Print this Article


උඩුගම ආශිර්වාද බෝධි පූජාව ජනවාරි 01 වනදා

උඩුගම ආශිර්වාද බෝධි පූජාව ජනවාරි 01 වනදා

ගාල්ල – උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව දඹදිව සිට මෙරටට වැඩම කරවා රෝපණය කරනු ලැබූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස වාර්ෂිකව සිදුකරනු ලබන ශ්‍රී මහා බෝධි පූජාව මෙවර ද 2018 ජනවාරි 01 දින රාත්‍රී 7.00 ට පැවැත්වේ.

වත්මන් විහාරාධිපති උඩුගම සමිත නා හිමියන්ගේ ආශීර්වාදයෙන් උඩුගම සාරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් එම කටයුතු සංවිධානය කර ඇත. රටට, ජනතාවට, ත්‍රිවිධ හමුදාවට, රජයට සෙත්පතා නව වසරේ එම පූජාව පැවැත්වේ.

විහාරස්ථ දායක සභාව, කුලඟන සමිතිය, දහම් පාසල, ධවලසේනා සුබ සාධක සමිතිය, ශ්‍රී මහා බෝධිරාජ මහ පෙරහර කමිටුව එක්ව පින්කම සංවිධානය කර ඇත.

මීට අමතරව සෑම පුරපසළොස්වක පොහෝ දිනකම පැවැත්වෙන ශීල සමාදාන පින්කම ද ජනවාරි 01 දින පෙරවරු 06 සිට රාත්‍රිය දක්වා පැවැත්වේ.

1976 දී ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව මෙරටට වැඩම කරවූ එම බෝධීන් වහන්සේ රතුපලස් මතින් පිළිගෙන උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයට වැඩම කරවා රෝපණය කොට ඇත්තේ 1976 ජූලි මස 11 වන දා ය. එම බෝධි ශාඛාවට උපහාර පූජා පිණිස වාර්ෂිකව ශ්‍රී මහා බෝධිරාජ පෙරහර නමින් පෙරහර මංගල්‍යයක් ද වාර්ෂිකව පැවැත්වේ.