Print this Article


අම්මා

සිහිලැල් සඳ රැස් හා සම වූ සිත, මෙත් කරුණා ගුණ සපුරා හදවත අපමණ දුක් ගිනි උහුලා දිවි මඟ, දරුවන් හැදුවේ අම්මේ ඔබම ය.

ඇති හැකිදාටත්, නැති බැරි දාටත් සමව දරාගෙන ජීවත් වන සැටි කියලා දුන්නේ අම්මේ ඔබම ය. ගල්කොරියට, මහ පාරට දියවුණු, දහදිය බිඳු පිසළන සැටි දුටුවෙමු. දෑතේ කරගැට සඟවාගෙන ඔබ දරුවන් ළඟ හිනැහුණු සැටි දුටුවෙමු. කහට කෝප්පයකින් කුස රවටා දරුවන්ගේ බඩ පුරවා සතුටුව, නේක වරක් පැදුරේ ඇළ වී රැය පහන් කළා නිදි නැතිව ඇසට සොඳ. අකුරක් කියවා, වදනක් ගළපා කියලා දෙන්නට දැනුමක් නැති වුව, දරුවන්ගේ ඇස් පාදා දෙන්නට, අඩුවක් නොතබා පොතක පැන්සලක පාසල් යැව් සැටි අම්මේ මතකය.

පැල්පත්, මන්දිර නොතකා කොතැන ද, තුරු පත් සිඹ සිඹ පායා එන සඳ, වෙනසක් නැතිවම දෙයි ආලෝකය. අම්මේ, එලෙසින සැම දරුවන්ට ම සෙනෙහස පෑවා අඩුවක් නැතිවම. මවුපිය සෙනෙහස නැති දරුවෙකු ළඟ, උණු වී හදවත වැගිරෙන දුක් කඳ, නිමා කළේ මහ සෙවනක් වී ඔබ.

පස්පව් දස අකුසල් දුරලන්නට, ඉසිකෝමන් හැම සිඳබිඳ ලන්නට, පෙන් වූයේ මඟ වදනින් නොව ඔබ, හැසිරීමෙනි අම්මේ මුළු දිවි මඟ. සොයා තමන් ගැන, නොසොයන් ලොව ගැන බුදු බණ පද සිහිපත් කළ යුරු මතකය. දුක සැප එනවා, කිත්, යස, පැසසුම් නින්දා එනවා. ලාභ ලැබෙනවා අලාභ වෙනවා. මේ සැම හමුවේ සිත ගැස්සෙනවා. ලෝකය එලෙසයි නිති පෙරළෙනවා, කියලා දුන් සැටි අම්මේ මතකය.

වැඩිහිටියන්, අසරණයන්, සලකා ඉපදුණු රට, දැය, ආගම හඳුනා ජීවත්වන සැටි කියලා දුන්නා, අනාගතය ගැන සිතමින් සැමවිට.

ජීවිතයේ බර උහුලා ගන්නට බැරිව දිනෙක කඳුළැලි වැටෙනා සඳ, තුරුලට ගෙන සැනසූ සැටි මතකය, කියාදෙමින් මේ ජීවිතයේ රඟ. දරුවන්ගේ දුක දන්නා හඳුනන, වෙනත් කෙනෙක් ලොව ඇතැයි සිතන්නට එක මොහොතක් හෝ හැකි වෙද අම්මේ, මහාමෙරක් වන් නොසැලෙන නොසිඳෙන ඔබෙ සෙනෙහස ළඟ.

සිව් බඹ විහරණ ගුණයෙන් සැදුණා, කවිපද බැඳුණා, ගී පද ගෙතුණා. දිනයක මතු දා වියපත් වන ඔබ රැක ගමු දරුවන් වී බැති පෙමිනා. මහලු මඩම් ඕනෑ නෑ අම්මේ, මහ මඟ තුරු සෙවනක් ඇයි අම්මේ.

ඔබ රැක ගන්නට මේ අත් දෙක ඇති, ඔබ දුන් සවි ශක්තිය මත දැඩි වුණ, මහ ධන සම්පත් ඇතිවෙයි, නැතිවෙයි. ඇසුරට ඕනෑ තරම් පිරිස් එයි. නැදෑ හිත මිතුරන් අපමණ වුව, මිල කළ හැකි වෙද මව් සෙනෙහසකට.

ආදරයේ බල මහිමෙන් පෙව් කිරි කඳුළක රස සිහි වෙනවා අම්මේ, නොපෙනෙන දෙවියන් කුමට ද? දුක ළඟ, වැඩ හිඳිනා විට ඔබ දෙව් රුව සේ.

“අම්මා” ජීවිතයේ නේක වාරයක් කියැවුණු වචනයයි. අප්‍රමාණ වේදනා විඳ මෙලොවට බිහි කළ දරුවන්ට අමිල සෙනෙහසක් උරුම කර දුන්නී ඇයයි. ගහ කොළට, සතා සිවුපාවුන්ට, මේ සමාජයට ආදරය කරන්නට ඉගැන්වූයේ ඇයයි. නේක දුක් ගැහැට වින්ද ද දරුවන්ගේ දුක මඟ හැර නොයන්නී ද ඇයයි.

ඈ ගුණ කඳ කැටිකර ලියැවුණු අපූර්ව ගී පදවැලක සුගායනයක් පසු ගියදා අසන්නට ලැබුණි. ඒ සුසිල් ප්‍රේමරත්නයන්ගේ හා ඉන්ද්‍රානී සේනාරත්න ගේ හඬිනි. රචනය සරත් විමලවීරයන් ගේ ය.

සොම්නස හෝ සන්තාපය හමුවේ
සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා
නිම කළ පිළිරුව අම්මා
ආදරයේ බල මහිමේ රතුලේ සුදු වූවා
මෑණියගේ සෙනෙහසිනි – රට ජාතිය හැදුවා
නිල්මිණි රන් කැට මේවා ඕනැ ද
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා
පාවෙන සුළඟේ සිසිලස මවමින්
පෙන්වයි සාමය අම්මා
ජීවිතයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන් කැට මේවා ඕනෑ ද
ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා

මෙවන් සටහනක් තබන්නට මුල් වුණේ අර්ථවත් ගී පද මිහිරකින්, අවදි වූ සිතිවිලි ය.