Print this Article


ඡන්දය: කැමැත්තෙන් දියුණු කළ යුතු කැමැත්ත

ඡන්දය:

කැමැත්තෙන් දියුණු කළ යුතු කැමැත්ත

" චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මෙන් ම අනෙක් හැම දෙයකට ම මුල් වන්නේ ඡන්දය යි. විභාගයක් කරන දරුවෙකුට ඒ සඳහා ඡන්දය අවශ්‍ය වෙනවා. ඒ වගේ ම තමන් කරන ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගන්නටත්, රැකියා කටයුතු සාර්ථක කර ගන්නටත්, වෙන ඕනෑම දෙයක සාර්ථකත්වයට ඡන්දය අවශ්‍ය වෙනවා."

ජීවිතයේ වටිනාකමින් යුතු යම් දෙයක් හෝ, අත්හැරිය යුතු යම් දෙයක් සිදු කිරීමේදී වුවමනා කරන මූලික සාධකය කුමක් ද? කියා යමෙක් ඇසුවොත් තථාගත ධර්මය ඔස්සේ එයට නිවැරැදි පිළිතුරක් දිය හැකි යි. එනම් ඒ දෙයට ඇති කැමැත්ත යි. නැත්නම් ඡන්දය යි.

බුදුරජාණන් වහන්සේ වදාළේ ‘ඡන්ද මූලිකා’ ඕනෑම දෙයකට මුල් වෙන්නේ ඡන්දය වන බවයි. ඡන්දය නම් කුමක්ද? ඡන්දය නිසා කෙනෙකුගේ ජීවිතය වෙනස් කර ගත යුත්තේ කෙසේද? වෙනස් වන්නේ කෙසේද? යන කාරණා විමසා බලමු.

අප දුරු කළ යුතු දේ අතරත්, වැඩිය යුතු දේ අතරත් ඡන්දය එසේත් නැතිනම් කැමැත්ත ඇතිබව ධර්මයේ පෙන්වා දෙනවා. කාමච්ඡන්දය, ඡන්ද රාගය ආදි ඡන්ද දුරු කළයුතු වෙයි. එය ‘කොට්ඨිත සූත්‍රයේ’ තිබෙන එක්තරා උපමාවකින් පැහැදිලි කර ගත හැකියි. එහිි දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොට්ඨිත රහතන් වහන්සේට දේශනා කරනවා පින්වත් කොට්ඨිතයනි, මේ ඇස හෝ රූපය නොවේ අපට තිබෙන ප්‍රශ්නය ඡන්ද රාගය යි. පින්වත් කොට්ඨිත, කළු හරකෙක් සහ සුදු හරකෙක් ඉන්නවා. මේ දෙදෙනා ම එක කඹයක කොන් දෙකේ ගැට ගසා තිබෙනවා. දැන් හරක් දෙදෙනා දෙපැත්තට අදිමින් දෙදෙනාට ම යන්නට බැරිව ඉන්නවා. මෙය දකින කෙනෙක් හිතනවා සුදු හරකාට යන්නට බැරි කළු හරකා නිසා කියා. තව කෙනෙක් හිතනවා මේ කළු හරකා නිසා සුදු හරකාට යන්න බැහැ කියා. නමුත් බුද්ධිමත් පුද්ගලයා දකිනවා මේ හරක් දෙන්නා ම නොවේ, කඹය නිසා මේ දෙදෙනාට යන්නට බැහැ කියා. ඒ වගේ ප්‍රශ්නය ඇතිවෙන්නේ ඇස හෝ රූපය නිසා නොවේ. අනවබෝධයෙන් ඇතිවන ඡන්ද රාගය නිසයි.

