Print this Article


දස පාරමිතා කතා 03 : නෙක්ඛම්ම පාරමිතාව

දස පාරමිතා කතා 03

නෙක්ඛම්ම පාරමිතාව

චුල්ලසුතසෝම ජාතකය

ඈත අතීතයේ අප මහ බෝසතාණන් වහන්සේ දඹදිව බ්‍රහ්මදත්ත රජතුමාගේ පුත් කුමාරයෙකු වී උපන්නා. මේ බෝසත් කුමාරයා හරිම පියකරුයි. මුහුණ පුන්සඳක් වගේ. ඒ නිසාම කුමරුට ‘සෝම නස්ස’ කියන නම තැබුවා.

සෝමනස්ස කුමරු හරිම ගුණවත්. ඒ වගේ ම නැණවත්. බොහොම කරුණාවන්තයි. ඒ නිසාම රටේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ කෙනෙක් වුණා. සෝමනස්ස කුමරුට ‘සුතසෝම’ යන නමත් පට බැඳුණා.

කුමරු නිසි වයසට ආ කල හොඳින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. ටිකෙන් ටික තරුණ වයසට එළඹියා. පිය රජතුමාවිසින් තරුණ කුමාරයාට ‘චන්ද්‍රා’ නම් කුමරියක සරණපාවා දුන්නා. රජකම ද පැවරුවා. ‘සුතසෝම’ රජු නමින් ජනතාව අතර ප්‍රසිද්ධ වුණා.

සුතසෝම රජු හරිම දැහැමියි. රට වැසියන්ට ආදරෙයි. ඉතාම හොඳින් රට පාලනය කළා. ටික කාලයක් ගත වුණා. රජතුමාට ගිහි ගෙදර ගැන කළකිරීමක් ඇති වෙන්නට පටන් ගත්තා.

දවසක් තමන්ගේ කරණවෑමියාට කතා කළා.

“කරණවෑමිය, මා ටිකෙන් ටික වයසට යන බව දැනෙනවා. මාගේ හිසෙහි ඉදුණු කෙසක් (නර කෙසක්) දුටුවොත් වහාම ඒ ගැන මට කියන්නට ඕනෑ” යි රජතුමා කීවා.

ටික කාලයක් ගත වුණා. දවසක් රජතුමාගේ හිස රවුල් බාන අතරේ කරණවෑමියා ඉදුණු කෙසක් දුටුවා. වහාම රජතුමාට ඒ බව දැනුම් දුන්නා.

“දැන් මා මහලුවෙලා. රජ සැප වින්ඳා ඇති. මහණ වෙන්න යන්නට ඕනෑ” රජතුමා සිතුවා. තමන්ගේ දරුවන්, බිසෝවරු, මැති ඇමැතිවරු, කැඳවූවා. අර නර කෙස ඔවුන්ට පෙන්වා.

“දරුවනි, දැන් මා මහලුවෙලා. මහණ වෙන්නට යා යුතුයි.” යැයි දැනුම් දුන්නා.

රජතුමා කරන්නට යන දේ ගැන හැමෝටම හරිම දුකයි.

“අනේ! අපේ රජතුමා මොන තරම් කරුණාවන්ත ද? අපි මොන තරම් සතුටින් ජීවත් වෙනවා ද?” යි කියමින් රට වැසියන් පවා හඬා වැළපෙන්නට පටන් ගත්තා. මොන තරම් කරුණු කීවත් රජතුමා තමන්ගේ අදහස වෙනස් කළේ නෑ. පැවිදි වුණා. සියලු දෙනා හඬා වැටෙද්දී ම හිමාලය වනය බලා ගියා.

රජතුමා පැවිදි වූ නිසා එතුමාගේ මවුපිය දෙදෙනාත් පැවිදි වුණා. නෑදෑයෝ, රටවැසියෝ බොහෝ දෙනෙක් පැවිදි වුණා.

“නෙක්ඛම්ම” ලෙස හැඳින්වෙන්නේ මේ විදියට ගිහි ගෙයි සියලු සැප සම්පත් හැර දමා පැවිදිවීමයි. මතු බුදු බව අපේක්ෂාවෙන් බුදුවීමේ මඟක් ලෙස එය අනුගමනය කිරීම නෙක්ඛම්ම පාරමිතාවයි.

බෝසතාණන් වහන්සේගේ චරිතයේ නෙක්ඛම්ම පාරමිතාව පූරණය කළ අවස්ථා රැසක් පිළිබඳ ව ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගතයි. මඛාදේව ජාතකය, හත්ථිපාල ජාතකය, මහා ජනක ජාතකය, සුසීම ජාතකය, අයෝඝර ජාතකය ඉන් කිහිපක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.