Print this Article


පහන් සිතක කවි

 

දැනුයි මට වැටහුණේ

ජීවිතේ අඳුරු අම්බලමේ
මරණයේ ආඩපාලි හඬ අසා
තිඹිරිගේ තුළම හිඳ
වැසිකිළි වලවල් පුරවමින්
මද මාන ඊර්ෂ්‍යා
කුහකකම් එකතු කරමින්
මගේ සිත මා රැවටූ බව
දැනුයි මට වැටහුණේ


මේ වස් කාලයයි

මේ එළඹියේ අපේ
පින්බර වස්කාලේ
සැදැහැවත් උවැසියෝ
වෙති පිනෙන් පෝසත්

වපුරන්නෙ පින් බීජ
පින් කෙතේ ලහි ලහියෙ
ඒ බීජ අස්වැන්න
ඇති කෙරේ සුව තැනක්


ඇබ්බැහිකම

සවන පිනන හඬ
සුවඳ විහිදූ මල
රූසිරු දසුනට
කිත් පැසසුමකට
දැඩි ආශා සිත
ඇබ්බැහිකම වෙද
එය නුසුදුසු බව
යතිවරු දෙසා ඇත
එනමුදු ඇබ්බැහිකම
හොඳමය යම් විට
පිනකට දහමට
දානෙට අත දෙන
නිවනට යොමු වෙන
ඇබ්බැහිකම නම්
හොඳමය සැම හට


මවකගේ කඳුළු

දුක් කම්කටොලු වින්දත් ඒ ඔබ හින්දා
අහරක් කුසට ගත්තෙත් දරු ගැබ හින්දා
මැණික රකින නා රජු මෙන් නොව රද්දා
වැදූ මවට සැනසුම ලැබුණේය එදා

දැන් මා වාරු නැති පරඬැලක් වගේ
දරු දුක උසුලන සිත මගේ එදා වගේ
මහ පුටුවක සිටිනා සුදු පුතා මගේ
එන්න හොඳ මදියි සිටිනා තැනට මගේ

නිවහන මෙතන අසරණ මහලු අයටයි
දුක සැප දන්න මා හට එය හුරු පුරුදුයි
නෙත් ඇර මඟ බලා ඉන්නේ ඔබ එනතුරු මයි
පෙනෙනා දුරක් ආවොත් පුත පින් සිදු වෙයි