Print this Article


වක්ඛ පංචකය

වක්ඛ පංචකය

සිරුරෙහි තිබෙන කොටස් තිස් දෙක කායගතාසති භාවනාවට ඇතුළත් වේ. එය දෙතිස් කුණුප භාවනාව යි. අසුභ වශයෙන් සැලකීම අසුභ භාවනාව යි. කය අනුව බැලීම කායානුපස්සනා සතිපට්ඨානය යි.

කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨී, අට්ඨි මිජ්ජා, වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්ත ගුණං, උදරියං, කරීසං, මත්තලුංගං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු , වසා, කේලෝ, සිංඝානිකා, ලසිකා, මුත්තං ආදී කොටස් තිස්දෙක කායගතාසති භාවනාවට ඇතුළත් වේ.

සතිපට්ඨාන සූත්‍රය, කායගතාසති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ආදී බොහෝ සූත්‍රවල කායගතාසති භාවනාව සඳහන් වෙයි. විශුද්ධි මාර්ග අට්ඨ කථාවේ එය ඉතාමත් ම හොඳින් පැහැදිලි කරයි. පාඨක ඔබ සියලු දෙනා ම මෙම කොටස් තිස්දෙක කටපාඩම් කර ගන්න.

තච පංචක භාවනාව පසුගිය ලිපි මඟින් සඳහන් කළා සේ ම මංසං(මස් පිඬු), නහාරු(නහර) අට්ඨි(ඇටකටු) , අට්ඨි මිජ්ජා(ඇට මිඳුළු), වක්කං(වකුගඩු) කරුණු පහ පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න.

මස් පිඬු වර්ණයෙන් පිළිකුල් ය, සටහනින් පිළිකුල් ය, ගන්ධයෙන් පිළිකුල් ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය. මෙසේ අනෙක් කොටස් ද මෙනෙහි කරන්න. ඉන්පසුව මේ ශරීරයෙහි මස් පිඬු සත්ත්වයෙක් නොවෙයි, පුද්ගලයෙක් නොවෙයි, ආත්මයක් නොවෙයි, නිසත්ත්ව වූ, නිජීවි වූ, ශූන්‍ය වූ, අචේතනික වූ, අව්‍යාකෘත වූ, පඨවි , ආපෝ, තේජෝ, වායෝ ධාතු මාත්‍රයකි. එමනිසා මේ ශරීරයෙහි මස් පිඬු අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. යනුවෙන් ඉහත සඳහන් කළ අනෙකුත් කොටස් ද දිගටම (නහර, ඇටකටු, ඇට මිදුළු, වකුගඩුව) මෙනෙහි කරන්න. මේ දහය මෙනෙහි කිරීම හඳුන්වන්නේ වක්ඛ පංචකය යනුවෙනි. පෙර සඳහන් කළේ තච පංචකය යි. සම කෙළවර කොට ඇත්තේ තච පංචකය යි. වකුගඩුව කෙළවර කොට ඇත්තේ වක්ක පංචකය යි. මේ පාඩම හොඳින් ඉගෙන ගන්න. හොඳට කියවා දැනුම ලබා ගන්න, හොඳින් භාවිත කරන්න, හොඳින් සිතින් මෙනෙහි කරන්නට පුරුදු වෙන්න. සිහි නුවණින් මෙම අරමුණු මෙනෙහි කළොත් බොහොම සාර්ථකව ඉදිරියට යන්නට පුළුවන්.

තාපසාරාමවල ඇතැම් සතුන්ට පවා මේ භාවනාව මෙනෙහි කරන්න කියා දී තිබෙනවා. එක්තරා තිරිසන් සත්ත්වයෙක් අට්ඨි යනුවෙන් මෙනෙහි කළ කමටහන නිසා මතු භවයක දී ස්වාමීන් වහන්සේ නමක් රහත් මඟ ඵල ලැබුවා.

මේ භාවනාව සිය දහස්වර මෙනෙහි කිරීමෙන් තමන්ට ඇත්ත ඇති සැටියෙන් වැටහෙනවා. කෙනෙක් මිය ගිය විට ඒ මෘත ශරීරය බෙහෙත් නොගල්වා තබාගන්නට පුළුවන් වන්නේ දිනයයි, දෙකයි. ඉන්පසු දුගඳ හමනවා. ඒ ශරීරය අසුභ වාදී නිසයි. සිරුර ශුභ වශයෙන් බලන්නේ අනුවණයා පමණ යි. මේ ශරීරය අශුභ වශයෙන් ම බැලිය යුතුයි. එය නුවණැත්තාගේ ස්වභාවය යි.

එක්තරා කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් තම ගුරු ස්වාමීන් වහන්සේ සමඟ ගමනක් වඩිද්දී වෙනත් මාවතක් වෙත වැඩම කළා. එහ ිදී මේ සාමණේර ස්වාමීන් වහන්සේට මෘත ශරීරයක් හමු වුණා. එය ඕජස් ගලන, පණුවන්ගෙන් පිරුණු, ඉදිමුණු මෘත ශරීරයක්. මේ මෘත ශරීරය දෙස බලා මා ද මේ තත්ත්වයට පත් වෙන බව සිතා තමන්ගේ ශරීරයට එය සන්සන්දනය කළා. මේ මෘත ශරීරය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි, මගේ ශරීරය ද අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්මයි, යනුවෙන් පිළිකුල් වශයෙන් විවිධාකාර ක්‍රම වලට මෙනෙහි කළ කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ සෝවාන්, සකෘදාගාමී , අනාගාමී මාර්ග ඵල ලැබුවා. ඒ මොහොතේ ලොකු ස්වාමීන් වහන්සේ ද කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ ප්‍රමාද වීමට හේතුව විමසුවා. එවිට කුඩා සාමණේර නම ගුරු ස්වාමීනි, මේ මාවත දෙසට ඔබ වහන්සේ ත් වඩින්නැ’යි වදාළා. එහි දී ගුරු හාමුදුරුවන් ද මේ මෘත ශරීරය දැක මෙනෙහි කිරීමෙන් අශුභය වටහා ගත්තා. ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් වටහා ගෙන මෘත ශරීරයත් තමන්ගේ ශරීරයත් අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කළා. ගුරු ස්වාමීන් වහන්සේ ත් කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ සේ ම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මාර්ගත්‍රය ලැබුවා.

එසේනම්, ඔබ ත් ශරීරයේ පිළිකුල් බව මෙනෙහි කර ජීවිතය අස්ථිරය , මරණය ස්ථිරය යනුවෙන් වටහා ගන්න. මේ ශරීරයෙන් ගත යුතු කිසිම දෙයක් නැති බව හොඳින් තේරුම් ගෙන ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කරන්න. එය අනන්ත වාරයක් මෙනෙහි කරමින් භාවනාව ඉදිරියට දියුණු කළ යුතුයි.