ඡන්දය වැඩෙන තැන තිබෙන්නෙත් ඡන්දයක් ම යි. දිනක් ආනන්ද ස්වාමින් වහන්සේ කෙරෙහි කාමච්ඡන්දය ඇතිකරගත් භික්ෂුණියක් තමන්ගේ කුටියට උන්වහන්සේ ගෙන්වා ගැනීමට සිතා තමන් අසනීප බව ආනන්ද ස්වාමින් වහන්සේට දන්වා යවනවා. ආනන්ද තෙරුන් ඇයට ධර්මයෙන් අවවාද කිරීමට සිතා ඇයගේ කුටිය වෙත වඩින විට ඇය වෙන වැඩක නිරත වෙමින් සිටින බව ආනන්ද හිමියන් ඈත සිට ම දකිනවා. ඒ භික්ෂුණිය ආනන්ද හිමියන් දුටු වහා ම ඇඳට ගොස් රෙද්දක් පොරවාගෙන සිටිනවා. උන්වහන්සේ කියනවා "පින්වත් නැගණිය, තණ්හාව දුරු කරන්න තණ්හාව ප්‍රයෝජනයට ගන්න. ඡන්දය දුරු කරන්න, ඡන්දය ප්‍රයෝජනයට ගන්නයැයි වදාළා. එසේ වදාළේ ඒ භික්ෂුණිය ළඟ ඒ අවස්ථාවේ කාමච්ඡන්දයක් පැවතුණ නිසයි. එය දුරු කරන්න වැඩිය යුත්තේ ඡන්දය ම යි.

ඒ වගේ ම කෙනෙක් පිරිහෙන්නට ද ඡන්දය බලපානවා. දේවදත්ත හිමියන් ඊට හොඳම උදාහරණයක්. උන්වහන්සේට ඡන්දයක් තිබුණා. ඒ සම්බුද්ධත්වය කෘත්‍රිම ආකාරයට තමන් වෙත පවරා ගන්නටයි. බුදුරජාණන් වහන්සේට ලැබුණ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවට ඇතිවුණ කාමච්ඡන්දය නිසා දේවදත්ත පිරිහුණා.

ඒ නිසා අපට පැහැදිලියි කෙනෙක් නිරයේ උපත ලබන්නේ ඡන්දය වැරැදියට පරිහරණය කරලා. කෙනෙක් තිරිසන් ලෝකයේ යන්නේ ත්, තව කෙනෙක් පේ‍්‍රත ලෝකයේ ඉපදෙන්නේ ත්, තව කෙනෙක් අසුර ලෝකයේ ඉපදෙන්නේ ත් ඡන්දය වැරැදියට පරිහරණය කිරීම නිසයි. ඒ වගේ ම කෙනෙක් මනුස්ස ලෝකයට එනවා ද, කෙනෙක් දෙව්ලොව යනවා ද, කෙනෙක්, බඹ ලොව යනවා ද, කෙනෙක් සෝවාන් වෙනවා ද, සකෘදාගාමි වෙනවා ද, අනාගාමි වෙනවා ද, අරහත්වයට පත්වෙනවා ද? කලාතුරකින් උතුම් සම්බුද්ධත්වයට පත්වෙනවා ද මේ හැම දෙයකමට මුල් වුණේ ඡන්දය යි. නැතිනම් කැමැත්ත යි.

ඒ නිසා අප තේරුම් ගත යුතුයි චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මෙන් ම අනෙක් හැම දෙයකට ම මුල් වන්නේ ඡන්දය වන බව. විභාගයක් කරන දරුවෙකුට ඒ සඳහා ඡන්දය අවශ්‍ය වෙනවා. ඒ වගේ ම තමන් කරන ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගන්නටත්, රැකියා කටයුතු සාර්ථක කර ගන්නටත්, වෙන ඕනෑම දෙයක සාර්ථකත්වයට ඡන්දය අවශ්‍ය වෙනවා.ඒ නිසා අප ගෞතම බුදු සසුනේ යම් ඵලයක් නෙළා ගැනීමට නම් උතුම් ඡන්දය වැඩිය යුතු වෙනවා. ඡන්දයේ තිබෙන වඩිනාකමත්, ඡන්දයේ තිබෙන හානියත් තේරුම් ගෙන කටයුතු කළ යුතු වෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගත් ශ්‍රාවකයා දුරුකළ යුතු ඡන්දය දුරු කරන්නත්, දියුණු කර ගත යුතු ඡන්දය දියුණු කර ගන්නටත් විර්ය කරනවා.