UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ සංස්කෘතියේ සජීවි නිදසුන... අසිරිමත් භූතානය

බෞද්ධ සංස්කෘතියේ සජීවි නිදසුන...

අසිරිමත් භූතානය

ලෝකයේ වැඩිපුරම සතුටින් ජීවත්වන ජනතාව සිටින රට කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී බොහෝ ප්‍රසිද්ධ, දියුණුයැයි සම්මත රටවල් ගණනාවක නම් සිහියට නැගෙනු ඇත. නමුත් ඒ සියලු රටවල් අභිබවා එක් අප්‍රසිද්ධ කුඩා රටක නම ඒ ප්‍රශ්නයට පිළිතුර ලෙසින් ඉදිරියට එනවිට ඔබ පුදුමයට පත්වනු ඇත. ඒ අසිරිමත් රට හෙවත් ලෝකයේ සතුටින්ම ජීවත්වන මිනිසුන් සිටින වාසනාවන්ත රට ලෙසින් භූතානය නමැති භූමි ප්‍රදේශය නම් කර ඇති හෙයිනි.

රාජකීය භූතානය එසේ හඳුනාගනු ලැබ ඇත්තේ Gross National Happiness  යන තේමාව යටතේ ලෝකය සිසාරා කරන ලද සමීක්ෂණයකින් අනතුරුව ය.

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන උත්තර කුරු (උතුරුකුරු දිවයින) රාජ්‍යය සිහිගන්වන මේ අසිරිමත් රට කෙසේ විය හැකි ද යන්න ගැන සොයා බැලීම සඳහා කලක පටන් පැවති මගේ ප්‍රාර්ථනය ඉටුකර ගැනීමට පසුගිය දිනක හැකියාව ලැබිණ.

භූතානය පිහිටා ඇත්තේ ලෝකයේ උසම කඳුයාය ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද හා සබැඳී හිමාලය ප්‍රාන්තයේ ය. මුහුදු මට්ටමින් අඩි 23000 ක (මීටර් 7000) උසක පිහිටි භූතානය වර්ෂයේ වැඩිම කාලයක් සීතල දේශගුණයෙන් යුක්ත ය. එකිනෙක පරයා ඉහළට නැගෙන කඳුයායෙන් සැදුම් ලද භූතාන අහසේ වැඩිපුරම දක්නට ලැබෙන්නේ පින්කමකට බඳීන ලද උඩුවියන් වැනි සුදුු පෑ වළාකුළු යායවල් ය. අපේ රටේ නුවරඑළිය වැනි සොබා දසුනින් යුතු වුව ද භූතානයේ ජනාවාස පිහිටා ඇත්තේ එකිනෙක දුරස්ථ ආකාරයෙනි.

බැහැර රටකින් පැමිණෙන සංචාරකයෙකු සත්‍ය වශයෙන් භූතානයේ සිදු කරන්නේ බෞද්ධ වන්දනා ගමනකි. එයට හේතුව සතියක් හමාරක් තිස්සේ සිදු කෙරෙන ගමනක දී හමුවන සෑම වැදගත් හා චිත්තාකර්ශනීය සංචාරක ස්ථානයක් ම බෞද්ධ සිද්ධස්ථානයක් වීම ය.

භූතානයට වජ්‍රයානය හා සබැඳී බෞද්ධ සම්ප්‍රදාය ටිබෙට් රටේ සිට සපැමිණි 15 වැනි සියවසේ සිට මේ දක්වා ඉදිකෙරුනු ලොකු කුඩා විහාරස්ථාන විශාල ප්‍රමාණයක් සංචාරකයන්ගේ ආකර්ශනයට යොමු වී ඇත. මේ අතරින් බොහෝ විහාරස්ථාන පිහිටා ඇත්තේ ඝන කැලෑවලින් වටවූ කඳුමුදුන් හි ය. මහත් ආශාවෙන් යුතුව ඒ ස්ථානවලට පිවිසෙන ආගන්තුකයෝ සිත් සේ ඒ ඒ ස්ථානයන් හි අසිරිය විඳ ගනිති.

බෞද්ධ නොවන අය ද ඉතා සන්සුන්ව හා සංවරව ඒ ඒ චාරිත්‍රවලට අනුගතව සැදැහැ සිතින් ගත කරන ආකාරය චිත්තාකර්ශනීය දසුනකි. ඉතා විවේකීව සතුටු සිතින් යුතුව ඇති තරම් වේලා ඒ ඒ ස්ථානයන්හි ගත කරමින් විස්තර දැක බලාගන්නට සංචාරකයන්ට ඉඩ ලැබී තිබෙන්නේ ඒ කිසිදු ස්ථානයක බාහිර බාධා කරදර නොතිබීම නිසයි.

කිසිදු තැනක සංචාරක වෙළෙඳුන්ගෙන් කරදර නැත. එසේ ම මගපෙන්වන්නන් හෝ විස්තර ප්‍රකාශකයන්ගෙන් ද කරදරයක් නැත.

