Print this Article


මධ්‍යස්ථව ඉවසිය යුතු දුක සහ සැප

මධ්‍යස්ථව ඉවසිය යුතු දුක සහ සැප

" සද්පුරුෂයන් සැප විඳින කාලයේදීත්, දුක් විඳින කාලයේදීත් ශාන්තව සිටියි. කලබලයට පත් නොවේ. නුවණැති සද්පුරුෂයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන සෑම දෙයක් කෙරෙහි ම ඇති ආශාව දුරු කරන්නේ අවබෝධයෙන් ම ය. සිතේ එක් ආශාවක් තබාගෙන වචනයෙන් තව එකක් නො කියයි. දුකක් වුවත්, සැපයක් වුවත් ඉවසා ගැනීමට ඒ නුවණැත්තන්ට හැකි ය."

වේරඤ්ජ නම් බ්‍රාහ්මණ ගමකි. එහි ගම් ප්‍රධානියාගේ නාමය ද වේරඤ්ජ විය. පන්සියයක් භික්ෂුන් වහන්සේ සමඟ අප භාග්‍යවතුන් වහන්සේ වස් කාලය ආසන්නයේ වේරඤ්ජ ගමට වැඩි සේක.

වේරඤ්ජ බමුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසා තිබුණේ වැරැදි, අභූත, අසත්‍ය කරුණු ය . එනිසාම මේ බමුණාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදීමක් හට ගෙන තිබුණි.

වස් කාලයේ භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ ගමට වැඩි අවස්ථාවේ දී බ්‍රාහ්මණයා තමා පිළිගෙන තිබෙන කරුණුවල සත්‍ය අසත්‍යතාව විමසී ය. ඔහුට ලැබුණ පිළිතුරුවලින් පැහැදීමට පත් ඒ බමුණා තෙරුවන් සරණ ගියේ ය.

”භාග්‍යවතුන් වහන්ස, මේ එළඹෙන්නේ වස්සාන කාලය යි. ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වේරඤ්ජ ගමේ වස් සමාදන් වේ නම්, එය අපට මහත් වූ යහපතකි.”බමුණා කළ ආරාධනය භාග්‍යවතුන් වහන්සේ පිළිගත් සේක.

නමුත් සිදුවූයේ නො සිතූ දෙයකි. තමන් විසින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට වස් විසීමට ආරාධනා කළ බව ඒ තුන් මස පුරාවටම මාරයා සිත වැසීම නිසා වේරඤ්ජ බ්‍රාහ්මණයාට අමතකව ගියේ ය. දානය නො මැති නිසා භික්ෂුන් වහන්සේ දින ගණන් නිරාහාරව සිටිය හ. භික්ෂූන් වහන්සේලා අශ්ව වෙළෙඳුන් සමූහයක් නවාතැන් ගෙන සිටි ස්ථානයකට පිඬුසිඟා වැඩ එහි දී ලැබුණ යව හාල් වතුරෙන් පොඟවා කොටා මී පැණි මිශ්‍රකොට වැළඳු හ.

දුෂ්කර තුන් මාසය ගෙවා වස් කාලය අවසන් විය. චාරිකාවේ වඩින්නට කල් පැමිණි අතර, වස් කාලය අවසන් බව වස් විසීමට ආරාධනා කළ දායකයාට දැන්වීම සඟ පිරිසේ යුතුකමකි. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා වේරඤ්ජ බ්‍රාහ්මණයා මුණ ගැසුණි. බ්‍රාහ්මණයාට තමන් කළ ආරාධනය සිහිපත් වූයේ එවිට ය. ඔහු බලවත්ව කම්පා වී ප්‍රණීතව දන් පැන් සූදානම් කොට පුදා සමාව අයැදී ය.

භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිස වස් කාලය තුළ මුහුණ දුන් සිද්ධිය සැවැත්නුවර වැසියන්ට ආරංචි විය. ඔවුහු බොහෝ දන්පැන් පිළියෙල කොට සංඝයාට පූජා කළහ.

එදා සැවැත්නුවර භික්ෂූන් වහන්සේ දන් වළඳා අවසන් වූ විට ඉතිරිවන ඉඳුල් බත් ආහාර අනුභව කරන පිරිසක් විසූහ. ඔවුන් එදා වේරඤ්ජ ගමේ සිට ආ පිරිසකි. තුන් මසක් ඔවුන්ට හරි කෑමක් නො ලැබූ නිසා සැවැත්නුවර දී ලැබෙන ප්‍රණීත ආහාරවලින් ඔවුන් මත් විය. ඔවුහු ඉතුරු වෙන දානය කුස පිරෙනතුරු අනුභව කොට තැන් තැන්වලට ගොස් නිදති. පසුව ගඟ අයිනට ගොස් කණ්ඩායම් හැසී ගුස්ති සෙල්ලමින්, හූ කියමින් කෑ ගසති. ඔට්ටු සෙල්ලම් කරමින් බොහෝ සේ කෑ මොර දෙති. මෙය දුටු භික්ෂූන් වහන්සේ මොවුන් ගැන කතිකා කළහ.

”ඇවැත්නි, අපේ පන්සීයයක් භික්ෂුන් වහන්සේ කිසිම දානමානයක් නො මැතිව වේරඤ්ජනාවේ ඉතාම නිශ්ශබ්දව වැඩ සිටි සේක. ඉන්පසු ප්‍රණීත දානමාන ලැබුණත් නිහඬව වැඩ සිටින සේක. මේ තරුණයන් එසේ නොවේ. වේරඤ්ජාවේ සිටිය දී අහිංසකව සිටියත් දැන් ආහාර ලැබුණ පසු සැවැත්නුවර අසංවර ව හැසිරෙති.

මේ සිදුවීම දැනගත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

පින්වත් මහණෙනි, මේ තරුණයන්ගේ හැසිරීම සසර පුරුද්දක්. මේ පිරිස එක් ආත්මයක දී බූරුවෝ පන්සීයයක් ලෙස ඉපදී සිටි අතර, ඒ කාලයේ අජානීය වර්ගයේ අශ්වයන් පන්සීයයක් ද සිටියහ. දිනක් ඒ අජානීය අශ්වයන්ට දිය මුසු නොවූ මිදි යුෂ බීමට ලැබුණ අතර මිදි රොඩු ටික දමා තම්බා බූරුවන්ට ලබා දුණි. බූරුවෝ ඒ මිිදි යුෂ රොඩු ස¼ිදු වතුර පානය කිරීමෙන් පසු ප්‍රණීත මිදි යුෂ බිවු අජානීය අශ්වයන්ට වඩා මත් වී කටයුතු කළහ.

පින්වත් මහණෙනි, මෙයත් ඒ වගේ දෙයකි. සත්පුරුෂයන් සැප විඳින කාලයේදීත්, දුක් විඳින කාලයේදීත් ශාන්තව සිටියි. කලබලයට පත් නොවේ. නුවණැති සද්පුරුෂයන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන සෑම දෙයක් කෙරෙහි ම ඇති ආශාව දුරු කරන්නේ අවබෝධයෙන් ම ය. සිතේ එක් ආශාවක් තබාගෙන වචනයෙන් තව එකක් නො කියයි. දුකක් වුවත්, සැපයක් වුවත් ඉවසා ගැනීමට ඒ නුවණැත්තන්ට හැකි බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.