Print this Article


පූජාච පූජනීයානං

බ්‍රාහ්මණවත්තේ සීවලී නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී නාහිමියන්ගේ තෙමස් ගුණ සමරුව ජූලි මස විසිතුන (23) දිනට යෙදී ඇත.

දකුණුලක, වැලිතොට බ්‍රාහ්මණවත්ත නමැති ගම්මානයේ 1936 මාර්තු 03 වන දින උපන් නාහිමියෝ 1951 වෙසක් මස 21 (විසි එක්වන) දින යාපනය නාගදීප රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත සාහිත්‍ය ශූරී බලපිටිය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්තිතිස්ස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වූහ. 1959 ජූලි මාසයේ දී බලපිටිය මෝදර උදකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදාව ලැබූහ.

කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකය ද, ලබාගත් නාහිමියෝ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරේසි විශ්වවිද්‍යාලයෙන් දමිළ භාෂාවෙන් ආචාර්ය උපාධිය හිමිකරගත්හ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට ගණයේ ආචාර්යවරයෙකු වශයෙන් විදුහල්පතිවරයෙකු වශයෙන් අනාගත පරපුර වෙනුවෙන් මහඟු සේවාවක් ඉටුකළහ.

උතුරු නැගෙනහිර පළාත්වල යුද සමයේ දී පවා ඒ ප්‍රදේශවලට වැඩම කරවා දමිළ භාෂාවෙන් දහම් දෙසූහ. නොමග ගොස් සිටි දමිළ තරුණයන් සමඟ සංවාද කරමින් උතුම් බුදුබණ ඔවුනට නිදර්ශන සහිතව පහදා දුන්හ.

බෞද්ධයා නිරතුරුව සංහිඳියාවට කැමැති බවත් යුද්ධයෙන් ගැටලු විසඳාගත නොහැකි බවත් තම අනුශාසනාවලදී උන්වහන්සේ සෘජුවම ප්‍රකාශ කළහ.

ජාතික, ආගමික සේවාවන් රැසක් ඉටුකළ නාහිමියෝ සමස්ත අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ධුරයට සහ අමරපුර මූල වංශික මහා නිකායේ අනුනායක ධුරයට ද පත් වූහ. සිංහල, ඉංගී‍්‍රසි, දමිළ, පාලි, සංස්කෘත, හින්දි ආදී භාෂාවන් පිළිබඳ ඇති දැනුම් සම්භාරය තුළින් මෙරට ජනතාව වෙනුවෙන් මාහැඟි සේවාවක් ඉටුකළහ.

කොළඹ - බේස්ලයින් පාරේ ශ්‍රී නාගදීප ශාඛා විහාරය, ශ්‍රී පාද අඩවියේ නල්ලතන්නිය, නාගදීප බෞද්ධ මධ්‍යස්ථානය, බලපිටිය බෞද්ධ මධ්‍යස්ථානය, යාපනය, කිලිනොච්චි ලුම්බිණි විහාරය යන විහාරස්ථානවල අධිපති පදවිය සීවලී නාහිමියෝ ඉසිලූහ. රටට, ශාසනයට වැඩදායී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාද තනා තිබේ.

සීවලී නායක හාමුදුරුවෝ අපවත්ව තෙමසක් ගතවන ජූලි මස 23 දා ශිෂ්‍ය ශාස්ත්‍රපති බ්‍රාහ්මණවත්තේ සිරිධම්ම තිස්ස හිමියන්ගේ සංවිධායකත්වයෙන් දෙමටගොඩ නාගදීප ශාඛා විහාරයේ දී සමස්ත අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දානමය පුණ්‍ය කටයුත්ත පැවැත්වේ.

යතිවර ගුණ, ශෝභමාන කර බුද්ධියෙන් මෙන්ම ගුණයෙන් උසස්, සම්බුදු සසුනේ පැවැත්ම සඳහා සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ නායක හාමුදුරුවන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.


මීවැවේ සාරද නා හිමි

2017 අප්‍රේල් 25 වැනි දින අපවත්වී වදාළ අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයාධිපති, (බටකැත්තර පන්සල) අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය, කෝට්ටේ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ පාර්ශ්වයේ අනුරාධපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත මීවැවේ සාරද නා හිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම 2017 ජූලි මස 24, 25 යන දෙදින තුළ අනුරාධපුර බටකැත්තර විහාරස්ථානයේ දී සිදු කිරීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

කුරුණෑගල දිසාවේ නාරම්මල මීවැව ගම් පියසේ විසූ කේ. ආර්. පුංචි බණ්ඩා හා ඊ.ඒ. ප්‍රේමාවතී යන දම්පතීන්ට දාව 1962 අප්‍රේල් මස 13 වැනි දින පින්වත් කුමරු මෙලොව උපත ලැබීය. සොහොයුරන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ හතර වැන්නා ලෙස උපත ලද මෙම කුමරු නමින් කංකානම් රාළලාගේ චන්ද්‍රසිරි නම් විය.

වේයන්ගොඩ මහා විද්‍යාලයෙන් 10 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ චන්ද්‍රසිරි කුඩා කල පටන් සංවරශීලී ඇවතුම්, පැවතුම්වලින් හෙබි ආගම ධර්මයට ලැදි ශිෂ්‍යයෙකු ලෙස ඉගෙනුම ලබමින් සිටියදී පැවිදි දිවියට පත්වීමේ ආශාවක් ඇති වූයෙන් එම අදහසට දෙමව්පියන්ගේ ආශිර්වාදය පළවිය.

