Print this Article


අනුරාධපුර රජරට ශ්‍රී සම්බුද්ධ ශීල භාවනා මධ්‍යස්ථානය

අනුරාධපුර රජරට ශ්‍රී සම්බුද්ධ ශීල භාවනා මධ්‍යස්ථානය


පසුගියදා සසුන්ගත කළ සාමණේර ස්වාමීන් වහන්සේලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට වැඩමකළ අයුරු.


අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි
නා හිමි

බුද්ධ ශාසනයේ චිරස්තිථිතිය වෙනුවෙන් අනූපමේය මෙහෙවර සමුදායක් කළ ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්ම ප්‍රභා ධීරානන්දාභිධාන, කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කරවන අසිරිමත් නිර්මාණයන් නිම කර ඇත. එමෙන්ම බුදුසසුනේ පැවැත්මට මෙන්ම සැදැහැවත් බෞද්ධ ජනතාවගේ නිවන් දොරටු විවෘත කරමින් තවත් උදාර ආගමික මෙහෙවරක නිරතව සිටිති.

ඒ අනුරාධපුර ශුද්ධ නගරය කේන්ද්‍රකොට ගනිමින් අනුරාධපුර ‘රජරට ශ්‍රී සම්බුද්ධ ශීල භාවනා මධ්‍යස්ථානය’ කිසිඳු අඩුපාඩුවකින් තොරව ඉතා දැකුම්කලු අයුරින් පවත්වාගෙන යාමයි. අද වන විට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පූජනීයත්වයට පාත්‍ර වූ මහා පුණ්‍ය භූමි ත්‍රිත්වයක් නිර්මාණය කර ඇති උන්වහන්සේ රජරට ශ්‍රී සම්බුද්ධ ශීල භාවනා මධ්‍යස්ථානය අරඹා ඇති අතර එම මධ්‍යස්ථානය 1990 වසරේදී ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද්දකි.

අනුරාධපුර පූජනීය පෙදෙසේ දකුණු දාගැබ පාරේ පිහිටා ඇති රජරට ශ්‍රී සම්බුද්ධ ශීල භාවනා මධ්‍යස්ථානයේ දහසකට වැඩි පිරිසකට සිල් සමාදන් විය හැකි පරිදි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහිතව ධර්ම ශාලාවක් තනවා ඇත. වැඩසටහන්වලට සහභාගී වන භික්ෂූන් වහන්සේට වැඩවාසය කළ හැකි ආරාමයක්ද වන්දනා කරුවන් සඳහා සුව පහසු විශ්‍රාම ශාලාවක්ද මෙහි ඉදිකරවා ඇත. ශීල භාවනා වැඩසටහන්වලට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව පිණිස පානීය ජල පහසුව සනීපාරක්ෂක පහසුකම් ගිමන් හැරීමේ පහසුකම් රථවාහන නවතා තැබීම පහසුකම් ආදිය නොඅඩුව සපයා තිබීම මෙහි විශේෂත්වයකි. මේ නිසාම සෑම පුර පසළොස්වක පොහෝ දිනකම, විශාල සැදැහැවතුන් පිරිසක් මෙහි සිදු කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන්වලට සහභාගී වන අයුරු දැකගත හැක. සද්ධාරංසි නාහිමියන් විසින්ම මෙම වැඩසටහන් මෙහෙයවීම විශේෂත්වයකි. ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සඳහා සුදුසු ගිහි පැවිදි වියතුන්ද සහභාගී වෙති. එහි පැමිණෙන සැදැහැවතුන්ට දානමාන ආදියෙන් සංග්‍රහ කිරීමට බොහෝ පිරිසක් ඉදිරිපත්ව සිටිති. එමෙන්ම එම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් දැනට කුලදරුවන් හා වැඩිහිටියන් දහසකට වැඩි ප්‍රමාණයක් සසුන්ගත කොට තිබීමද විශේෂත්වයකි.
 

ශ්‍රී සම්බුද්ධ ශීල භාවනා මධ්‍යස්ථානයේ ඉදිකොට ඇති ‘දොස්තර මර්ලින් කුමාරසිංහ අනුස්මරණ භාවනා ආයතනය’ සසුන් ගත කළ සාමණේර හිමිනමකට සිවුරු පෙරවීම කියා දෙමින් ...

දහසකට වැඩි පිරිසකට සිල් සමාදන්විය හැකි පරිදි තනවා ඇති ධර්මශාලා ගොඩනැගිල්ල