Print this Article


අධ්‍යාත්මික පරිසරය නිවසෙන් ගොඩ නගමු

අධ්‍යාත්මික පරිසරය නිවසෙන් ගොඩ නගමු

එදා, අප පාසල නිමවෙලා ගෙදරට දුවගෙන එන්නේ අම්මා හොයාගෙනයි. ගේ දොරකඩ නොසිටියත් කුස්සියේ හරි අම්මා ඉන්න බව දන්නවා. සමහර දවසට ඇය තවමත් කෑම පිසිනවා. කොස් ගෙඩියක් සුද්ද කරනවා. අම්මගේ බෙල්ලේ එල්ලීගෙන ආදරේ හොයන අතරේ කොස් මදුලකුත් කටට දාගන්නවා. හිතත් පිරෙනවා. කුසත් පිරෙනවා. ඉතින් සෙල්ලම් කරන්න දුවනවා.

එදා අපේ ගම ගෙවල්වල මහා පිරිසක් හිටියා. ගෙදර විස්තෘත පවුලක්. හදිසියේ දවසක අම්මා නො හිටියත් අත්තම්මලා, සීයලා හරි අපට බත් කට කැව්වා. අහළපහළ හැමෝ ම නැන්දලා, මාමලා. ගෙදර බත් නැතත් මදි පුංචිකමක් නෑ. අල්ලපු ගෙදරින් හරි බත් පිඟාන ලැබුණා. ඒත් අද ඒ සමාජය දකින්නට නෑ. හදිසියකට, අතමාරුවකට යමක් ඉල්ලුවත් "අරගොල්ලෝ වැටිලද කොහොද? හොඳ වැඩේ. හරි ඉහළින් හිටියේ." ඒ වගේ බොහෝ දේ කියනවා. විවේචනය කරනවා. ඒ නිසා බඩගින්නේ හිටියත් ඉල්ලන්නේ නැහැ.

අද අපේ පුංචි දූවරු, පුතාලා ගෙදර එනකොට බත් ටික බෙදලා දෙන්න අම්මා ඉන්නවා ද? රැකියාට නො යන සහෝදරියක්, සේවිකාවක් බෙදලා දෙන බත් පිඟාන එහෙන් මෙහෙන් අතගාලා ඉවත හෙළනවා. ගේ ඇතුළට කොටුවෙලා. එහාට යනවා. මෙහාට යනවා. තනියම කියවනවා. සෙල්ලම් කරන්න නංගියෙක් මල්ලියෙක් නැහැ. එහෙම නැතිනම් රූප පෙට්ටියේ අතරමංවෙලා. එක්කෝ ඉස්කෝලේ ගෙන ගියාටත් වඩා ලොකු පොත් මල්ලක් අරගෙන උපකාරක පන්තියට දුවනවා. අපේ පුංචි දරු පැටවු මොනතරම් කරදරයක්, වදයක් විඳිනවා ද?

අම්මේ, තාත්තේ, මෙබඳු පරිසරයක ඔබගේ පුංචි දුවට, පුතාට පාඩම් කරන්නේ නෑ, මතක හිටින්නේ නෑ’යි ටොකු අනින්න එපා. පහර දෙන්න එපා. දරාගන්න බැරි දේ කියමින් පුංචි හිත් රිදවන්න එපා. බටහිරින් කියන නිසා නොවෙයි. බෞද්ධ අධ්‍යාපනයේ කිසිම තැනක දඬුවම් ලෙස පහර දීම නෑ. පැවැරුම් න්‍යාය වගේ අනගි උපක්‍රම තිබෙනවා. කිසිම දෙයක් මතකයේ නො සිටි චුල්ලපන්ථක හාමුදුරුවන් රහත් වුණේ. ‘රජෝ හරණං’ යන එකම ගාථා පාඨයක් කියමින් සුදු රෙදි කඩක් පිරිමදින්නට දුන් උපදෙස් අනුව යි. දරුවා මිය ගිය සොවින් තැවුණ කිසා ගෝතමියට සත්‍ය අවබෝධ කළේ අබ මිටක් සොයාගෙන එන්නට කියල යි.

එක්තරා ජාත්‍යන්තර පාසලක ගුරුතුමියක් සිටියා. ඉගැන්වූයේ ප්‍රාථමික පන්තිවල දරුවන්ට. කළු ලෑල්ලේ තියෙන දේ ලියන්නේ නෑ යි දවසක් පුංචි දුවෙක් දණ ගස්වා තැබුවා. පන්තියේ අනෙක් දරුවෝ හැමෝම හිනා වුණා. ‘නෝටි ගර්ල්’ (නරක ළමයා) කියලා විහිළු කළා. ඒ විතරක් ද? ඉස්කෝලේ නිමවුණ ගමන් ඒ දරුවෝ එක හුස්මට ගේට්ටුව ළඟට දිව්වේ අර දරුවගේ අම්මා, අප්පච්චි සොයාගෙන.

