Print this Article


සකු බසින් දෙන බොදු ඔවදන්

සකු බසින් දෙන බොදු ඔවදන්

ලෝකයේ විවිධ භාෂාවන් වේ. සමහර භාෂාවන්හි සාහිත්‍ය බස හැසිරවීම ඉතා ළගන්නා සුළු ය.

භාෂාවක් සුන්දර වන්නේ එම භාෂාවේ වචන ප්‍රමාණයට නොවේ. ව්‍යාකරණ ප්‍රමාණයට ද නොවේ. එයින් සමාජයට දෙන වැදගත් පණිවුඩ තුළිනි. සංස්කෘත භාෂාව යනු ඉන්දීය ආර්ය භාෂාවකි. මෙම ඓතිහාසික භාෂාවේ සඳහන් ගීතිකා හඳුන්වන්නේ ‘ශ්ලෝක’ නමිනි.

මෙම ශ්ලෝක මඟින් සංස්කෘත පඬිවරු සමාජයට පුළුල් අවබෝධයන් සම්ප්‍රේෂණය කරති. ඒ විවිධ මාතෘකාවන් ඔස්සේ ය. සමාජ විද්‍යාත්මක වශයෙන්, ආගමික වශයෙන්, දන් දීමේ වටිනාකම් වශයෙන්, අධ්‍යාත්මික වශයෙන්, න්‍යායාත්මක වශයෙන් ලෙසිනි.

‘දානය’ සම්බන්ධව පණිවුඩයක් සමාජ ගත කරන පඬිවරයා මෙසේ පවසයි.

‘දෙයානි තෘණ පර්නානි - ශුද්ධෙන මනසාර්ථිතේ
තදභ්‍යාසෝචිතාත් ත්‍යාගාත් - ස්වාමාංශ ත්‍යාග කාරණම්’

ඉහත සඳහන් ශ්ලෝකයෙන් පැහැදිලි කරන්නේ යමෙකුට දන් දීමට වත්කමක් නැති නම් තණ පතක් හෝ දන් දෙන ලෙසය. ඒ තුළින් මේ අදහස් පිළිබඳව විමංසන බුද්ධියෙන් සිතිය යුතු ය.

අපි දන් දෙන්නේ ඇයි? තෘෂ්ණාව නැතිකර ගැනීමටය. තෘෂ්ණාව ඇති තැනැත්තාගේ සසර භවය සුවපත් නොවේ. ‘අඳුරෙන් අඳුරට’ යයි. තෘෂ්ණාව පිළිබඳව පෙන්වා දෙන සකු පඬිවරයා,

‘වලිභිර්මුඛ මාකෘන්තඞ - පලිතෛඞ රංජිතං සිරඞ
ගාත්‍රානි සිතිලා යන්තේ - තෘෂ්ණෛකා තරුණායතේ’

වයසට යත්ම මුහුණ රැළි වැටෙයි. කෙස් වැටෙයි. ශරීරය සිසිල් වෙයි. (අප්‍රාණික වන බැවිනි) නමුත් තෘෂ්ණාව අනිත්‍යයට නොයයි. එය තරුණයෙකු ලෙස සැමදා ලෝභකමෙන් වැජඹෙයි. ඉහත ශ්ලෝකයෙන් සඳහන් කරන්නේ බෞද්ධ සම්ප්‍රදායයි. බොහෝ දෙනෙක් වයසට ගිය ද තෘෂ්ණාව, ලෝභකම අතහරින්නේ නැත. එය සසර බිය වැඩි කිරීමකි. සැප දුක පිළිබඳව පෙන්වා දෙන සංස්කෘත පඬිවරයා එය පවසන්නේ මෙසේ ය.

“සුඛස්සානත්තරං දුඞඛං - දුඞඛස්සානත්තරං සුඛං
චක්‍රවත් පරිවර්ථන්තේ - දුඞඛානිච සුඛානිච”

සැපයට පසු ව දුක පැමිණෙන බවත් දුකට පසුව සැප පැමිණෙන බවත් සැප දුක කරත්තයේ රෝදය සේ වෙනස් වන බවත් පෙන්වා දෙයි. මෙයින් බුදුරදුන් දෙසූ අට ලෝ දහමේ පණිවුඩය පෙන්වා දෙයි. එසේම සමාජයට ඉතා අර්ථාවින්ත ශ්ලෝක ද බොහෝ ය.

‘නරස්සාභරණං රූපං - රූපස්සාභරණං ගුණං
ගුණස්සාභරණං ඥානං - ඥානස්සාභරණං ක්ෂමා”

මිනිසාට ඇති ආභරණය රූපයයි. රූපයට ආභරණය ගුණයයි. ගුණයට ආභරණය ඥානයයි. ඥානයට ආභරණය ඉවසීමයි. එසේ නම් ඥානවන්තයාගේ ලක්ෂණය ඉවසීමයි. එය ‘පාරමිතා’ ධර්මයක් ද වන්නේ ය.

අධ්‍යාපනික වශයෙන් කරුණු පෙන්වා දෙන සංස්කෘත පඬිවරයා.

විද්‍යා දදාති විනයං - විනයද්‍යාති පාත්‍රතාම්
පාත්‍රාත්වා ධන මාප්නෝති - ධනද්ධර්මං තතඞ සුඛං

ඉහත ශ්ලෝකයෙන් පෙන්වා දෙන්නේ විද්‍යාවෙන් විනය දෙන බවත්, විනය හේතුකොටගෙන ගෞරවයට පාත්‍ර වන බවත්, ගෞරවය තුළින් ධනයට පැමිණෙන බවත්, ධනය හේතු කොටගෙන සැපයට පැමිණෙන බවත් ය.

මෙහිදී ද විනයෙහි තිබෙන වටිනාකම පැහැදිලි කරමින් බෞද්ධ දර්ශනයේ හරය වන විනය තුළින් ලැබෙන ප්‍රයෝජන පෙන්වා දෙයි. එසේ නම් මේවා දැන ගෙන අවබෝධයෙන් ප්‍රඥාව කරා යන්නට ඔබ සැමට හැකිවේවා!