Print this Article


පන්සිල් රැකීමෙන් අකල් මිය යෑමෙනුත් වැළකෙයි

පන්සිල් රැකීමෙන් අකල් මිය යෑමෙනුත් වැළකෙයි

ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් උපමාවන් සිතට ගෙන මෙනෙහි කිරීමෙන් තමාට ඉමහත් ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවනි. ඉවත දමන කෙළ පිඬක් සේ ඇලීම ගැටීම තුරන් කරන්න භාවනාව ඉවහල් වෙයි.

පින් මද වූවෝ මරණසතියට බිය වෙති. සත්ත්ව ඝාතන ආදී පව් කරන අය, මව් පියන්ට නොසලකන අය මරණයට බිය වෙති. පන්සිල් රකිමින්, මව් පියන්ට සළකන්නෝ මරණයට කිසිවිටකත් බිය නොවෙති. සැවොම පන්සිල් රැකිය යුතුම ය. තුණුරුවන් නැමැදිය යුතුම ය. දාන මානාදී පින්දහම් පිරිය යුතුම යි, බණ ඇසීම, බවුන් වැඩීම කළ යුතුම ය. මෙවැනි වතාවත් සපුරන්නෝ කිසිම අඩු පාඩුවක් නොමැතිව තම දිවි ගමන සුවපත් කර ගනිති.

මහා ධර්මපාල තුමාගේ පුතණුවන් සිප් සතර හැදෑරුවේ තක්ෂිලා නුවර යි. එහි සිසුවෙක් මිය ගිය විට සැවොම හඬා දොඬා වැළපුණහ. එහෙත් මහා ධර්මපාල තුමාගේ පුතණුවන් හඬා වැළපුණේ නැත. එයට හේතුව වශයෙන් ඔහුගේ පෙළපතේ කිසිවෙකු අඩු වයසින් මිය නොයන බව පැවසුවේ ය. මෙයින් විශ්මිත වූ ඇදුරු තුමා, මියගිය සුනඛයෙකුගේ අස්ථීන් මල්ලකට දමා මහා ධර්මපාල තුමාගේ නිවසට පිවිසියේ ය. ධර්මපාල තුමනි, මා පැමිණියේ ඔබගේ දරුවා හදිසියේ මියගිය දුක් මුසු පුවත පවසන්න යි’. ‘ආචාර්ය තුමනි, ඔබ පවසන පුවත මා පිළිගන්නේ නැහැ.’ එසේනම්, ධර්මපාල තුමනි, මේ ඇට කටු දෙස බලන්න, එය ඔබගේ පුතණුවන්ගේ අස්ථීන් යැ’යි සුනඛ අස්ථීන් පෙන්වී ය. එහෙත් ධර්මපාල තුමා කළබල වුණේ නැත. ඔහු පැවසුවේ ‘අපේ පෙළපතේ කිසිවකු අඩු වයසින් නොමැරෙන බව ය. තම පෙළපතේ සැවොම මවට පියාට සලකන, පින් දහම් කරන අය නිසා පවුලේ කිසිවෙක් අඩු ආයුෂයෙන් මිය පරලොව යන්නේ නැතැ’යි ධර්මපාල තුමා පැවසුවේ ය. ඉන් අරුම පුදුම වූ ඇදුරු තුමා තම තක්ෂිලාවේ දරුවන්ට ද පින් දහම් සිදුකර, පන්සිල් රකින්නට, පුරුදු පුහුණු කළේ ය. අකාලයේ මිය යන ගමන නවතා ගන්නට හැකි විය. එසේනම්, ජන සමාජයේ ඇතැම් පිරිස් අකාලයේ මිය යන්නේ පන්සිල් නොරකින නිසයි. පන්සිල් රකිමින්, මරණසති භාවනාව ද වැඩිය යුතු යි. ඒ සඳහා මෙම උපමාවන් මෙසේ දක්වමු.

සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය ය. ඇතිවීම, නැතිවීම ස්වභාව කොට ඇත්තේ ය. ඉපිද නිරුද්ධ වන්නා වූ ඔවුන්ගේ සන්සිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි.

මේ ශරීරය වනාහි භව සාධාරණ වන්නේ ය. අසූ කුලයක ප්‍රාණීන්ට ද සාධාරණ ය. ඔවුන්ගේ කෝපයෙන් ද මරණය වන්නේ ය. ජීවිතය අනියත යි මරණය නියත යි.

මේ ශරීරය වනාහි සිවිය ඇසුරු කොට ඇති ප්‍රාණීන්ට ද සාධාරණ වන්නේ ය. ඔවුන්ගේ කෝපයෙන් ද මරණය වන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.

