Print this Article


දැවෙන සිත් නිවාලූ අමා දම් සිසිලස

දැවෙන සිත් නිවාලූ අමා දම් සිසිලස

පසුගිය 31වැනිදා පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේගේ මඟ පෙන්වීමෙන් අමාවතුර මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමින් වහන්සේලා සහ තරුණ පිරිස කාලයකින් දැකගත නොහැකි අපූර් වූ අසිරිමත් පින්කමක් සංවිධානය කොට තිබුණි. ඒ වැලිකඩ බන්ධනාගාරයේ දී සිරකරුවන් වෙනුවෙනි.

වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න මහතා පවසන්නේ බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳින තුන් දහසකට ආසන්න පිරිසක් සිටින බවත්, ඔවුන්ගෙන් දෙසිය පනහකට ආසන්න ප්‍රමාණයක් මරණීය දඬුවම හිමි වූ අය වන බවත් ය. ඉන් සමහර දෙනා අභියාචනා ඉදිරිපත් කර ඇති අතර, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින පිරිසක් ඒ අතර වෙන බව ය.

බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ මේ අසිරිමත් පින්කම බන්ධනාගාර කොමසාරිස් නිශාන් ධනසිංහ, වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක, බන්ධනාගාර නියාමක එච්. ඒ. ජානක, පුනරුත්ථාපන නිලධාරි ඒ. වී. යූ. කේ. රත්නායක, පුනරුත්ථාපන නිලධාරී ඩබ්. ඩී. එල්. ගුණසේකර සහ තවත් නිලධාරීන්ගේ කැප කිරීම සහ සහභාගිත්වය ද එකී පින්කමේ සාර්ථකත්වයට හේතුවිය.

මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ එදින සුවිශේෂි දිනයක් වන්නේ කරුණු කිහිපයක් මුල් කරගෙන ය. ඒ ඔවුන්ට ප්‍රණීත ආහාර වේලක් ලබාදීම, ඔවුන් ගේ සිත් ධර්මයෙන් සනසාලීමත්, ඔවුන්ගේ ජීවිතයේ ඇති බොහෝ ගැටලුවලට ධර්මයෙන් අවවාද ලබාදීමත් යන කරුණු මුල් කරගෙන ය.

රැඳවියන් කිහිප දෙනෙකු සමඟ අපි කෙටි කතාබහකට ද එක්වීමු.මගේ වයස අවුරුදු 36 යි. මම මරණීය දඬුවමට යටත්. ඒ අතර අවුරුදු 56 ක සිර දඬුවමක් විඳිනවා.දැනට මම බන්ධනාගාර ගතවෙලා වසර 6 ක් වෙනවා. අපි යම් යම් වැරැදි කළා. එදා අකුසලයේ විපාක තේරුණා නම් ඒ වැරැද්ද බොහෝ විට නො කර ඉන්න තිබුණා. නමුත් බන්ධනාගාරය තුළ ටික කලක් ජීවත් වෙනකොට යා යුතු රටාව මට තේරුණා. පසුගිය 31 වැනිදා අපේ ජීවීත බොහෝ සේ වෙනස් වුණා. එළියේ වැරැදි කරලා හිර ගෙදර ඇවිත් ආයෙත් වැරැදි කිරීමේ තේරුමක් නැහැ. ඒක ජීවිතයේ වෙනසක් නොවේ. අපේ හාමුදුරුවන් වහන්සේලා අපට වුණ දේ ගැන පසු නො තැවී ඉදිරියට පසු තැවෙන දේ නො කර ඉන්න හැටි කියා දුන්නා.

