයහපත පිණිස වේ නම්, දෙපාර්ශ්වයටම අයහපතක් වේ නම්, එය හොඳ දෙයක් නොවේ.

යම් දෙයක ඵලය තමන්ගේ යහපතට, අනුන්ගේ ද යහපතට, එනම් දෙපාර්ශ්වයේ ම යහපතට පවතී ද, එය කළ යුතු හොඳ දෙයකි. හොඳ ,නරක නිරාකරණය කරනු ලබන මෙම මිණුම් දණ්ඩ මේ ලොව වෙනත් කිසිම ආගමක, දර්ශනයක හෝ චින්තනයක ඉදිරිපත් කර නැත. කිසිවෙකුගේ බලපෑමක් නැතිව, ස්වාධීනව සිතා යහපත, අයහපත තීරණය කිරීමේ බලය එම පුද්ගලයා සතුකර, ඔහු වෙත ම වගකීම පවරා තිබීම මොන තරම් වටිනා මානුෂික අයිතිවාසිකමක් දැයි සිතා බලන්න. එය ඕනෑම මිනිස් ප්‍රජාවකට සාධාරණ මිණුමක් ලෙස පිළිගන්නට සිදුවේ. එය, සමාජය තුළ ඇතිවන ප්‍රශ්න, ගැටුම්, සාමය, සමගිය වර්ධනය කරන වටිනා ක්‍රමවේදයක් බවට ඕනෑම කෙනකුට එකඟවිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ යමක් කළ පසු එයින් පසුතැවීමට පත්වේ නම් එය කිරීම සුදුසු නැති බවත්, යමක් කළ පසු එහි ප්‍රතිඵලය සතුටින් භුක්ති විඳිය හැකි නම් එය කිරීම සුදුසු බවත් ය. මේ පණිවුඩය සමාජයට ඉතා වැදගත් ය. පුද්ගලයා කළ යුතු, නොකළ යුතු දේ තෝරා බේරා ගැනීමේදී තමන් ගැනත් සිතන, අනුන් ගැනත් සිතන මෙලොව, පරලොව සැනසීම ලබාදෙන මේ දැක්ම මොනතරම් වැදගත්දැයි සිතා බලන්න. එය අපගේ ඉදිරි සැප හෝ දුක තෝරා බේරා ගැනීමේ අවස්ථාවකි.

යම් දෙයක ප්‍රතිඵලය එහි ස්වරූපය අනුවම ය. අඹ ඇටයක් සිටුවූයේ නම්, එයින් අඹ පැළයක් ලබාදෙයි. පැළ කළ බීජයට අනුව ඵලය ලැබෙනු ඇත. මෙම හේතුඵල න්‍යාය පදනම් කරගෙන හොඳ දෙයින් හොඳ ප්‍රතිඵලත්, නරක දෙයින් නරක ප්‍රතිඵලත් ලැබේ. මෙය කිසදු අන්‍ය බලපෑමකින් තොරව, ස්වභාවික ව ලෝක ධර්මතාවය අනුව සිදුවන්නකි. තමන් විසින් තමන්ගේ ම සිරුරට පහරක් ගැසුවේ නම් රිදුම තමන්ටමය. වෙනත් කෙනෙකුට පහර දුන්නේ නම්, බැණ වැදුණේ නම්, මරණයට පත් කළේ නම් ඒ විපාකය ද තමන්ට ය. එක්කෝ සිරගෙදර, එසේත් නැතිනම් මරණීය දණ්ඩනය හිමි වන්නට පුළුවන. එය මෙලොව ප්‍රතිඵලයන් ය.

සිතෙහි උපදින ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වැනි සිතිවිලි මෙලොවත් පීඩනයට පත් කරමින් පරලොවද දුක්ඛදායක කරයි. අනුන්ගේ දියුණුව, සුව පහසුව, සැනසිල්ල ගැන සිතා යම් සත්කාරයක් කළ හැකි නම් එය දෙලොවටම වැඩදායක ය. ආර්ථික අපහසුතා ඇති අසරණ රෝගීන්, ඉගෙනීමේ දක්ෂතා ඇතත් ආර්ථික අපහසුතා ඇති දරුවන් කොපමණ සිටිනවා ද? ඔවුන් වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කරන්නට පුළුවන. ධනය නැති වුව ශ්‍රමය පරිත්‍යාග කළ හැකි අවස්ථා ද ඇත. ගමට පාරක්, අසරණයෙකුට නිවහනක් සදන්නට, ශ්‍රමදානයකට, තව කෙනකුගේ යහපතට තමන්ගේ වටිනා ශ්‍රමය දානය කරන්නට පුළුවන.

‘මිනිස්’ නාමයෙන් උපත ලද අපි සැනසිලිදායක, සුවදායක ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. එහි මූලිකම දේ සමාජයට අහිතකරවන දෙයින් වෙන්වීම ය. හොඳ දේ ම කිරීම ය, එයින් ලැබෙන ප්‍රතිඵලය ප්‍රසන්න මනසයි. නිතර හොඳ දේ කර සතුටු වන්නට උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට මඟ පෙන්වන හොඳ පොතක් කියවන්න. දැනුම් සම්භාරයක්, අත්දැකීම් සමුදායක් ඇති පුවත්පතක්, සඟරාවක්, කියවන්න. තමන් පීඩාවට පත්කරන, ඍණාත්මක සිතිවිලි ඇති කරන කියවීම්වලින් වළකින්න.

බෞද්ධයන් ලෙස තමන්ගේ ශාස්තෘන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ගැන සුළු වේලාවක් හෝ මෙනෙහි කරන්න. තෙරුවන් ගුණ සිහිපත් කිරීම, දහම් පණිඩුවයක් මෙනෙහි කිරීම ජීවිතය සැහැල්ලු කරගැනීමට මහත් ශක්තියකි. දවසකට තත්ත්පර අසූ හය දහස් හාර සියයක කාලයක් අපට ඇත. එයින් තත්ත්පර දහසක් ආගමික සිතිවිලි වෙනුවෙන් වෙන්කළ නො හැකි ද?

මෛත්‍රී, කරුණා, මුදිතා , උපේක්ඛා ගුණ ප්‍රගුණ කරන්න. ප්‍රායෝගිකව ජීවිතයට එක් කර ගන්න. එය ජීවන පැවැත්ම මොනතරම් සැනසිලිදායක වනු දැයි තමන්ම විමසා බලන්න.