මේ ශරීරය වනාහි සම ඇසුරු කොට ඇති ප්‍රාණීන්ට ද සාධාරණ වන්නේ ය. ඔවුන්ගේ කෝපයෙන් ද මරණය වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි, ජීවිතය අනියත යි, මරණය නියත යි, ජීවිතය අනියත යි, මරණය නියත යි. මේ ශරීරය වනාහි මස ඇසුරු කොට ඇති ප්‍රාණීන්ට ද සාධාරණ වන්නේ ය, ඔවුන්ගේ කෝපයෙන් ද මරණය වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි.මේ ශරීරය වනාහි නහර ඇසුරු කොට ඇති ප්‍රාණීන්ට සාධාරණ වන්නේ ය. ඔවුන්ගේ කෝපයෙන් මරණය වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි, මේ ශරීරය වනාහි ඇට ඇසුරු කොට ඇති ප්‍රාණීන්ට ද සාධාරණ වන්නේ ය, ඔවුන්ගේ කෝපයෙන් ද මරණය වන්නේ ය. ජීවිතය අනියත යි මරණය නියත යි.

මේ ශරීරය වනාහි ඇට මිඳුළු ඇසුරු කොට ඇති ප්‍රාණීන්ට ද සාධාරණ වන්නේ ය. ඔවුන්ගේ කෝපයෙන් ද මරණය වන්නේ ය, ජීවිතය අනියත යි, මරණය නියත යි. මේ ශරීරය වනාහි චක්ඛු රෝගා දී නොයෙක් සිය ගණන් රෝගාබාධයන්ට සාධාරණ වන්නේ ය. නොයෙක් රෝගාබාධයන්ගෙන් ද මරණය වන්නේ ය. ජීවිතය අනියත යි මරණය නියත යි.

මේ ශරීරය වනාහි නයි, පොළොන්, ගෝනුසු, දිවි මකුළු ආදී සර්පයන්ට ද මැසි , මදුරු, බලු, කපුටු, ඇත්, අස්, ගව මහේෂ, සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්, රජ, සොර සතුරු , මනුෂ්‍ය, අමනුෂ්‍ය ආදී අනේක සත්ත්වයන්ට සාධාරණ වන්නේ ය. අනේක සත්ත්වයන්ගෙන් ද මරණය වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි.

මේ ශරීරය වනාහි ගිනි, ගල් ,වස, විස, අවි ආයුධ,වෑ,පොරෝ, කැති, කෙටේරි, කඩු කිනිසි, ගෝමර, බෝම්බ, තුවක්කු ආදී වූ ද ගස්, ගල්, පර්වත ගිනි කඳු , සුළි සුළං ,හෙණ සැර ,විදුලි සැර ආදී වූ ද අනේක උපද්‍රවයන්ට සාධාරණ ය. අනේක උපද්‍රවයන්ගෙන් ද මරණය වන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි.

මරණ සතිය දියුණු කරන ක්‍රමය මෙම උපමාවන්ගෙන් වැටහේවි. මරණය කෙලෙස, කුමන අවස්ථාවක සිදු වන්නේ දැ’යි බුදුවරයෙකුට මිස වෙනත් කාටවත් සඳහන් කරන්නට බැහැ. ඒ නිසා මේ උපමාවන් හොඳින් වටහාගෙන ජීවිතය අස්ථිර ය. මරණය ස්ථීර ය යනුවෙන් හොඳින් තේරුම් ගන්න. මිය ගිය පුද්ගලයෙකුට සිදු කරන ලොකුම ගෞරවය වන්නේ මොහුගේ සිරුර මෙන්ම මගේ සිරුර ද අනිත්‍යය යි, දුක්ඛයි යනුවෙන් මෙනෙහි කිරීම ය.

මරණසති භාවනාව සම්බුදු පියාණන් වහන්සේ වදාළා මිස වෙනත් දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් වදාළේ නැත. යම්කිසිවෙක් මරණානුස්සති භාවනාව දියුණු කරන්නේ නම් සංසාරය ගැන කළ කිරෙයි. රාග, ද්වේශ, මෝහ ආදිය කෙලෙස් දුරු කරගන්නට වීර්යය වඩන්න, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සෝවාන් , සකෘදාගාමී , අනාගාමී , අර්හත් මඟ ඵල සලසාගන්නැ’යි මරණානුස්සති භාවනාවේ අනුසස් වදාළහ.

ඇලීම, ගැටීම, උඩඟුකම ,මද මාන ඉවතට දමා පිවිතුරු සිතින් දිවි මඟ දියුණු කළ යුතු යි. ලෝක සත්ත්වයා මහා සාගරයටත් වඩා මිය ගිය වාර ගණන අනන්තයි. අප්‍රමාණයි. ඒ තරම් ම අතීත සංසාරයේ උපත ලබා, ජීවත් ව, මිය යයි. අනාගතයේත් නිවනින් සැනසෙන තුරා ඉපිද ජීවත් ව මිය යයි. බහුතරය උපත ලබන්නේ අපායගාමීව ය. ඒ නිසා සියලු ම පින්කම් කරගෙන, නිවන් සැප ලැබේවා යන පැතුමෙන් කටයුතු කළොත් සැමටම මරණ සති භාවනාවෙන් උසස් ඵල ප්‍රයෝජන ලබන්නට පුළුවන් වෙයි. සෑම විටම ජීවිතය අනියත යි මරණය නියත යි යනුවෙන් මෙනෙහි කරන්න. අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළේ නම්, කරදර කම්කටොළු තුරන්ව, හොඳ තත්වයකින් තමන්ට ජීවත් ව, සංසාර සාගරය ද තරණය කරන්නට හැකි වෙයි.