UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිර්මාණ ශිල්පයේ ඉණි මං බඳින කලාකාමියා

නිර්මාණ ශිල්පයේ ඉණි මං බඳින කලාකාමියා

විශ්මිත නිර්මාණ රටේ ප්‍රෞඪත්වය විදහා දක්වයි. හෙළ රජ දවස බිහිකළ ශෛලමය නිර්මාණ විරාජමානව පැවතීමෙන් රටේ ඓතිහාසිකත්වය කියාපානු ලැබේ.

අද නිමැවෙන එබඳු දෑ මගින් අපේ කලා කෙත අස්වද්දන අතර එය අනාගතයේ දී ඓතිහාසික නිර්මාණ බවටද පත් වේ.


වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ


නැවකඩ නිර්මාණය වෙමින් පවතින ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

මහ කළුගල් මතින් නිමැවෙන මෙත්, කරුණා, ගුණ විදහා දැක්වෙන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ දුටුවන්ගේ සිත් පහන් කරවයි. ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ කොරවක්ගල්, පුන්කලස්, සඳකඩපහන්, පියගැට පෙළ ඇතුළු විවිධ කැටයම් භාණ්ඩ නිපදවීමෙන් කලාකෙත පෝෂණය කිරීමත්, තවත් විශාල පිරිසකට එමගින් රැකියා අවස්ථා උදාකරදීමටත් මග පාදාගත් ව්‍යාපාරික නිර්මාණ ශිල්පියෙකු ගැනයි මේ සටහන තැබෙන්නේ.

තමන් උපයන ධනයෙන් ශක්ති පමණින් ශාසන චිරස්තිථිය පතා කරන මෙහෙවර අගය කළ යුතු වේ.

ඔහු ගම්පහ දිසාවේ මිනුවන්ගොඩ පත්තඬුවන ග්‍රාමයේ දී උපත ලද හපුආරච්චි ගේ චන්ද්‍රා ලීලානන්ද වික්‍රමසිංහ මහතා ය. ඒ මහතා මුල්ගුරු දෙපළකගේ එකම පුත්‍රයා ද විය. පොල්වත්ත විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත.

මරදාන කාර්මික විද්‍යාලයෙන් ලෝහ හා මෝටර් කර්මාන්තය පිළිබඳව පාඨමාලාවක් හදෑරූ ඒ මහතාට ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි බිලායි කර්මාන්ත ආයතනයේ කාර්මික ශිල්පය හැදෑරීමට ශිෂ්‍යත්වයක්ද ලැබිණි. රුසියාවේ යුක්රේන් කර්මාන්ත ශාලාවේ වානේ යන්ත්‍ර සූත්‍ර හා ඉදිකිරීම් පිළිබඳ පුහුණුවක්ද ලබා ඔරුවල වානේ සංස්ථාවේ සේවයට එක් විය.

ඒ මහතා දස වසරක් වූ එම සේවයෙන් ඉවත්ව 1972 දී සේවකයන් දෙදෙනෙකු සමඟ තමන්ගේම ආයතනයක් ලෙස මිනුවන්ගොඩ ස්ටාර් ඉන්ඩස්ට්‍රීස් ආයතනය ආරම්භ කළේ ය. එ මගින් පා පැදියට අවශ්‍ය උපකරණ සහ යතුරු පැදි සඳහා අවශ්‍ය අමතර කොටස් නිපදවීය. අත් ට්‍රැක්ටරය සහ අන්තර් දහන ඇන්ජිමක් නිපදවීමටද සමත් වූයේය. වතුර පොම්ප, වෙල්ඩින් ,ට්‍රාන්ස්පෝමර්, බැටරි චාජර් සහ විදුලිපංකා ද දේශීය වශයෙන් නිපදවා එකල වෙළෙඳපළට හඳුන්වා දෙනු ලැබී ය.

මෙසේ කාලය ගෙවී යන අතරතුර කලකට පසු ඒ මහතා කළුගල් උපයෝගී කර ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කළේ ය. ඒ අනුව ග්‍රැනයිට් ,ප්ලෝ ටයිල්, ග්‍රැනයිට් පැන්ට්‍රි හා වැනිටි ටොප් සහ ප්‍රතිමා සහ සියලුම කළුගල් කැටයම් භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කළේ ය.

කළුගල් අවශ්‍ය පරිදි ඉරා ගැනීම, පොලිෂ් කිරීම සඳහා අදාළ යන්ත්‍ර ස්ටාර් ඉන්ඩ්‍රස්ට්‍රීස් ආයතනයේ දීම පරණ යකඩ, වාහන එන්ජින් ආදිය උපයෝගී කර ගනිමින් නිපදවා තිබීම ද සුවිශේෂි වේ.

ස්ටාර් ග්‍රැනයිට් ආයතනය මගින් කළුගලින් නිර්මාණය කර ඇති ආගමික හා විවිධ කාර්යයන් රැසක් ඇත. ඒ සඳහා විශාල පරිශ්‍රමයක් මෙන් ම අධ්‍යයන ගණනාවක් ද සිදුකර ඇත. විදේශීය සහභාගිත්වයක් හෝ උපදේශකත්වයක් නොමැති ව මෙරට ශ්‍රමිකයන් වෙත ශිල්පීය ඤාණය ලබා දී එම කටයුතු සඳහා යොදාගෙන ඇත.

ඉවත දමන ලද යන්ත්‍ර කොටස් උපයෝගී කර ගනිමින් අවශ්‍යතාවය මත යන්ත්‍ර නිපදවා එම කාර්යයන් කර ගෙන යයි.

