Print this Article


මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි අරන්කැලේ පුදබිම

මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි අරන්කැලේ පුදබිම

ශ්‍රී ලංකාවේ විසූ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැළකෙන මලියදේව මහ රහතන් වහන්සේ වැඩ වාසය කළ අරන්කැලේ සේනාසනය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුක්වැව ගම්මානයේය.


මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි ගල් ලෙන

කුරුණෑගල නගරයට කි.මී. 20 ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පරිශ්‍රය වෙත ළඟාවිය හැක්කේ කුරුණෑගල –දඹුල්ල මහා මාර්ගයේ ගමන් කොට ඉබ්බාගමුව මංසන්ධියෙන් වමට හැරී මඩගල්ල මාර්ගයේ ගමන් කිරීමෙනි. මෙම පුද භූමිය තුළදී දිය අගල්,ජල මාර්ග,බෙහෙත් ඔරු, පැරණි රෝහලක නටබුන්, ගිලනුන් සඳහා වෙන්කළ කුටි, දේශන ශාලා සහ භාවනා ශාලා හා සම්මුඛ ලෙන දැකගත හැකිය.

දොළුකන්ද කඳුවැටියෙන් උතුරු දෙසට විහිදී පවතින දුංකන්ද, මඩුකන්ද, අම්බලන් කන්ද හා අරන්කැලේ එකම කඳු යායකි. කඳුපාමුල පිහිටි අරන්කැලේ තපෝ වනය ආශි‍්‍රතව පැවති පැරණි ආරාම නිසාම ආරාම කැලේ යනුවෙන් හඳුන්වා ඇති අතර, පසුව එය අරන්කැලේ යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බැව් පැවසේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් වසර 35 කට පෙර කරන ලද කැණීම්වල දී ලංකාවේ දිගම සක්මන් මළුව මෙම භූමියෙන් සොයාගෙන තිබේ. එහි දිග අඩි 250 කි. මෙහි ඇති ගල් ලෙන්වලින් ක්‍රි.පු. 1 වැනි සියවස සිට ක්‍රි.ව.2 වැනි සියවස දක්වා කාල නිර්ණය කළ හැකි බ්‍රාහ්මී අක්ෂරවලින් ලියූ සෙල් ලිපි හමුවී තිබේ. පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙහි කළුගලින් කළ ගොඩනැගිලි ක්‍රි.ව. 8-10 සියවස්වලට අයත් ඒවා බවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට මෙය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් භාවනා කිරීමට ඉදිකරන ලද පධානඝර ක්‍රමයේ ආරණ්‍ය සේනාසනයකි. මෙම පුදබිමට දැනට ඇතුළුවීමට තිබෙන්නේ උතුරු පසිනි. උතුරු පසින් සංඝාරාම භූමියට ඇතුළු වූ විට මුලින්ම දක්නට ලැබෙනුයේ ආයත චතුරස්‍රාකාර ගොඩනැගිල්ලක නටබුන්ය. මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ගලින් තනන ලද අඩි 2 ක් පමණ ඝනකම ඇති ආරක්ෂක තාප්පයක් තුළය. විරල ගණයේ නිර්මාණයක් වූ මෙම ගොඩනැගිල්ලේ දිග අඩි 64 ක් වන අතර, පළල අඩි 42 කි. මෙය ඡන්තාගරයක් ලෙස සැළකේ. මෙය භික්ෂූන් වහන්සේට ස්නානය කිරීම ඇතුළු පැන් පහසුව සඳහා භාවිතා කර ඇති බැව් පෙනේ. මෙම ගොඩනැගිල්ලේ හරි මැද පොකුණක් ද ඇත. මෙම පොකුණෙහි දකුණු අත පැත්තේ ඇඹරුම් ගල් දෙකක් දක්නට ඇත. ඇඹරීම සඳහා යොදාගත් අත්ගල් දෙකක් ද හමුවී තිබේ.

ඓතිහාසික තොරතුරු අනුව අනුරාධපුරයේ රජ කළ මහසෙන් රජු (ක්‍රි.ව. 276-303) විසින් කිඹුල්වානා වැව බැඳීම සඳහා පැමිණි අවස්ථාවේ දොළුකන්ද අසල සුන්දර ස්ථානයක් තෝරා සංඝාරාමයක් කරවීම සුදුසු යැයි කරන ලද ඉල්ලීම සිහිපත් කර ඔහුගේ කණිටු පුත් ජෙට්ඨතිස්ස රජු (ක්‍රි.ව.331-340) විසින් සංඝාරාමයක් කරන ලද බව සඳහන් වේ. එම ස්ථානය මෙම අරන්කැලේ සංඝාවාසය බව සැළකේ.

අරන්කැලේ පුරාවිද්‍යා භූමියට ඇතුළුවන කෙනෙකු දකින අසිරිමත් දර්ශනය වනුයේ නා, ගොඩපර, මූන මල්, පුස්වැල් ආදි දැවැන්ත තුරුලතාවන්ගෙන් සෙවණ වූ පෙත් මගය.

මෙම පුණ්‍ය භූමියේ දී ඉදි කළ කුටිවල භික්ෂූන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටිති. ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ මෙම පින් බිම තුළ වැඩ සිටි බවට සාධක හමුවී ඇත. දැනට මෙම අරන්කැලේ මලියදේව අරහත්ත සේනාසනයේ සේනාධිපති වශයෙන් කුරුණෑගල, මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක උඩුබද්දාවේ ධම්මතිලෝක හිමියෝ කටයුතු කරති.

සටහන හා සේයාරූ