පැවිදිවීමේ දැඩි ආශාවෙන් යුතු වූ චන්ද්‍රසිරි දරුවා බටකැත්තර ශ්‍රී සුමනාරාමාධිපති කොම්පඤ්ඤවීදියේ ජිනරතන හිමියන් වෙත භාරදුන් අතර නියමිත බණ දහම් ඉතා ටික කලක් තුළ හදාරා නිම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොම්පඤ්ඤවීදියේ ජිනරතන, බටකැත්තර ශ්‍රී රේවත යන නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1978 මාර්තු 15 වැනි දින මී වැවේ සාරද නමින් ප්‍රවෘජ්ජා භූමියට ඇතුළු වූහ. කෝට්ටේ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ පාර්ශ්වයෙන් 1982 ජූනි 19 දින උපසම්පදාවට පත් වූහ.

දෙහිවල පින්වත්ත මහා පිරිවෙනේ අධ්‍යාපනය හැදෑරූ මීවැවේ සාරද හිමියෝ උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ඉතා උසස් ලෙස සමත් වූහ.

1991 දී ගුරුවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වූ සාරද හිමියෝ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහලේ ද පසුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ද ඉගැන්වීමේ ක්‍රියාවලියෙහි නිරත වූහ.

ගුරු හිමිනමක ලෙස සිසු පරපුරට සිදු කරන සේවයට අමතරව ප්‍රදේශවාසී ජනතාවට උන්වහන්සේගෙන් සිදුවන පොදු ජාතික ආගමික හා ශාසනික සේවාව අගය කළ කෝට්ටේ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මඟින් ‘උතුරු මැද පළාතේ අනුරාධපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක ධූරය’ පිරිනැමූහ.

සිය ගුරු දේවයන් වූ අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලාධිපති, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක බටකැත්තර ශ්‍රී රේවත නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව, එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් සාරද නාහිමියන් දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් විහාරස්ථානය වත්මන් දියුණුව කරා ගෙනයාමට කැපවීමෙන් ක්‍රියා කළහ.

ඉවසිලිවන්ත, විනීත, කරුණාවන්ත, මානව දයාවෙන් යුතු, අන්මත ඉවසන අල්පේච්ඡතාවයෙන් පරිපූර්ණව පුරා වසර 44 ක් උත්තුංග පැවිදි දිවියක් ගතකළ අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයාධිපති, (බටකැත්තර පන්සල) අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය, කෝට්ටේ සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ අනුරාධපුර දිසාවේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී මී වැවේ සාරද නාහිමියන්ට නිවන්සුව පතමු.


බටදූවේ ධම්මදස්සි නා හිමි

ගාල්ල බටදූව ශ්‍රී සුගතාරාමය, මාගාල්ල කච්චිවත්ත පුරාණ විහාරය, අක්මීමන කුරුඳුවත්ත බෝධිමළු විහාරය යන විහාරත්‍රයාධිපති, යටගල හෙට්ඨාචල මහ පිරිවෙනේ විශ්‍රාමික පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති බටදූවේ ධම්මදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් ජූලි 03 වැනිදා අපවත්වී වදාළහ. ආදාහන පූජෝත්සවය ජූලි 06 වැනිදා ගාල්ල බටදූව රතනජෝති විද්‍යාල ක්‍රිඩාංගණයේ දී සිදු කෙරිණි.

දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ අක්මීමන බටදූව ගම්පියසේ 1945 නොවැම්බර් 28 වැනි දින ධම්මදස්සි හිමියෝ ජන්මලාභය ලැබීය. කුඩා කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බටදූව රතනජෝති විද්‍යාලයෙනි. ඉක්බිතිව 1965 ජනවාරි 18 වැනි දින බටදූව ශ්‍රී සුගතාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත්විය. එහිදී උන්වහන්සේගේ ආචාර්යවරුන් වූයේ බටදූවේ ශ්‍රී සුගතාරාමාධිපතිව වැඩ සිටි තෙල්වත්තේ සංඝානන්ද නා හිමි හා මාගාල්ලේ කච්චිවත්ත පුරාණ විහාරාධිපතිව වැඩ සිටි පිටුවල පියතිස්ස මාහිමියන්ය. ගාල්ල විද්‍යාලෝක පිරිවෙනින් ධර්මවිනය භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළ ධම්මදස්සි පඬි හිමි 1965 ජූනි 07 වැනිදා මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබීය. පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, පුරාවිද්‍යාව හා ජන සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාවද ලබා ගත්තේ ය. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විහාගයන්ද උසස් ලෙස සමත් විය.

1976 දී ඓතිහාසික යටගල රාජමහා විහාරීය හෙට්ඨාචල මහ පිරිවෙනේ පරිවේනාචාර්යවරයෙකු ලෙස ගුරු සේවයට එක් වූ උන්වහන්සේ පසුව එහි පරිවේණාධිපති ලෙසද පත්ව වසර 30 ක ඉතා සාර්ථක ගුරු සේවාවක් සිදු කළහ. අක්මීමන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හා සභාපති තනතුරු ද දැරූහ. ස්වකීය අත්‍යුදාර සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් ශාස්ත්‍රපති පණ්ඩිත උළුවිටිකේ බෝධිසීහ, මැදමූලනේ විජයබෝධි, වත්තල රතනබෝධි, කඩිහිංගල, ඤාණසීහ, මැදමුලනේ සුබෝධි යන හිමිවරුන් ප්‍රමුඛ දැන උගත් ශිෂ්‍ය පිරිසක් සසුනට දායාද කිරීමද ධම්මදස්සි මාහිමියන්ගේ සේවාවන් අතර වඩාත් කැපි පෙනෙයි.