Print this Article


පිරිත් දේශනාව: පිරිතේ සිරිත්

පිරිතේ සිරිත්

තුන්තිස්පෑ පිරිත

සිංහල පැය ක්‍රමයට තිස් පැයක් යනු දවසේ ඉංග්‍රීසි පැය ක්‍රමයත් සමග සසඳන කල පැය දොළසකි. තුන්තිස්පැයේ පිරිතක් යනු රාත්‍රී දෙකක් සහ එක දහවලක් අයත් වන සේ දේශනා කරන පිරිතයි. සිංහල පැය ක්‍රමයට අනුව පැය අනූවක් ඉංග්‍රීසි ක්‍රමයට අනුව පැය තිස්හයක් සාමාන්‍යයෙන් ගණන් ගනු ලබයි.

විහාරස්ථානයක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකර නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය, වෙහෙර වහන්සේ නමක් ඉදිකර ගර්භ නිධාන පින්කම සිද්ධ කිරීම, කොත් වහන්සේ නිරාවරණය කිරීම වැනි සුවිශේෂී ආගමික අවස්ථාවල දී පවත්වනු ලබයි.

පිරිත් මණ්ඩපය සහ චාරිත්‍ර විධි

පිරිත් මණ්ඩපය – වරු පිරිත්වල දී හැර තිස්පැයේ සිට හත් දවස දක්වා පවත්වන පිරිත් දේශනාවල දී අනිවාර්යයෙන් ම පිරිත් මණ්ඩපයක් සාදනු ලබයි. පිරිත් මණ්ඩපයේ ආකෘතිය අටපට්ටම් හෝ හතරැස් විය හැකි ය.

මණ්ඩපයේ උඩු වියන් බැඳ, නූල් ඇද, නා දලු, නාගවල්ලි, බුලත් කිනිති, පුවක් මල්, වැනි දේ එල්ලා විසිතුරු ලෙස සරසයි. ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව, පිරිත් පොත් වහන්සේ, පිරිත් පැන් කලය සම්බන්ධ වන පරිදි පිරිත් හුයත්, පිරිත් නූලත් ගැට ගැසිය යුතු ය. ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ දී අනෙක් සියල්ලට ම වඩා උසින් තැන්පත් කරයි. පිරිත් මණ්ඩපයේ එක් දොරටුවක් පමණක් තබයි. දොරටුව නැගෙනහිර දෙසට මුහුණ ලා සකස් කිරීම පිළිගත් චාරිත්‍රයකි. ඉඩකඩ අනුව ඇතැම් විට දකුණු දිශාවට ද, දොරටුව තබති. ඉන්ද්‍රඛීලය හෙවත් රාජගහ ඒ ඒ පළාත්වලට අනුව සකස් කිරීම හෝ නොකිරීම කරයි. භික්ෂූන් වහන්සේ දොළොස් නමකට ආසන පැනවීම සාමාන්‍ය සිරිතයි.

ඉන්ද්‍රඛීලය – රාජගහ නමින් මෙන් ම කපගහ නමින් ද හඳුන්වයි. පිරිත් මණ්ඩපය තුළ සුවිශේෂී වැදගත්කමක් ගන්නා නිර්මාණයකි. යුග පුටු දෙක සම්බන්ධ කර එයට පිටුපසින් හරි මැද සවිකරන ලද විශේෂ කණුවකි. අතීතයේ දී ඉන්ද්‍රඛීලය සඳහා භාවිතයට ගෙන ඇත්තේ කඳ පැළවෙන ගසකි. වර්තමානයේ දී බොහෝ දුරට පුවක් ගසක් ඒ සඳහා යොදා ගනී.

ඉන්ද්‍රඛීලය විශේෂ තේරුමක් හා වගකීමක් ඇතිව නිශ්චිත රටාවකට පිළියෙල කර ගනී. සුළි සුළං, කුණාටු වැනි ස්වභාවික විපතකින් හෝ සාමාන්‍ය උත්සාහයකින් හෝ කම්පා කළ නොහැකි ස්ථම්භය (කණුව) ඉන්ද්‍රඛීලය නමින් හඳුන්වයි. ඉන්ද්‍ර යන නාමය ශක්‍රයාට සමාන පදයකි. ඛීල යන්න ටැඹ යන තේරුම වේ. ඒ අනුව ප්‍රධාන කණුව යන අදහස ගම්‍ය කරයි.

අලුත් සුදු වස්ත්‍රයක් ගෙන එමගින් යුග පුටුවේ සිට එකකට එකක් කුඩා වන සේ රැළි පට හතක් යොදයි. සත් සමුදුර එයින් අදහස් කරයි. එතැන් සිට කණුවේ ප්‍රමාණයෙන් ආරම්භ වන අඟල් 6ක් තරම් උඩට කේතුවක් තනයි. එහි බඳේ සිට යළි කණුවේ ප්‍රමාණයට කුඩාවන තවත් කේතුවක් තනයි. මෙය සමාන විෂ්කම්භය ඇති කිරිගොටු දෙකක් මූණත එකක් කළා වැන්න. ඉන් යට කොටස කුමේරුවත් ඒ මතු කොටස සුමේරුවත් සංකේතවත් කරයි. ඒ තැන මුදුනේ විචිත්‍ර ලෙස සකස් කළ රැළි තුනෙන් පසු විජිනිපතක් සේ සකස් කළ සම්පූර්ණ වෘත්තයකි. මේ වෘත්තයේ කණුව මුදුනේ සිට විහිදෙන පොටවල් විසිහතරක් තනයි. ඒ සුවිසි තෙරුවන් ගුණ සංකේතවත් කිරීමයි. ඉන්ද්‍රඛීලය ශක්‍රයාගේ වජ්‍රායුධය සංකේතවත් කරන්නේ යැයි ද, එම ආකෘතියට අනුව තැනිය යුතු යැයි ද කියති.

අතීතයේ පැළවෙන වෘක්ෂයක අත්තක් ඉන්ද්‍රඛීලය ලෙස භාවිත කළ නිසා පිරිත් දේශනාව අවසානයේ එය රෝපණය කළ බවට අදහස් පවතී.