‘ආන්ටි’( නැන්දේ) අද අපේ චීචර් (ගුරුතුමිය) උදාරිට හොඳ දඬුවමක් දුන්නා. එයා අකුරු ලියන්නේ නෑ.’

දරුවෝ සිදුවීම කියන්නේ පුදුමය හඟවමින් ඉතින් අර දැරියගේ අම්මගේ සිතට ලොකු තරහක් එනවා. ‘ගෙදර ගිහින් බලාගන්නම්. දහ දුක් විඳලා උගන්වන්නේ මේවා අහගන්න ද?’ කාටත් නො පෙනෙන්න පුංචි දුවගේ කන මිරිකලා එහෙම කියනවා. මේ එකම සිදුවීමක් නොවෙයි.

අවුරුදු පහක හයක දරුවෝ මේවාට ඔරොත්තු දෙන්නේ කෙලෙස ද? ඉස්සර මට මතකයි. අපි අහස ගොරවන හඬටත් ඇඬුවා. අම්මා, අප්පච්චිගෙ තුරුළට දිව්වා. ඒ තරම් හුරතල්. එදා, අද වෙනසක් නෑ. ළමයින්ගේ හිත් අහිංසක යි. පුංචි දේටත් බයයි. ආදරයට කැමැතියි. අම්මේ, තාත්තේ, ගුරු මව්පියවරුනි, ඒ තරම් සංවේදී හිත් වනසන්නේ ඇයි? මේ පුංචි හිත්වලට පීඩා කරන්නේ ඇයි?

පුංචි දියණියක උස් මහත් කොට යහපත් තරුණියක ලෙස අනාගතයට දායාද කිරීමේ දී මවට පැවරෙන්නේ විශාල වගකීමක්. පහ වසර වන තුරු හෝ දරුවාට උපකාරක පන්තිවල සරණ නො සොයා දැනුම දෙන්නට අම්මාට ශක්තියක් තිබිය යුතු යි. අඩුම තරමින් භාෂා තුනක සාමාන්‍ය දැනුමවත් ඇයට තිබෙන්නට ඕනෑ.

දරුවාට අවැසි අධ්‍යාත්මික පරිසරය නිර්මාණය වී තිබිය යුතු වන්නේ නිවස තුළ යි. ගෙදර පන්සලක් වගේ නොවන්නේ නම් සිදුවිය හැකි විපත්තිකර භයානකයි. 70 – 80 දශකවල අපේ මවුපියන්ට මොන තරම් පීඩා තිබුණත් අප දහම් පාසලට යැව්වා. යහපත් දරුවන් ලෙස ගොඩ නැඟෙන්නට පරිසරය සැකසුවා මිස අම්මා තාත්තගේ ප්‍රශ්න දරුවන් අතරට ගෙන ඒමෙන් වැළකුණා.

අද දිනකට උසාවියක් ඉදිරියේ තිබෙන දික්කාසාද නඩු සංඛ්‍යාව මොන තරම් ද? අම්මා හෝ තාත්තා හෝ අහිමිවන දරුවන් මොන තරම් ඉන්නවා ද? මේ දරුවන්ගේ හිත් ඇතුළේ ඇවිළෙන ගින්න අම්මා, තාත්තා ම හැර වෙන කාට නම් නිවිය හැකි ද? ඔවුන් කොහේ නම් යන්න ද? ගුණාත්මක දරුවෙක් හැදෙන්නේ මව්පිය දෙදෙනාගේ ම රැකවරණය, පෝෂණය, ආදරය සමඟයි. එක් අතිරික්තයක් හෝ නො විය යුතුයි.

විවාහයක දී දෑවැද්දට මුල්තැන නොදී ධර්මාචාර්ය විභාගය, දහම් පාසල් අවසානය සමත් ද යන සුදුසුකම් සලකා බැලිය යුතු වන්නේ අනාගතයේ විය හැකි විවාහයෙන් වෙන්වීම වැනි ගැටලු අවම කර ගන්නට යි.

රටට වැඩ දායක, ජාතික ප්‍රතිපත්තියක් ඇති අධ්‍යාපනයක් ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවයක්. වහලය සිදුරු නම් වෑස්සෙන වැහි වතුරට පොල්කටු තබා පලක් නොවෙයි. කළයුතු වන්නේ වහලය හැදීම යි. තාවකාලික විසඳුම් නො සොයා ළමයා හදන, ඒ තුළින් අනාගතය හදන සාර්ථක වැඩ පිළිවෙළකට යාම අත්‍යවශ්‍ය යි. මව්පිය ගුරු වැඩිහිටි සෑම ඊට නායකත්වය දිය යුතු යි. එවිට අනාගතය ගැන බිය වන්නට සිදු නොවෙයි.