UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිල්වතුන් දුසිල්වතුන් කරන අඥාන ඇසුර

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව -අංක 13:

සිල්වතුන් දුසිල්වතුන් කරන අඥාන ඇසුර

" මනුෂ්‍ය ආත්මයක් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා බැලීමත්, කතා කිරීමත්, ඇසීමත් විශේෂයෙන් වැදගත් වෙයි. ඒ කරුණු තුන ම නොව එක් කරුණක් නැති වුවත් සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් පවත්වාගෙන යාම අපහසු ය. කෙනෙකුගේ ජීවිතයක අඟ පසඟ අඩුව පැවතීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අතීතයෙහි කරන ලද අකුසල කර්මයන් ය.

දද මිනිසුන් බස් ගෙන කිසි කලෙක ය
තද අකුසල් කොට කුසලින් වැළක ය
අඳ ගොලු බිහිරිව ලදුවත් මේ ක ය
මද පිනකුත් නො පිරෙයි බල නිසැක ය

ලෝවැඩ සඟරාවෙහි සඳහන් මෙම කවිය අපේ ජීවිතය මැනවින් පවත්වාගෙන යෑමට වැදගත් අදහසක් ඉදිරිපත් කොට ඇත. සමහර කාලයක මෝඩ මිනිසුන්ගේ අදහස් පිළිගෙන කුසල් කිරීමෙන් වැළකී බලවත් අකුසකුල් කිරීම නිසා අඳ, ගොළු, බිහිරි ලෙසින් මනුෂ්‍ය ආත්මයක් ලැබුවත්, බලවත් වූ ස්වල්ප පිනක්වත් ඒකාන්තයෙන් සම්පූර්ණ කරගත නොහැක්කේ ය යන්න එම කවියෙහි අදහස යි.

මනුෂ්‍ය ආත්මයක් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා බැලීමත්, කතා කිරීමත්, ඇසීමත් විශේෂයෙන් වැදගත් වෙයි. ඒ කරුණු තුන ම නොව එක් කරුණක් නැති වුවත් සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් පවත්වාගෙන යාම අපහසු ය. කෙනෙකුගේ ජීවිතයක අඟ පසඟ අඩුව පැවතීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අතීතයෙහි කරන ලද අකුසල කර්මයන් ය.

යම් කෙනෙකු එවැනි තත්ත්වයන්ට පත්වන, පව් වැඩ කෙරෙහි ඇදී යාමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ පාපකාරී අඥාන අයගේ ආශ්‍රය යි. ඒ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දුන්හ. අඥාන මිනිසුන් තුළ දක්නට ලැබෙන අයහපත් ප්‍රධාන ලක්ෂණ තුනක් පිළිබඳව, අංගුත්තර නිකායේ තික නිපාතයෙහි සඳහන් වෙයි. “දුච්චින්තිත චින්ති ච හොති, දුබ්භාසිත භාසි දුක්ඛත කම්මකාරී” යනු ඒ ලක්ෂණ තුන යි.

අඥාන පුද්ගලයා නපුරු සිතිවිල්ලක් ම සිතයි. නපුරු වචන කිය යි. නපුරු ක්‍රියා කරයි යනු ඒ දුර්ගුණ තුන යි. ඉතා බුද්ධිමත්ව සිතන විට දස අකුසල්වල සඳහන් දැඩි ලෝභය, ක්‍රෝධය හා මිථ්‍යා දෘෂ්ටිය යන සිතින් සිදුකරන අකුසල් තුන ද, බොරු කීම, කේලාම් කීම, රළු වචන කීම හා හිස් වචන කීම යන වචනයෙන් සිදු කරන අකුසල් හතර ද, සතුන් මැරීම, සොරකම් කිරීම හා කාමයෙහි වරදවා හැසිරීම යන කයින් සිදුකරන අකුසල් තුන ද අඥානයා නිරන්තරයෙන් සිදුකරයි. ඔහු ඇසුරෙහි සිටින අය ද මේ පාපකාරී ක්‍රියාවන් කෙරෙහි යොමුවෙයි.

