UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

දුරුතු පුර පසළොස්වක 2018.01.01

දහම් මාවතට ගමනාරම්භයක්

දෙදහස් දහ අට රාජ්‍ය වර්ෂයේ ආරම්භක දිනය අදයි. ගේ දොර භාණ්ඩ පිළිවෙළකට තබා කුණු දුහුවිලි පිසදමා තමන්ගේ නිවෙසට නැවුම් බවක් ගෙන දෙන්නට, නව වසර නැවුම් ලෙස පිළිගන්නට බොහෝ දෙනෙක් උත්සුක වන්නට ඇත.

අවුරුද්දේ පළමුවැනිදාට රැකියාවට යන්නට අඳින්නට, පළඳින්නට අලුත් වස්ත්‍ර මිල දී ගන්නට ද ඇත. අන් දිනවලටත් වඩා උදෑසනින් පිබිදී කිරිබතක් උයා දිනය ආරම්භ කරන්නට ද ඇත.

මේ අලුත්වීම හොඳය. එහෙත් එපමණක් ම නොසෑහෙන්නේ ය. අපගේ අධ්‍යාත්මික ගුණ ධර්මයන් හි ද නැවුම් බවක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය ය. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙළීගිය සිතිවිලිම තවමත් ක්‍රියාවට නඟනවා නම් භෞතික සැප සම්පතින් ලද හැකි ප්‍රයෝජනය අර්ථවත් නො වන්නේ ය.

අප හැමදාමත් අප අතරින් ම අත් දකින්නේ ඒ අකුසල මූලයන්ගෙන් පිරුණු සිත් නිසා වන ප්‍රශ්න, ගැටලු නොවේද? බොහෝ කැමැති බව, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෙස ‘මහිච්ඡතාවය’ වැඩිවන තරමට අපට ලැබෙන්නේ දුක, වේදනාව, කනගාටුව, අසහනය හා පීඩනයම ය. තවත් අනේක වූ කටුක අත්දැකීම් ම ය.

මදකට හෝ කල්පනා කර බැලුවේ නම් ගෙවුණු ජීවිත කාලයක් පුරා ම අප මුහුණ දුන්නේ ඒ සත්‍යයටම වන බව සිතා ගැන්ම අපහසු නොවන්නේ ය. එය තේරුම් නොගන්නාතාක් ජීවිතයට නැවුම් බවක් කෙසේ නම් ලැබිය හැකි වන්නේ ද? මේ නිසා අලුත් අවුරුද්දේ අධ්‍යාත්මික ජීවිතය ද නැවුම් කර ගන්නට, යහපත් ගුණධර්මවලින් පොහොසත් වන්නට බෞද්ධයන් ලෙස අපි උත්සාහ කළ යුතු වෙමු. ඒ උත්සාහය අර්ථවත් කරගන්නට අපගේ ශාස්තෘන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මයට වඩ වඩාත් සමීප වෙමු.

තුනුරුවන් ගැන ශ්‍රද්ධාවෙන් යුතුව අවබෝධයෙන් දහම් ශ්‍රවණයට, කියවීමට හුරු පුරුදු වෙමු. අඩුම තරමින් දවසකට පැයක කාලයක්වත් ඒ වෙනුවෙන් වෙන් කරන්නට අද දිනයේ සිට අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.

සංවරකම, ආචාරශීලීබව, විනය, ශික්ෂණය මනුෂ්‍ය ජීවිතයකට අත්‍යවශ්‍ය ය. බොහෝවිට අපට අමතක ව යන්නේ ද එයම ය. එහෙත් මුවින් පිටවන සෑම වචනයකින් ම, හැසිරෙන සෑම අවස්ථාවක ම අන්‍යයන්ට ප්‍රදර්ශනය වන්නේ අපගේ චරිත ස්වභාවය ය. හරියට කැඩපතක් වගේ ය.

බුදුහිමියන් දේශනා කොට වදාළේ කාය වාග් සංවරය ශීලයක් හැටියට ය. ඒ ශීලය බිඳින්නට වෙන කෙනකුට නොහැකි ය. ආරක්ෂා කර ගත යුතු තමන් ම ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ශක්තිමත් සිතකි. පිරිසුදු සිතකි. සිත පිරිසුදු වන්නට නම් රාග, ද්වේෂ, මෝහාදී අකුසල් සිතිවිලි හැකිතාක් දුරු කළ යුතු ය.

වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය, මදය, කුහකබව දවන්නේ අනුන්ගේ සිත නොව තමන්ගේම සිත ය. නිරන්තරයෙන් දැවෙන තැවෙන සිත රෝගී ය. හරි මග නොයන්නේ ය. මෙවන් උපක්ලේශයන්ට මුල්වන ප්‍රධාන අකුසල මුල් දුරු කරන්නට මේ වර්ෂයේ ආරම්භයේ ම අධිෂ්ඨානශීලී වෙමු.

අපගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් සයටම අදාළව අරමුණු කරගන්නා දේ පිළිබඳව ආදිත්තපරියාය සූත්‍රයේ දී දුන් අවවාද නැවත සිහිපත් කිරීම වටී. උන්වහන්සේ පෙන්වා දුන්නේ ඇසෙන් රූප බලා ඒ පිළිබඳ ව ආශාවක් ඇතිකර ගන්නවාට වඩා ගිනියම් වූ යකඩ කූරකින් ඇසට ඇන ගැනීම හොඳ බව ය. එහි වේදනාව, විපාකය මේ මොහොතට, මේ ජීවිතයට පමණ ය.

එහෙත් ඇසෙන් රූප දැක රාග සිතක් ඇති කර ගැනීමෙන් ලැබෙන සතර අපා දුක වේදනාව මේ යැයි ප්‍රමාණ කළ නොහැකි ය. මේ සියලුම ඉන්ද්‍රිය අරමුණුවලට පොදු ධර්මතාවකි. මේ දැන, සිත පිරිසුදු කරගන්නට වෙහෙසෙමු. දහම් මාවතේ ගමන් කරමු.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]