Print this Article


පරකඩුවේ සරණංකර නා හිමි

පරකඩුවේ සරණංකර නා හිමි

සබරගමු පළාතෙහි රත්නපුර දිස්ත්‍රික්කයෙහි පරකඩුව ගම් පියසෙහි සේනානායක පරම්පරාවෙන් පැවත එන කතා නායකයාණෝ ක්‍රි.ව. 1959 ජූලි 31 වන දින පරකඩුවේ සරණංකර නමින් ප්‍රව්ජ්‍යා භූමියට පත්වන්නේ කළුතර අශෝකාරාම මහා විහාරයේ දී ය.

උන්වහන්සේ ගේ පැවිදි ආචාර්යවරු වන්නේ කළුතර සද්ධාතිස්ස නාහිමි, කඳුබොඩ සිරිනිවාස නා හිමි, දෙල්ගොඩ පේමානන්ද යන නාහිමිවරුන් ය. සරණංකර සාමණේර හිමියන් පැවිදි වී දින අටක් ගතවන විට ම ස්වකීය ගුරුදේවයන්ගේ අභාවයෙන් පසුව අසෝකාරාම මහා විහාරයෙහි වගකීම දැරීය. සරණංකර සාමණේරයන් වහන්සේ එතැන් පටන් විහාරස්ථානයේ භාරදූර වගකීම් ද නො පිරිහෙළා ඉටුකරමින් දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනෙන් ද මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලැබූහ. 1963 දී උපසම්පදාවට පත් වූ සරණංකර හිමියෝ එතැන් පටන් උත්සුක වූයේ ද පොදුජනයාගේ යහපත හා සමාජ සුබ සාධක කටයුතු කෙරෙහි ය.

වර්තමානය වන විට කළුතර අසෝකාරාමය, කඳුබොඩ විවේකාරාමය ඇතුළු විහාරස්ථාන හයක විහාරාධිපති ධුරය දරණ පරකඩුවේ සරණංකර නාහිමියෝ එම සියලු විහාරස්ථාන අංග සම්පූර්ණ විහාරස්ථානයන් බවට පත් කළහ. වැඩිම ශිෂ්‍ය පිරිසක් සහිත දහම් පාසල බවට කළුතර අශෝකාරාම විහාරස්ථ සද්ධාතිස්ස ධර්ම විද්‍යාලය පත් කළහ. විහාරස්ථානයෙහි සිරි සරණංකර මහ පිරිවෙන ආරම්භ කළහ.

නාහිමියන් විසින් ප්‍රදේශයෙහි සංස්කෘත කටයුතු නගාසිටුවීම පිණිස ආරම්භ කරන ලද වාර්ෂික පෙරහර ද එකල රාජ්‍ය නායකයන්ගේ පවා නොමද පැසසුමට ලක් වූහ. එසේම ප්‍රදේශයෙහි සමථ මූල මණ්ඩලයෙහි සභාපතිත්වය දරමින් ද සෙසු ආයතනයන්හි ආනුශායක ධූරය ද දරමින් පරකඩුවේ සරණංකර නා හිමියන් සිදුකරන ශාසනික කටයුතු හේතුවෙන් කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන්ද කොළඹ නව කෝරළයේ හා නව තොටමුණෙහි අධිකරණ සංඝනායක ධූරයෙන් උන්වහන්සේ පිදුම් ලැබූහ. පරකඩුවේ සරණංකර නා හිමියන්ගේ මෙම ශාසනික කටයුතු අගය කළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහාසංඝ සභාව මගින් 2017 සැප්තැම්බර් 16 වන දින උන්වහන්සේට “සද්ධර්ම කීර්ති ශ්‍රී මධූරභාණී” යන ගෞරව නාමය ප්‍රදානය කිරීමට කටයුතු සූදානම් කොට තිබිණි. පරකඩුවේ සරණංකර නාහිමියන්ට රත්නත්‍රයෙහි ආශීර්වාදය ලැබේවා.