Print this Article


ප්‍රාර්ථනා ඉටු කළ බෝලාන ප්‍රාර්ථනා බුද්ධ මන්දිරය

ප්‍රාර්ථනා ඉටු කළ බෝලාන ප්‍රාර්ථනා බුද්ධ මන්දිරය

කල්එළිය බෝලාන ගම් පියස බොහෝ සුන්දර ය. ඈතින් පෙනෙන කඳුයාය ගම වට කළ මුර වැටක් වැනි ය. තුරුලතා සිප ගම පුරා හමන සිහිල් මද නල ගත නිවන්නේ ය. සිත ද නිවන්නේ ය. ගම් දොරකඩ වෙල් යාය තවත් දින දෙක තුනකින් පැළ ගොයම පිළිගන්නට බලා සිටී. ගමේ උදවිය සරල ය. අව්‍යාජ ය. උසස් නිලතල, ඇති නැතිකම්, කුල මල භේද ඒ ගමෙහි නොවේ. රටට බත දෙන ගොවි මහතාගේ සිට සියල්ලෝ ම සමගිය. සතුටේ දී ත්, දුකේ දී ත් එකමුතු ය. දහමට ලැදි ය. පවට බිය ය. ගම ලස්සන ඒ නිසා ය.

ගම් දොර එළිය කරන අලංකාර බුද්ධ මන්දිරය බෝලාන ගමට එන යන කාගේ වුව සිත නිවා සනසන දසුනකි. බුදු කුටිය ඉදිරියේ මල් පහන් පුදා පෙර පාසලට, පාසලට පිය නඟන පුංචි දූ පුතුන්, සැන්දෑ යාමයේ පහන් දල්වා, සුවඳ මල් පුදා තෙරුවන් වන්දනා කරන උවසු උවැසියන් මේ බුදු කුටිය අබියස දර්ශනයවන සුලබ දසුන් ය. රැකියාවට යන කවරෙකු වූ ව ද බුද්ධ ප්‍රතිමා වහන්සේට නමස්කර කොට ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකරති.

අනේක ජීවන ගැටලු මැද දැවෙන සිත සනසා ගන්නට ද කෙනෙක් බුදු කුටිය ළඟ මොහොතක් නතරව වන්දනාමාන කොට පිටව යනු පෙනේ. ගමේ විහාරයේ ආශිර්වාදයෙන් මේ බුද්ධ මන්දිරය ඉදිවන්නේ මෙයින් පස් වසරකට පෙර ය. ඒ ආගමට දහමට ලැදි ගමේ තරුණයින්ගේ අදහසක් අනුව ය. එයට ශක්තියක් වන්නේ ජ්‍යෙතිෂ උපදේශක හේමලාල් සේපාල වෛද්‍යාචාර්යයන් ය. බුදු මැදුරේ සැලැස්මේ සිට එය නිමවා අවසන්වන තුරුම ඔහුගෙන් ලැබුණු දායකත්ත්වය වෙසෙස් ය. විටෙක ඔහු අධෛර්යමත් ව කතා කරන තරුණයින්ගේ සිතට වදනින් ශක්තිය දුන්නේ ය. ගම් දොරකට ඉදිවන සිත් සනසන, පින් වඩවන බුද්ධ මන්දිරයක සිහිනය දුටුවේ ය.ඒ සිහිනය මල්ඵල ගන්වන්නට ගමේ තාරුණ්‍යයට, වැඩිහිටියන්ට අත දෙන්නට කාලය කැප කළේ ය. ඒ ඇතැම්විට ගෙදර වගකීම් දෙවනි තැන තබමිනි.

බුද්ධ මන්දිරය ඉදි කිරීමේ පළමු පස් පිඩැල්ල කැපුණේ ගමේ පුංචි දැරියකගේ දෑතිනි. බුදු මැදුර සාදන බිම සැකසීමට ශ්‍රමදානයට එන ලෙස පෙරදින තරුණයෙක් විසින් වැඩිහිටියන්ට දෙන ලද පණිවුඩය ඇය අසා සිටියා ය. ඇයගේ සිතට මහත් සතුටක් ඇතිවුණි. ඉරිදා උදයේ ම දහම් පාසල් යන්නට තිබුණත් ඊට පෙර ඇය හිමිදිරියේ ම උදැල්ලකුත් ගෙන ගමේ සමිති ශාලාව අසලට ගියා ය. වැඩිහිටියන් එන්නටත් කලින් ඇය උදැල්ල ඔසවා පුංචි පස් පිඩැල්ලක් කපනවා දුටු අයගේ දෙනෙත් තෙත් වුණේ සතුටු කඳුළිනි. දර්ශනීය බුදු මැදුරක් ඉදිකිරීමේ ආරම්භය සිටු වූයේ එලෙස ය.

එතැන් සිට පරිත්‍යාගශීලි මිනිසුන් විසින් ලබා දුන් මුදල්, ගොඩනැඟිලි ද්‍රව්‍ය අර පිරිමැස්මෙන් යොදවමින් බුදු මැදුර ඉදිකිරීමේ කටයුතු ටිකෙන් ටික සිදු කෙරුණත් වැඩ අවසන් කරන්නට නොහැකි වුණි. ඒ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ නිසා ය.

අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගන්නට තීරණය කෙරුණේ සුළු මුදලක් අය කරමින් බෝලාන ගමේ දරුවන්ට ඉංග්‍රීසි පන්තියක් දැමීමට කළ යෝජනාවෙනි. අවුරුදු දෙකක් ම එහි ඉගැන්වීම් කළේ හේමලාල් සේපාල මහතා ය. කුඩා දරුවන්, තරුණ පිරිස් වගේ ම සමහර වැඩිහිටියන් ද පන්තියට සහභාගි වුණි. මුදල් එකතුවන ලෙස බුදු මැදුරේ කටයුතු ද ටිකෙන් ටික සිදු කෙරුණි. නැවත ප්‍රතිපාදන නොමැති නිසා 2011 වසරේ අවසානය වන විට වැඩ කටයුතු මදක් නතර කිරීමට සිදු වුණත් ගමේ තරුණයන්ගේ, වැඩිහිටියන්ගේ බලවත් ඕනෑකම හා කැපවීම නිසා ම එහි වැඩ යළි ආරම්භ වුණි. ඒ අවස්ථාවේ ද ශක්තියක් වෙමින් ඔවුන් දිරිමත් කරන්නට, අතහිත දෙමින්, ප්‍රතිපාදන සලසන්නට ඔහු පසුබට නොවුණි.

තමන්ගේ දෑතේ ශ්‍රමයෙන්, ශිල්පීය දැනුමෙන් ඉදිවන බුදු මැදුරේ වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරන්නට සිතට ගත් ගමේ තරුණ කැළ ඇතැම්විට රැකියාවට යාම පවා අතපසු කරමින් වෙහෙස මහන්සි වුණි. වැඩ කරන අයට ආහාර, තේ පැන් පොද අහළ පහළ ගෙවල්වලින් ලැබුණේ ඔවුන් තවත් ධෛර්යමත් කරමිනි.

දවාලෙහි, රැයෙහිත් ශ්‍රමය දානය කළ ඔවුන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් පහන් කණු අටකින් ආලෝකමත් වුණ බුද්ධ මන්දිරය විවෘත කරන දිනය උදාවුණේ 2012 වසරේ සැප්තැම්බර් මාසයේ 28 වැනි දාය. එහි වඩා හිඳුවන්නට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවූයේ දළදාගම ප්‍රදේශයෙනි. ඊට මුල් වූයේ සංගීත විශාරද දිලිනි ගංගා මහමත්මිය යි. බුද්ධ ප්‍රතිමා වහන්සේ වඩමවන රන් සිවි ගෙය අපූර්ව ලෙස නිර්මාණය වූයේ ද තරුණ ශ්‍රම දානයෙනි.

පස්යාල හන්දියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමේ පෙරහර ආරම්භ වුණේ, කොඩි, සේසත්, රැගත් සැදැහැවත් පිරිස් හා නැටුම් කණ්ඩායම් ද සමඟිනි. පෙරදින ශ්‍රමදානයකින් ගම් වාසීන් විසින් පිරිසුදු කළ බෝලාන පාරට දන්සල් වත්ත හන්දියෙන් හැරෙන විට පෙරහරේ පසු කොටසට විශාල සැදැහවතුන් පිරිසක් එක් වී සිටියේ අපමණ බුද්ධ භක්තියෙනි.

බෝලානේ දී උපත ලබා වෙල් එළියේ ළඳු කැලෑවල දුවපැන ඇවිදිමින් කෙළිදෙළෙන් ගෙවූ ළමා කාලයට සමු දී බෝලාන පන්සලේ දී ම උතුම් පැවිදි බව ලබා බෝලාන පන්සලේ ම ලොකු හාමුදුරුවන් වූ බෝලානේ පඤ්ඤාසාර හිමියන් විසින් බුද්ධ මන්දිරයේ පළමුවන මල් පහන් ගිලන්පස බුද්ධ පූජාව ඉෂ්ට සිද්ධ කිරීම ගමටත් ශ්‍රමයෙන්, ධනයෙන් කැපවූ අයටත් ආශිර්වාදයක් ම විය.

එදින ශාස්ත්‍රපති දොඩම් පහළ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැවැත් වූ සුමධුර ධර්ම දේශනය දහස් සංඛ්‍යාත පිරිසකගේ සිත දහම් රසයෙන් පුරවන්නට සමත් විය.

බෝලාන ගමේ බුද්ධ මන්දිරය නිමවා දැන් පස්වසරකි. එම සංවත්සරය මෙවර ද අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් ය. ඒ බෝලාන ප්‍රාර්ථනා තරුණ බෞද්ධ සංගමයේ මෙහෙය වීමෙනි. ඒ නිමිත්තෙන් අද (28) රාත්‍රී 7.00 ට බෝලාන බුදු මැදුර පරිශ්‍රයේ දී ශාස්ත්‍රපති පයාගල නන්ද ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනයක් පැවැත්වීමට නියමිත ය..