ඒ ඒ ස්ථානවලට සම්බන්ධ විවිධාකාරයේ භාණ්ඩ නිෂ්පාදන පිරුණු වෙළෙඳසැල් පැවතිය ද ඒවායේ බලහත්කාරයෙන් බඩු විකුණුම් ද දක්නට නැත. කැමැති කෙනෙක් කැමති දෙයක් මිලට ගනිති. භාණ්ඩ හැම එකකම නියමිත මිලක් ඇති අතර හෙට්ටු කිරීම් කිසිතැනක නැත.

අදහාගත නො හෙන අනිත් පුදුමය නම් මේ කිසිදු ස්ථානයක හෝ නගරයේ කිසිදු තැනක සිඟන්නන් දක්නට නොලැබිම යි. එපමණක් නොව පැමිනෙණ පිරිස් වලින් මිල මුදල් හෝ කන බොන දෙයක් ඉල්ලමින් අතපාන කුඩා දරු දැරියන් ද නැත.

බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙන් ම භික්ෂුණීන් වහන්සේ ද භූතානයේ වැඩ වෙසෙති. භික්ෂූන් 30,0000 ක් භික්ෂුණීන් 18000 ක් ද වශයෙන් ගණනය වී ඇති අතර භික්ෂූන් ලාමා යන වදනින් ආමන්ත්‍රණය කරනු ලැබේ. පැවිද්ද ස්ව කැමැත්තෙන් ම සිදුවන අතර තාවකාලික පැවිද්ද ද බෙහෙවින් ජනප්‍රියව ඇත. ජීවිතයේ කෙටි කලක් හෝ පැවිදිව සිටීම අනිවාර්ය වශයෙන් සැලකෙන අතර වයස 7 සිට දරු දැරියන් ආරාමික ජීවිතයට හුරුකරවන අයුරු ද දක්නට ඇත.

නගරයේ හෝ ගමේ හෝ කිසිදු තැනක කුණු ගොඩවල් දක්නට නොමැත. නියමිත ලෙස ස්ථානගතකර ඇති කුණු බාල්දි මිස ඒවායින් පිටතට උතුරා යන කුණු කන්දල් ද, පාරවල තැනින් තැන හා විදුලි කණුවල එල්ලූ කුණු පාර්සල් ද මේ රටේ කිසිතැනෙක දක්නට ලැබෙන්නේ නැත.

රජයේ නීති මගින්, ධූමපානය වරින්වර පාලනය කෙරුනු අතර 2015 වසරේ සිට දුම්කොළ නිෂ්පාදන මෙන් ම දුම්වැටි වෙළෙඳාම සහ දුම්පානය ද සපුරා තහනම් කරනු ලැබ ඇත. සුරාපානය සම්බන්ධයෙන් ද තදබල නීති ක්‍රියාත්මක ය. විහාරස්ථාන, පාසල්, රෝහල්, විශ්වවිද්‍යාල හා පොදු රැස්වීම්ශාලා අසළ මද්‍යසාර වෙළෙඳාම තහනම් ය. එසේ ම මද්‍යසාර වර්‍ග පිටරටවලින් ආනයනය කිරීම ද නොකෙරේ. සෑම සතියකම අඟහරුවාදා රට පුරාම මත්පැන් වෙළෙඳසැල් වසා තැබිය යුතු ය.

ගව සම්පත යනු භූතාන වැසියන් විසින් අතිශයින් අර්ථවත් ලෙස ප්‍රයෝජනයට ගනු ලබන සම්පතකි. කිරි, ගිතෙල්, බටර්, චීස් ආදී නිෂ්පාදන රාශියක් ලබා ගන්නා අතර ම ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි කර්‍මාන්තය වෙනුවෙන් ද ගවයාගේ සහයෝගය ලබා ගැනේ.

මජ්ක්‍ධිම නිකායේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ දී අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ම කිසිදු නෑදෑයෙකුගෙන්වත් නොලැබෙන ආකාරයේ පස්ගෝරසය වැනි මහඟු සම්පත් ලබාදෙන මේ කල්‍යාණ මිත්‍රයා පිළිබඳ (නතං මාතා පිතා භාතා - අඤ්ඥේවාපි ච ඤාතකා) නිසි ගෞරවය ලබාදීමට භූතාන වැසියන් ක්‍රියාකරන ආකාරය කදිම ආදර්ශයකි. භූතානයේ ගව ඝාතනය සපුරා තහනම් කර තිබේ.

රටට අවශ්‍ය සත්ත්ව මාංශ පිට රටවලින් ආනයනය කෙරෙන අතර වර්‍ෂයේ පළමු සහ සිවුවැනි මාසවල මස් මාංශ පරිභෝජනය සපුරාම තහනම් කරනු ලැබ ඇත. භූතාන සංස්කෘතියෙහි චන්ද්‍රමාස ක්‍රමයට අනුව එම මාස දෙක ආගමික වැදගත්කමකින් යුතු කාලපරිච්ඡේද ලෙස සළකා, එසේ සම්මත කර ඇති මේ අභයදානය අප රටේ සිටි අමණ්ඩගාමිණී අභය මහරජතුමා (පොදුවර්‍ෂ 67 - 79) විසින් පනවන ලද “මාඝාත” නීතිය සිහිපත් කරවයි.