අනර්ථකාරී ලක්ෂණයන්ගෙන් යුතු කෙනෙකු ඇසුරට පැමිණුනු පසු ඒ යන තැනැත්තා ද ඒකාන්තයෙන් පාපකාරී, දුර්ගුණයන්ගෙන් පිරුණු කෙනෙක් බවට පත් වෙයි. මේ අයහපත් කරුණු තුනෙන් යුක්ත වූ ජීවිතයක් ගත කළ දෙව්දත් තෙරුන්ගේ ඇසුරට පත් වූ අජාසත් කුමාරයාට ලැබෙන්නට තිබූ මගඵල පවා අහිමිව බුදුරදුන්ට විරුද්ධව ක්‍රියා කිරීම බාල ආශ්‍රයෙහි දරුණුකම වටහා ගැනීමට හොඳ නිදසුනකි. කොහොඹ ගසක් ආසන්නයේ වැඩුණ මී අඹ ගසක ගෙඩි බොහෝ විට තිත්ත රස වීමට හේතු වීමෙන් පැහැදිලි වන්නේ ද ගහ කොළවලට පවා ආශ්‍රය බලපා ඇති බවයි. අඥාන තැනැත්තා මෙලොව හා පරලොව යහපත පිණිස හේතුවන කිසිවක් නො කරයි. ඇසුරට පත්වූවන්ගේ ද දෙලොව සැප වනසා දමයි.

සතුන් මැරීම පමණක් නොව මැරවීමට උපදෙස් දීම සිදු කරයි. අනුන්ට හිංසා ගෙන දෙන වැඩෙහි යෙදෙයි. අන්‍යයන්ගේ දේ පැහැර ගනියි. අන් සතු ඉඩ කඩම් බලහත්කාරයෙන් අයිතිකර ගනියි. ලජ්ජාවකින් තොරව කාම සේවනයෙහි යෙදෙයි. බොරුවෙන් අන් අය රවටයි. බොරු පොරොන්දු දෙයි. කේලාම් කියයි. රළු වචන පාවිච්චි කරයි. හිස් වචන කතා කරමින් නිකරුණේ දවස ගෙවයි. මත් වතුර, මත් කුඩු ගැනීමට දැඩි ලෙස හුරු පුරුදු වී සිටියි. මෙවැනි පාපකාරී ජීවිත ගත කරන අය අන් අයට ද ඒවායේ අගය කියා පාමින් පොළඹවා ගැනීම බලවත් අපරාධයකි. දෙලොව නොතකන අඥානයාට ඇසුරට පත්වන අය මිනීමරු රකුසන් බවට පත් කළ හැකි ය.

කාරුණිකයා මිනීමරුවෙකු බවට පත් කිරීමට ද අපහසු නොවේ. එසේ ම සිල්වතා දුස්සීලයෙකු කිරීමටත්, ගුණවතා පව්කාරයෙකු බවට පත්කිරීමටත් අපහසු නොවේ. ඒ තරමට අඥානයාගෙන් සිදුවන්නේ බලවත් වූ විපතකි. වර්තමාන සමාජයෙහි ජීවත්වන බොහෝ ගුණවත්, ධනවත් මවුපියන් නොදැනීම වාගේ ඔවුන්ගේ දරුවන් අඥාන, අසත්පුරුෂ අයගේ ඇසුරට පත්වීමෙන් බලවත් විනාශයන් ඇතිවන බව විවිධ තොරතුරු මඟින් හෙළි වෙයි.

මේ නිසා කෑම බීම, ඇඳුම් පැළඳුම් අවශ්‍යතා ලබා දීම තරමට ම යහපත් අයගේ ඇසුර ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි.

මේ නිසා බුදුරදුන් දක්වා වදාරන ලද්දේ තමාට වඩා උසස් ගුණ ඇති කෙනෙකු ආශ්‍රය කළ යුතු බවත්, එසේ නොහැකි නම් තමා සමාන ගුණ ඇති අය ඇසුරු කළ යුතු බවත්, එවැනි අය සොයා ගැනීමට අපහසු නම් අන් අයගේ ආශ්‍රයෙන් තොරව තමා හුදකලාව ජීවත් විය යුතු බවයි. එසේ නොකළ හොත් මෙලොවට වඩා පරලොව අපමණ දුක් ගැහැට, වධ හිංසාවලට ලක්විය හැකි ය.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]