අනතුරුව අපට මුණ ගැසුණ පුද්ගලයා බන්ධනාගාරය තුළ බොහෝ සාමකාමී ය. ධර්මානුකූල හැසිරීමෙන් යුතුය. කුඩා අවධියේ ඉඳල තිබුණ ප්‍රශ්නයක් එක් දිනකදී පුපුරා ගියා. ඒ නිසයි මම අද රැඳවියෙක් ලෙස ජීවත් වෙන්නේ. පසුගිය 31 වැනිදා මේ බන්ධනාගාරය තුළ විශාල සීල සමාදාන පින්කමක් පැවැත්වූවා. විශාල වේදිකාවක් නිර්මාණය කර, එය බොහෝ සුන්දරව සරසා එතැනට බුද්ධ ප්‍රතිමා වහන්සේත් වඩමවා තිබුණා. එය දුටු ගමන් මගේ හිත පැහැදුණා. ඊට පස්සේ මහ සඟ රුවන වඩින ආකාරය බලාගෙන ඉන්න බැරි තරම් සතුටුයි. මහා හඬින් අපි සාදු කිව්වා. ඒ හිතට නැඟුන මහා සතුට නිසාම යි.

මම දැන් අවුරුදු 12 ආසන්න කාලයක් මෙහි රැඳී සිටිනවා. මට මරණ දඬුවම හිමියි. මේ අවුරුදු ගණනාවට ම මම මෙවැනි පින්කමක් දුටුවේ එදායි. මම බන්ධනාගාරගත වීමට පෙර ඉහළ පෙළේ රැකිියාවක් කළේ. නමුත් නො සිතු ලෙස වරදක් වුණා. එයට දඬුවමක් ලැබුණා. මගේ හිත හදාගන්න මට බුදුදහම හුඟාක් උපකාර වුණා.

උදේ දවල් බොහෝම වටිනා ප්‍රණීත ආහාර වේලක් අපට ලැබුණා. සිර ගෙදරට ආවටම පස්සේ ආප්ප, අයිස්ක්‍රීම්, චීස්, රොටි, ප්‍රයිඩ්රයිස් කෑවා. මම හිතන්නේ මෙවැනි ප්‍රණීත ආහාර වේලක් දුන්නේ සිරකරුවන්ට නොවේ. එදා අටසිල් සමාදන් වූ පිරිසකට යි. මට බන්ධනාගාර නිලධාරින්ගෙන් දැන ගන්න ලැබුණේ වැලිකඩ බන්ධනාගාර ඉතිහාසය පුරාවට ම පළමු වරටයි මෙතරම් ප්‍රණීත ආහාර වේලක් සහ දවස පුරා මෙතරම් මානසික වර්ධනයක් ඇති කරන වැඩසටහනක් පැවැත්වුණේ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ දේශනාවේ ඉතාමත් සුන්දර වචන කිහිපයක් තිබුණා. වරදක් කර හෝ නො කර අපි සමාජයෙන් ගැරහුම් ලබනවා. ඒක ලෝකයේ හැටි. ඔබ ලෝකයෙන් සාධාරණය, අසාධාරණය, වැරැද්ද, නිවැරැද්ද හොයන්න යන්න එපා. ඔබ කවුද? කරන්නේ මොනවාද? කියලා පමණක් සොයන්න මහන්සි ගන්න කිව්වා.

මේ කතාකරන රැඳවියා දැන් ජීවිතය ජයගැනීමට සූදානම් ය. මම බන්ධනාගාරගත වෙලා අවුරුදු 12 ක් වෙනවා. විවාහකයි. දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. මරණ දඬුවම ලැබුණට පස්සේ බිරිඳ මගෙන් වෙන් වුණා. අවුරුදු 12ට ම මම දරුවන් දැක නැහැ. ඒ අය මාව බලන්න එන්නෙත් නැහැ. මගේ නැන්දා විතරයි මාව බලන්න එන්නේ. මම දැන් හිත හදාගෙන ඉන්නේ. ජීවිතේ මොකක්ද කියා මට දැන් තේරෙනවා. මම සෑහෙන වැරැදි කළ කෙනෙක්. මගේ ජීවිත කාලයට ම සිල් වැඩසටහනකට සහභාගි වුණේ පසුගිය 31 වැනිදා. මට මරණ දඬුවම නියම වෙලා තිබෙන්නේ. මම බන්ධනාගාරගත වුණේ වැරැදි කරලයි. මම පන්සිල් පද පහවත් දැනගෙන සිටි කෙනෙක් නොවේ. ඒත් බන්ධනාගාරයෙන් පුනරුත්ථාපන වැඩසටහන්වලට සහභාගි වෙලා ජීවිතේ යහපත් පැත්තට යොමු කරගෙන යනවා. ඉස්සර මම එනකොට මිනිස්සු මාව ප්‍රතික්ෂේප කළා. අද ඒ තත්ත්වය බොහෝ ම වෙනස් වෙලා. මට ඒ ගැන සතුටුයි.