තිම්පු නගරයේ සිට සැතපුම් සිය ගණනක දුරින් පිහිටි පාරෝ, පුනකා, ත්‍රොන්සා, මොංගා ආදි ප්‍රධාන නගර වලට අනිකුත් කුඩා ගම්මාන හරහා ගමන් කරන සංචාරකයෙකුගේ සිත් පුදුමයට පත් කරවන අනිකුත් කරුණක් නම් කිසිම තැනක දුගී පැල්පත් දක්නට නොලැබීම යි.

සෑම පුරවැසියෙකුට ම ස්ථිර නිවාස පවත්නා අතර, සෑම නිවාසයක් ම රජයේ අනුමත සැලැස්මක් අනුව ඉදිකළ යුතු ය.

එනිසාම භූතානය පුරා පවත්නා සෑම නිවසක් ම බැලූ බැල්මට ඒකාකාර ස්වරූපයක් ගෙන තිබේ. විහාරස්ථාන ගොඩනැගිලි දැයි සිතෙන තරමටම ගිහි ජනයාගේ නිවාස ද කැටයම්වලින් සරසා ඇති අයුරු චිත්තාකර්ශනීය ය.

භූතාන ජනතාව ඒකාත්මික වශයෙන් සමඟි සංධානයෙන් බැඳ තබන කරුණු තුනක් තිබේ. එනම්, රජතුමා, රට සහ ආගම යන්න ය. සෑම නිවාසයක ම රජයේ හෝ පෞද්ගලික කාර්යාලයක, පාසලක, හෝටලයක හෝ නේවාසිකාගාරයක ම මෙන් ම විහාරස්ථානයකත් රජතුමාගේ හා රජ පවුලේ පින්තූර ගෞරවණීය ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය අංගයක්ව තිබේ. සංචාරකයන් තම රට වෙත ආකර්ශනය කර ගැනීමට භූතාන රජය උනන්දුවක් දක්වන්නේ නැත. එනිසා ම භූතානයට පිවිසීම සඳහා වූ වීසා ලබා ගැනීමේ දී නීති රීති රැසකට අවනත වීමට සිදුවී තිබේ. විවිධ හැසිරීම් හා පුරුදුවලට ඇබ්බැහිවූ පිටරැටියන්ගෙන් තම ජනතාව ආරක්ෂා කර ගැනීම එහිලා පදනම් වූ පරමාර්ථය වී ඇත.

රටතුලට පැමිණෙන සංචාරකයන් තමාට වුවමනා හැටියට හැසිරීම සපුරා තහම් ය. ඇඳුම් පැළඳුම් ඇතුළු සිරිත් විරිත් ද රටේ සංස්කෘතියට ගැලපෙන පරිදි විය යුතු ය. ඒ අනුව සෑම සංචාරකයෙකු ම රජයේ අනුමත සමාගමක ලියපදිංචි වී නියමිත මග පෙන්වන්නෙකු සමඟ ම ගමන් කළ යුතු ය. මග පෙන්වන්නන් සඳහා ද විශේෂ පාඨමාලාවක් සහිත විභාගයක් ඇත. ඔවුහු සංචාරකයන් සමඟ සිටින සෑමවිටක ම ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර ජාතික සිරිත් විරිත් හා ආයතනික සිරිත් විරිත් පිළිපැදිය යුතු ය.

අසීමිත ආශාවන් පසුපස්සේ හඹා නොයන, සීමිත අවශ්‍යතාවන් සපුරා ගනිමින්, කයේත්, මනසේත් සෞඛ්‍ය ආරක්ෂා කරගෙන විවේකයත් සමඟ ජීවත්වන, සිනාමුසු මුහුණින් යුතුව එකිනෙකා ඇසුරු කරන, ජන සමාජයක් යම් රටක සිටිනවා ද, ඒ රට දියුණුවේ ඉහළ ම තලයේ පවත්නා රට වශයෙන් නිගමනය කිරීමට, ඒ අනුව දියුණුවේ නිර්නායකයන් තීරණය කිරීමට දැන් කාලය පැමිණ ඇති බව සජීවී නිදසුන් අනුසාරයෙන් තීරණය කරන්නට භූතානය නමැති කුඩා රාජ්‍යය සමස්ත ලෝකයටම බලගතු වූ විධානයක් කරමින් සිටියි.දුටු දුටුවන් සිත් සනහන, ඇසු ඇසුවන් පවා ප්‍රාර්ථනා පූර්‍වක කරවන භූතානය නමැති මේ සාමකාමී, අහිංසක, ප්‍රීතිමත් ජනරාජ්‍යය බිහිකරලීමේ ආත්මීය ශක්තිය ලබාදී ඇත්තේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ජීවන දර්ශනය මිස වෙන කිසිදු දේශපාලන න්‍යාය ධර්‍මයක් නොවේය යන්න අවිවාදිතව පිළිගතයුතු සත්‍යය වන්නේ ය.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]