ජපානය, රුසියාව, ඉන්දියාව වැනි රටවල අධ්‍යයනය ලබා ඇති ඒ මහතා පාෂාණ නිම්න පිළිබදව අධ්‍යනයක් ලබා ගැනීම සඳහා සංචාරය කරන බවද කියයි .ඊජිප්තුව, චීනය, ඉතාලිය, තායිලන්තය ,වියට්නාමය ආදි රටවල අධ්‍යයන චාරිකා සිදුකර ඇත. සාර්ථක නිර්මාණයන් එහි ප්‍රතිඵල බවද කියයි.


එච්.සී.එල්. වික්‍රමසිංහ

ඒ මහතාගේ ශෛලමය නිර්මාණ විදේශීය රටවල බෞද්ධ සහ වෙනත් ආගමික මධ්‍යස්ථානවලටද සපයා ඇති බවද කියයි. ඒ අතර එංගලන්තය, අමෙරිකාව, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය, තායිලන්තය, බංගලිදේශය ආදි රටවල් වේ.

සෑම විහාරස්ථානයකටම පාහේ ඉතා ම කුඩා හෝ ශෛලමය නිර්මාණයක් පහසු මිලකට සැපයීම ද ඔහුගේ අපේක්ෂාව යි. එනම් මල් අසුනක්, ශෛලමය කුඩා පහනක් , ගල් පඩියක් , පැන් බඳුනක්, සඳකඩ පහනක් හෝ මුරගලක් සැපයීමයි.

එම ආයතනය මගින් මේ වන විට සිදු කර ඇති නිර්මාණ අතර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වටා නිමවා ඇති සඳකඩපහණ, මුරගල්, කොරවක්ගල්, පුන්කලස්, ස්ථම්භ සහ පියගැට පෙළ කිහිපයක්, කැලණි රජමහා විහාරයේ ගජසිංහ රූප සහිත පියගැට පෙළ කිහිපයක් , මණිඅක්ඛිත නා රජුගේ ශෛලමය ප්‍රතිමාව,කළුතර බෝධින් වහන්සේ වටා තනවා ඇති බෝධිඝරය සහ කැටයම් නිර්මාණ, වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ නිර්මාණය කර ඇති අඩි 42 ක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ, නැවකඩ ඉදිවෙමින් පවතින අඩි 60 ක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ, සෝමවතී සෑ රදුන් අසල ප්‍රතිමා වහන්සේ, දැදිගම කොට වෙහෙර ඇත් රූප, තන්තිරිමලයේ සංඝමිත්තා ප්‍රතිමාව, රුවන්වැලි මහ සෑයේ මකර තොරණ, අනුරාධපුර පළාත් සභා සංකීර්ණයේ බුදුමැදුර ආදිය වේ. එමෙන්ම ශෛලමය නිර්මාණ නිවෙස්වලටද හඳුන්වා දී ඇත. ඒ බුදුමැදුරු,මල්පැල් ආදිය මගිනි.

නවීන ශිල්පක්‍රම හඳුන්වා දී කුඩා ගෘහස්ථ නිර්මාණ වශයෙන් සංචාරක ව්‍යාපාරයට අදාළ කුඩා සිහිවටන නිපදවන පිරිසක් පුහුණුකර සහාය දී මෙරට අනන්‍යතාව ලොවට ගෙනයාමට හැකි බවද ඒ මහතා කියයි.

මෙරට ශෛලමය නිර්මාණ කලාව පෝෂණයට මහත් මෙහෙවරක් කර ඇති අතර කෘත්‍රිම භාණ්ඩ වෙනුවට ශෛලමය නිෂ්පාදනවලට විශාල ඇල්මක් මෙරට ජනතාව තුළ පවතින බවද ඒ මහතා කියයි.

එම ආයතනය මගින් මුදලට වඩා පරිත්‍යාග ලෙසද භාණ්ඩ පිරිනමා ඇති බවද කියයි. රැකියා විරහිත අයට කර්මාන්තයක් සඳහා කැපවී ජීවන වෘත්තියක යෙදීමට ශිල්ප දැනුම ලබාදීමට ද ඔහු කැමැත්තෙන් පසුවේ.

ධාර්මික ධනෝපායන මාර්ගය ජීවනෝපාය මාර්ගය කරගත් ඔහු පවසන්නේ මුදල් ඉපයීමේ මූලික පරමාර්ථය පමණක් මුල්කර ගන්නේ නම් එය සාර්ථක නොවන බවයි. පිළිම වහන්සේ නමක් නෙළන නව ශෛලමය නිර්මාණයක් කර ලබන සිතේ සතුට සියල්ලට වඩා වටිනා බව වික්‍රමසිංහ මහතාගේ තේමා පාඨයයි.

සම්භාවනීය මහ සඟරුවනින් මෙන් ම ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් , විද්වතුන්ගෙන් මීට ලැබෙන සහායට ද ඒ මහතා කෘතවේදිත්වය පළ කරයි. කුඩා කළුගල් කැබැල්ලක් වුව ද නිර්මාණයක් කළ විට එය ධනයයි. එබැවින් යම් භාණ්ඩයක් නිපදවීමට සලස්වාදීම සහ අපනයන වෙළෙඳ පොළක් හඳුන්වාදීම අපහසුතාවයක් නොවන බව ද වික්‍රමසිංහ මහතාගේ අදහසයි.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]