නොමඟ ගිය මොහු ද නැවතුණේ සිපිරි ගෙදර ය. මේ ඔහුගේ කතාව ය.මගේ වයස අවුරුදු 36. මම බන්ධනාගාරගත වෙලා තවම මාස 05 යි. මරණීය දණ්ඩනය නියම වී තිබෙනවා. එදා නියෝගය දුන්න අවස්ථාවේ දී මට දැනුනේ සියල්ලම අහිමි වුණා වගෙයි. සෑම බ්‍රහස්පතින්දා දවසකට ම උදේ වරුවේ මහමෙවුනා අසපුවෙන් වඩින ස්වාමින්වහන්සේගේ වැඩසටහනට මම සම්බන්ධ වෙනවා. ඒ ධර්ම පන්තිය නිසා මගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදුවුණා. 31 පැවති වැඩසටහනේ දී බන්ධනාගාරයේ ඉන්න බවක් අපට දැනුණේ නැහැ. එදා ලැබුණ ප්‍රණීත ආහාර වේලට අපි ණයකාරයෙක් වෙන්න හොඳ නැතිබවයි මට හිතෙන්නේ. එදා දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. උන්වහන්සේලා වදාළා මෙය ආශ්චර්යයක්. ඔබ ධර්මයේ හැසිරෙන්න. ධර්මය අහන්න. ඒක විඳින්න කියලා. මම දැන් ධර්ම රසය විඳින කෙනෙක්.

මේ රැඳවියාට ද කොතැනක හෝ වැරදී තිබේ.මගේ ජීවිතය ගුරුවරයෙක් ලෙසයි පටන් ගත්තේ. මම රැකියා අටක් කළා. ඊට අමතරව ටියුෂන් ගුරුවරයෙක් ලෙස බොහෝ කල් සේවය කළා. මම බන්ධනාගාරගත වෙලා වසර 2 1/2ක් වෙනවා. වයස 47 යි. අභියාචනා නඩුව විභාගයට ගනිමින් තිබෙන්නේ. මම මෙහි සිට කැලණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විෂය යටතේ ශාස්ත්‍රපති උපාධිය කරනවා. මගේ ජීවිතය සම්පූර්ණයෙන් ම වෙනස් කළේ බන්ධනාගාරය තුළ පැවැත්වෙන දහම් පන්තිය යි. පසුගිය 31 වැනිදා මෙහි පැවැත්වූයේ සම්ප්‍රදායක වැඩසටහනක් නොවේ කියන එකයි මගේ හැඟීම. බන්ධනාගාරය තුළ දහම් පාසලක් පැවැත්වෙනවා. අපි පසුගිය වසරේ දහම් පාසල් අවසාන විභාගයට 20 දෙනෙක් පෙනී සිටියා. ඉතිහාසයේ පළමු වතාවට එයින් 19 දෙනෙක් සමත් වුණා.

මාලඹේ අමාවතුර මහමෙවුනා භාවනා අසපුවේ තාවතිංස යාත්‍රා සංවිධානය මඟින් පසුගිය 31 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ පැවැති සීල සමාදාන පින්කමෙන් පසු එහි ගොස් නැවත කළ සමාලෝචනයෙන් පසු සැකසූවකි.