Print this Article


නීලගිරි මහා සෑ ශ්‍රී සර්වඥ ධාතු වන්දනා පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරයේ දී

නීලගිරි මහා සෑ ශ්‍රී සර්වඥ ධාතු වන්දනා

පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරයේ දී

පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පාතකඩ තරුණ බෞද්ධ සංගමය සංවිධානය කරනු ලබන ශ්‍රී සර්වඥ ධාතු වන්දනා පූජෝත්සවය 29 වන සිකුරාදා දින සිට ඔක්තෝම්බර් මස දෙවන සඳු දින දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතනවල දායකත්වයෙන්, බුද්ධ ගෞරවයෙන් සිදු කරනු ලබන පුණ්‍ය මහෝත්සවයකි.

 

පිළිම වහන්සේ

බෝධීන් වහන්සේ

මෙම උත්සවයේ මූලාසනය හොබවන්නට උතුරු කළුතර සුමිත්‍රාරාම මහා විහාරය, පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරය, පයාගල සිරිමුණි විහාරය යන ත්‍රිත්ව විහාරාධිපති, අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ මේධා ශ්‍රී පඤ්ඤාජෝති කවිධජාභිධාන බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක පාතකඩ චන්ද්‍රානන්ද තිස්ස නා හිමියන්ගේ ආරාධනාවෙන් ගල්කිස්ස ධර්මපාලාරාමය, කතරගම උපාලි යෝගාශ්‍රමය, නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමතී යන විහාරයන් හි අධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහා නා හිමියන්ගේ ගෞරවණීය වැඩමවීමෙන් හා සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කරනු ලබන මැති ඇමතිවරුන්ගේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් 29 වන දින සිදුකරනු ලබයි.


ධර්ම ශාලාව


වෙහෙර වහන්සේ

වර්ෂ 1850 දී මේධාවිතිස්ස මහනායක හිමියන්ගෙන් ඇරඹූ පාතකඩ බණ්ඩාර දේවාරාමය සඝ සතු දේපලක් ලෙස ජසෙන්තු මහදුරගේ, දිසිනේරිස් පෙරේරා ගුණතිලක, විදාන ආරච්චි ගම්පතිගේ භූමි පරිත්‍යාගයෙන් ඇරඹි දේවාරාමය වසර 167 වන ජන්ම දිනය සිහි කරමින්, සම්බුද්ධ ශාසනයට උත්කෘෂ්ඨ ආගමික, ශාසනික පුනරුදයක් ඇති කළ පුණ්‍ය භූමියක් බව සිහි කරන්නෙමු. උඩුවර පඤ්ඤාජෝති නා හිමියන් හා පයාගල කවිධජතිස්ස නා හිමියන්ගෙන් පසු විහාරාධිපති පාතකඩ චන්ද්‍රානන්ද නා හිමියන්ගේ ශිෂ්‍ය කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, කළුතර විද්‍යාසාර පරිවේණාධිපති, කළුතර උතුර වීරවර්ධනාරාමාධිපති පාතකඩ විමලඥාන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි දැනට බණ්ඩාරදේවාරාම විහාරාධිකාරී හබරාදූවේ ආනන්දරතන හිමි සහ අටභාගේ ගුණරතන යන හිමිවරු මෙම විහාරස්ථානයෙහි වැඩ වෙසෙමින් ශාසනික කටයුතුවල නිරතවෙති.

පාතකඩ සිරිවිඤ්ඤාජෝති දහම් පාසල, සිරි කවිධජතිස්ස පෙර පාසල, චන්ද්‍රානන්ද පුස්තකාලය දැයේ දූ දරුවන්ගේ නැණ පහන් දල්වන ආගමික සිප්හලකි. මනරම් බුද්ධ මන්දිරය බැති සිත පුබුදු වන්නේ ය. වෙහෙර වහන්සේ දුටු නෙත බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනවන්නේ ය. විහාර මළුව පුරා වාතලය සිඹ සැමට සිසිලස සලසන වෙහෙරෙහි වැඩ සිටින ඉපැරණි බෝධිරාජයාණන් වහන්සේ මනස්කාන්ත ය. කුරුණෑගල රාජධානි යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිඹිබු වන කැණිමඩලකින් අලංකෘත වූ ධර්මශාලා මන්දිරය විහාරස්ථානයේ පෞරාණික වස්තුවකි. සතර පේරුවේ දායක දායිකාවන් දහසකට අධික වන අතර, විහාරස්ථ දායක සභාවේ උවැසි උවැසියන්ගේ සීල සමිතියෙන් පුර පොහෝදාවන් පෝෂණය වන්නේ ය. විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සැමට සරණ වන එක්සත් සරණ අන්‍යෝන්‍යාධාර සුභසාධක සමිතිය, විහාර භූමියේ සිදුකරන තවත් සමාජීය සේවාවකි.


 
ලංකාවේ නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල ප්‍රදේශයේ කැණීම්වලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේ කළුතර පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරාධිපති නා හිමියන්ගේ ඉදිරිපත්වීමෙන් පාතකඩ තරුණ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එම ධාතු තම විහාරස්ථානයට වැඩම කරවා ප්‍රදේශවාසීන්ට වැඳුම් පිදුම් සිදු කිරීමට අවස්ථාව ලබාදීම උතුම් පින්කමක් බව කිව යුතුවේ. ලාහුගල නීලගිරි වෙහෙර වහන්සේ ක්‍රි.පූ. 1 වන සියවසට අයත් දුටුගැමුණු, සද්ධාතිස්ස, වලගම්බා රජ සමයන්ට අයත් වූවකි.

නීලගිරි ධාතු ප්‍රදර්ශනය හා වන්දනාව උතුම් පුණ්‍ය ක්‍රියාවක් බව බලවත් සතුටින් ප්‍රකාශ කර සිටිමු.

හිටපු විහාරාධිපතීන් වහන්සේලා

විහාරාධිපති පාතකඩ චන්ද්‍රානන්ද හිමි විහාරාධිකාරී හබරාදූවේ ආනන්දරතන හිමි අටබාගේ
ගුණරතන හිමි